මේ නොමේරු . . .

මේ තුන් ලෝකයේම පවත්නා ජීවි අජීවි සියල්ල අනිත්‍යය. මෙලොව ජනිතවන සජීවි, අජීවි සියල්ලක්ම ක්ෂණයක් පාසා ජාරාවට පත්වෙමින් විනාශය කරා යයි. එසේ නොවී නිත්‍ය වන කිසිවක් නැත. එසේ වුවද ලෝකයේ පවත්නා පරමාර්ථ ධර්මතා පිළිබඳ ස්වභාවය නොදන්නා සමහරු සදාකල් ජීවත් වන්නවුන් සේ කටයුතු කරති. මගෙන් පසු මගේ දරුවන්ටය. ඒ දරුවන්ගෙන් පසු ඔවුන්ගේ දරු මුණුපුරටන්ට යැයි කියමින් ඔවුහු වස්තු දේපළ රැස් කරති. තමන් දන්නා ධර්ම ශ්‍රාස්ත්‍ර විද්‍යාවන්ද තම පරපුරේ අනාගතයටද පවතීවා යැයි අදහස් කරති. මෙවැනි අදහස් දැඩි සේ උපාදානකොට ගෙන සිටින්නෝ මරණයෙන් මතුද එවැනි සිතුම් පැතුම් දරති. තමන්ගේ අදහස් සාර්ථක කරගැනීමට විවිධ උපායයන් යොදති. අමනුෂ්‍යයෝ වෙසින් නොයකුත් බලපෑම් කරති.

මෙවැනි අමනුෂ්‍ය ක්‍රියාකාරකම් හා බලපෑම් ඈත අතීතයේ සිටම ලොව පුරා පැවති බව ඉතිහාසයේ සඳහන් වෙයි. ආගමික ශාස්තෘවරුන්ගේ දේශනාවලද සඳහන් වෙයි. මිනිසා පරිනාමය වෙමින් ඉදිරියට ගමන් කළද ඔවුන්ගේ චිත්ත සන්තානයන් සමඟ ගලා එන (මෙත්ථපන) මනෝමය ප්‍රවාහය තුළද ඒ අතීත ගති ලක්ෂණ නොසිඳී නොනැසී පැමිණ ඇත. අනාගතයට ද ගමන් කරනු ඇත. බටහිර සංකල්ප ණයට ගත් නවින උගතුන් කොයි තරම් වැට කඩුලු බැඳ සම්බාධක පැමිණිවුවද මේ ප්‍රවාහය ඉදිරියට ගලා යනු ඇත. නවීන උගතුන්ට බැරිවූ බොහෝදේ කැලෑ කොළවලින් දෙහි ගෙඩියෙන් ජයගත් අවස්ථා බොහෝය. මේ අතර හොරුන් බොරුකාරයන් නැතුවාද නොවේ. බටහිර රටවලින් අඩුමිලට ගෙන්වන බෙහෙත් පෙතිවල අතුරු ආබාධ ඇති බව ඔවුන්ගේම අන්තර්ජාල සටහන්වල ලියැවී ඇත. එය එක රෝගයකට ප්‍රතිකාර කරන විට වකුගඩු අක්මාවල පිළිකා හටගන්නවා සේය.

බුදු දහමට අනුව කෙනෙකු ජීවත්වන කාලයේ හුරුපුරුදු හා උපාදාන කරගත් ගති ලක්ෂණ මරණයෙන් මතු ලබන ඊළඟ ආත්මයේත් ක්‍රියාත්මක වෙයි.

බෙලිඅත්තේ පදිංචි රාජසේකර අජන්ත දොළොස් හැවිරිදි පාසල් සිසුවෙකි. හොඳ ශරීර සෞඛ්‍යයකින් හෙබි අජන්ත අධ්‍යාපන කටයුතු වලදීත් දක්ෂයෙකි. ඔහුගේ මව නිර්මලා නැටුම් ගුරුවරියකි. පියා අනිල් රජයේ සේවකයෙකි.

දැනට අවුරුදු තුනක හතරක පමණ කාලයක සිට ඔවුන්ගේ නිවෙස තුළ ආසාමාන්‍ය සද්ද බද්ද ඇහෙන්නට විය. දරුණු දුර්ගන්ධයක් පැතිරෙන්නට විය. රාත්‍රියේ නිවෙස තුළ කෙනෙකු ඇවිදින අඩි සද්දයක් ඇසෙන්නට විය. අජන්ත ද වයස්ගත සීයා කෙනකු මෙන් කොන්ද නමාගෙන ඇවිදින්නට විය. එසේම උගුරේ රැල් බුරුල් අරින්නට විය. බුලත්විට සපන්නට විය. රාත්‍රී නින්දේදී යමෙකු සමඟ කතාකරන අයුරු මව්පියන්ට ඇසෙන්නට විය.

කොන්ද නමාගෙන ගමන් කරන අජන්තට මව්පියෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්හ. ඊට අමතරව ඒ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව මනෝ වෛද්‍ය ප්‍රතිකාරද ලබාදුන්හ. එහෙත් අජන්තගේ කිසිදු වෙනසක් නොවීය. මෙම තත්ත්වය ඔහුගේ අධ්‍යාපනයටද මහත් බාධාවක් විය. එහෙත් ඔහුගේ පාසල් කාලය තුළ මේ අස්වාභාවික වෙසන සිදුනොවීය. නිවසේ පැවති දුර්ගන්ධ හා අඩිකෝඩවලට වත් පිළිවෙත් තොවිල් පවිල් කළත් එයින් සති දෙකකට, මාසයකට වඩා සහනයක් නොවීය. යළිත් පෙර පැවති තත්ත්වයම උදාවිය.

දිනක් ඔවුහු හිතවතකුගේ උපදෙසක් අනුව “මාංචු” පත්‍රයේ පළවන “භූත ආත්මය” විශේෂාංගය කියවා එහි සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ගියේය. මව්පියෝ අජන්ත පුතාගේත්, නිවසේත් පවතින අසාමාන්‍ය තත්ත්වයන් ආධ්‍යාත්මික උපදේශකවරයා සමඟ විස්තර කළහ.

ගවේෂකවරයා මේ පවුලේ තුන්දෙනා පරීක්ෂා කරමින් ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කරනවිට අජන්ත වෙව්ලන්නට වූයේය. ගවේෂකවරයා අජන්තට ආවිශ්ට වී සිටි භූතාත්මය සමඟ කතාකරන්නට වූයේය.

“කවුද මේ දරුවාගේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ...?”

“මම වෛද්‍යසේකර මුදියන්සේ.....”

“කවුද මේ මුදියන්සේ....?”

“මම මේ නිර්මලීගෙ සීයා. මම ඔය මහත්තයා කරගෙන යන සේවයට බොහෝම ගරු කරනවා. මමත් මේ වගේ දුකට පත්අය සුවපත් කරපු කෙනෙක්. මම පාරම්පරික වෙදරාළ කෙනෙක්. රුහුණේ රජ පරම්පරාවෙ අයටත් වෙදකම් කරපු පරම්පරාවක්ම අපේ තාත්තා, අත්තා, මුත්තා, නත්ත, පනත්ත, කිත්ත, කිරිකිත්තන් හත්මුතු පරම්පරාවම බොහෝම වැදගත් ගුරු පරම්පරාවක්. මේ නිර්මලී කෙල්ල අත දරුවා කාලෙම මගේ පුතා මැරුණා. මමයි මේ කෙලීව හදාවඩා ගත්තේ. මේ කෙලී තාත්තය කියලා කිව්වෙත් මට.”

භූතාත්මය කියාගෙන ගියේය.

“ඇයි ඔබතුමා වගේ වැදගත් කෙනෙක් මේ දරුවාට කරදර කරන්නේ....?”

ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“මම කරදර කරන්නේ නෑ. අපේ වෙද පරම්පරාවෙ වෙදකමයි, මන්ත්‍ර ශාස්ත්‍රයයි මේ කොලුවට දෙන්නයි හදන්නේ....?”

“ඔබ කොහොමද ඒ ශාස්ත්‍රය මෙයාට දෙන්නේ...?”

“මහත්තයා, අපේ පරම්පරාවෙ දැනුම සම්ප්‍රදායික දැනුමක්, පොත පතින් දෙන දෙයක් නෙමෙයි. මම මේ දරුවගෙ ශරීරයට හානි කරන්නේ නෑ. පරම්පරාවෙන් ගෙනා දැනුම මේ දරුවා තුළට කැටි කරනවා.”

“ඒ කොහොමද...?”

“ඒක අතින් අතට දෙනවා වගේ දෙයක්. අපේ වෙද පරම්පරාවෙ දැනුම කැටි කරලා දරුවගෙ හිතට දෙනවා”

“ඔබේ අදහස බොහෝම වැදගත්. ඔබ කරන දේ ශ්‍රේෂ්ඨයි. ඒත් ඔබ කරන ක්‍රමය වැරදියි.”

“ඒ මොකද මහත්තයා”

“ඇයි තේරෙන්නේ නැද්ද...? මේක මේ දරුවාට ප්‍රශ්නයක් වෙලා....? මේ වයස අවුරුදු දොළහක නොමේරූ දරුවෙක්. තවම ඉස්කෝලෙ යන දරුවෙක්. වෛද්‍ය ශාස්ත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර තවම එයාට දරාගන්න බෑ. ඔබ කැටිකර ළමයා තුළට දෙන දැනුම මේ දරුවාට ක්‍රියාත්මක කරන්න බෑ. ඒවා කියන්න කරන්න ගියොත් මේ ළමයා පිස්සෙක් කියලා සමාජය හංවඩු ගහාවි.”

“ඉතින් මම මොනවද කරන්න ඕනෑ. අපේ පරම්පරාවෙ ශාස්ත්‍රය ඉස්සරහට ගෙනියන්නත් ඕනෑ. මට ඒ ගැන කතා නොකර යන්නත් ලෝභයි මහත්තයා. ඒත් මහත්තයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.”

“ඔබ දැනට මේ ළමයාව අතහරින්න. මේ ළමයා ඉගෙන ගත්තාම උස් මහත් වුණාම ඔබතුමාට ආරාධනා කරන්න කියලා මම මේ අම්මටයි තාත්තටයි කියන්නම්. දරුවා ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වුණොත් ඔබේ දේශීය දැනුමත් ගුප්ත ශාස්ත්‍රය යන දෙකත් ලැබුණොත් මේ ළමයාගෙන් රටට විශාල සේවයක් වේවි.”

ගවේෂකවරයා කීවේය.

“ඔව් සීයේ, එංගලන්තයේ අපේ නෑයෝ ඉන්නවානේ. පුතාව එහේ යවලා උගන්නන්නයි අපේ අදහස. පුතා ඉගෙනගෙන ආවාම අපි සීයාට පූජාවක් තියලා ආරාධනා කරන්නම්”

අජන්තගේ පියා කියන්ට විය.

“ඔව් තාත්තේ, (සීයා) සීයා මාව හදාවඩා ගත් හැටිත් මට මතකයි. පුතා ලොකු වුණාම අපේ පරම්පරාවෙ දැනුම පුතාට ලබාදෙන්න. අපි එතකොට ආරාධනා කරන්නම්.”

නිර්මලී ද කීවාය.

“හොඳයි, දරුවනේ උඹලා පොරොන්දු වෙනවා නම් මම එහෙම කරන්නම්. උඹලා දරුවාට හොඳට උගන්නපල්ලා”

භූතාත්මය කීවේය.

“ඔව්, මම මේ අයට නියම කරනවා ගෙදර සාංඝික දානයක් පිරිනමා ඔබතුමාට පින් අනුමෝදන් කරන්න. ඒ පින් අරගෙන අනුරාධපුර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට වෙලා තව තවත් පිනට දහමට යොමුවෙන්න. මේ පුතා ලොකු වුණාම ඔබතුමාට මේ අය අරාධනා කරාවි. එතකොට ඇවිත් ඔබේ ශාස්ත්‍රය දෙන්න”

ගවේෂකවරයා කීය.

“හොඳයි මහත්තයා, මම අදම අනුරාධපුරයට යනවා. සාංඝික දානය දාටත් ඇවිත් යන්නම්.”

එසේ කියමින් භූතාත්මය ඉවත්ව ගියේය. එදා පටන් අජන්තගේ නිවෙසේ පැවති දුර්ගන්ධය නැතිවිය. අජන්තද සුවෙන් සතුටෙන් කල් ගත කළේය.