“මම කෙල්ලට වරමක් දෙන්නම්”

“මම කෙල්ලට වරමක් දෙන්නම්”

ආශාවන්ගෙන් පිරුණු මනස් ඇත්තන්ට මරණාසන්න අවස්ථාවේදී එවන් ආශාවක් මතු වුවහොත් ඒ චුති චිත්තිතයට අනුව අනිවාර්යෙන්ම ඒ පුද්ගලයා අපාගත වේ. මේ මිනිස් ලොව ඇති ඉතා ආකර්ශනීය උග්‍ර ආශාව ස්ත්‍රීයක් නම් පිරිමින් දැකීමය. ඇසුරු කිරීමය, පිරිමියෙක්නම් ස්ත්‍රීන් දැකීමය. ඇසුරු කිරීම යැයි දහමෙහි සඳහන් වේ. එසේ මරණසාන්නයේ සිතට අරමුණු වන්නේ ලෝභ මූලික නිමිත්තක් බැවින් ඔහුට හෝ ඇයට සතර අපායෙන් එකක් අනිවාර්ය වේ. කොයි තරම් අහස උසට දන්දුන්නාත් ඒ දන්දීමේ දී මානසික ඒ කර්මයට ලෝභයක් මිශ්‍ර වී තිබුණොත් ඊට හේතුව අපායගාමීව විපාක දෙයි.

දානය මහා පින්කමකි. අකුසල් සිත් ඇත්තෝ දානමය පිංකම්වල නියුතු වුවහොත් ඒ දානයේ විපාකද අනිවාර්යයෙන් ම ඔහුට ලැබෙයි. එහෙත් අකුසල් සිත් ඇත්තෝ දානයේ කුසල විපාක භුක්ති විඳින්නට සිදුවන්නේ සතර අපායෙන් එකකදීය. කුසලය අකුසලය හරි හැටි නොදැන, නොහැඳින දන් දෙන විට ලෝබ මුලික සිතක් හටගෙන එය මරණාසන්නයේ දී මතු වුවහොත් ඒ අකුසල විපාකයෙන් ඔහු සතර අපාගත වේ. එහෙත් දෙන ලද දානයේ කුසල විපාකයද අනිවාර්යයෙන් තමන්ට ලැබේ. උදාහරණයක් ලෙස අකුසලය නිසා බල්ලෙකු වී ඉපිද කුසලය නිසා සැප සම්පත් මැද ඉපිද රසමසවුන් කිරි බිත්තර කා සුව සැප විඳින බල්ලෝ ද සිටිති. ලෝභයට අකුසල් විපාක නියමිතය. දානයට කුසල විපාක නියමිතය. මේ එකම කාසියේ දෙපැත්ත හා සමානය.

මාතලේ බුද්ධිකා දහඅට හැවිරිදි සුරූපී තරුණියකි. ඇගේ මව් පියෝ ව්‍යාපරිකයෝය. හිටි හැටියේ බුද්ධිකාගේ මනස අවුල් වී ඇත. උසස් පෙළ අධ්‍යාපනය ද කඩා කප්පල් වී ඇත. දිය නෑමට පිරිසුදු වීමට අකැමති ඇය මළ මුත්‍රා පවා ඇඳුම්වල තවරාගෙන දුර්ගන්ධිතව සිටී. හිටි හැටියේ කෑ ගසාගෙන දුවයි. ඇගේ පසු පසින් දුවගොස් අල්ලාගෙන එන්නට කිහිපදෙනෙක් නිතරම සුදානම්ව සිටිය යුතුය. එළියට අකැමැති ඇය නිතර නිවසේ අහුමුළුවලට වී කල් යැව්වාය. ඇඳ උඩ නිදාගන්න ඇය ටික වේලාවකින් බලන විට හිඳින්නේ ඇඳ යටය.

ඇයට මේ තත්ත්වය උදා වුයේ මීට අවුරුදු දෙකක පමණ කාලයක සිටය. සිහිනයෙන් බියට පත්වී, රාත්‍රියේ යමෙක් ඇගේ සිරුර අත පත ගෑම නිසා ඇගේ මානසිකත්වය ද වෙනස් වුවාය. ඇගේ මව්පියෝ ඇය වෙනුවෙන් තොවිල්පවිල් කළහ. දේවාලයකින් ශාන්තිකර්ම කළේය. දේවාලයෙන් කීවේ ඇගේ මියගිය ආච්චි පත්තිනි මෑණියන් ළඟ සිට ඇයට උදව් කරන බවය. ඇයට වරමක් දෙන බවය. ඇයට ඊට අවශ්‍ය ආකාරයේ රතු පැහැති ඇඳුම් මෙන්ම පූජා සඳහා වෙනම කාමරයක් ද නිවසේ සකස් විය. ඉන් පසු සාත්තර කියන්නට ගොස් උපාසයට ලක්වෙමින් ඇය නටන්නට පටන් ගත්තාය. කාගේත් ප්‍රසාදයට ලක්ව සිටි සුරුපී දියණිය ගමේ කඩේට ගියෙත් දේවාභාරණ පැළඳගෙනය. ගමන බිමනද විකාර රූපී විය. බැරිම තැන ඇයට අංගොඩ මානසික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා දෙන්නට සිදු විය. එහිදී දුන් ප්‍රතිකාරවලින් තරමක සුවයක් හා කල්පනා ශක්තිය ලැබුණි. එහෙත් හීනෙන් බියවීම ආදී අස්වාභාවික තත්ත්වයන් අඩුවුයේ නැත.

දිනක් “මංචු” පත්‍රයේ “භූත ආත්මය” විශේෂාංගය කියැ වූ බුද්ධිකාගේ පියා එහි සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන මව හා දියණිය එහි කැඳවාගෙන ආවේය ගවේෂකවරයා මුණ ගැසී රෝග තත්ත්වයන් පැහැදිලි කළේය. දේවාලයෙන් කියූ ආච්චිගේ බලපෑමත්, වරමත්, පූජා පැවත්වීම ගැනත් විස්තර කළේය.

ගවේෂකවරයා බුද්ධිකා වෙත ශක්ති කිරණ එල්ලකොට පරීක්ෂා කරන විට ඇය ගැහෙන්නට වී සිහිසුන්ව වැටුණාය. ගවේෂකවරයා ඔවුන්ට ගමේ පන්සලේ දී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේය.

බෝධි පූජා පවත්වා ගෙන යන විටද ඇගේ රෝගී තත්ත්වය උත්සන්න වූ බව ඔවුහු නැවත පැමිණි දිනයේ විස්තර කළහ. එදින බුද්ධිකා භූතාත්මයක් ආරූඪ වී කෙඳිරි ගාන්නට වුවාය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

“කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ”?

“මම මේ දැරිවිගේ ආච්චි”

“ඇයි මේ ආච්චි මිණිපිරිට කරදර කරන්නේ”?

“මම කරදර කරන්නේ නෑ, කෙල්ලට මම ආදරෙයි, කෙල්ලට වරමක් දෙන්නයි හදන්නේ”

“ඉතින් දැන් මේ අය තමුන් කියන දේවල් කළානෙ. පුද පූජා තියලා, කාමරයක් වෙන් කරලා, ආභරණ ඇඳ පැළඳ ගෙන,කෝ ඔය වරම දුන්න හැටිද? ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“මුන් දේවාලය හරියට කළේ නෑ. පුද පූජා හරියට කළේ නෑ. යි භූතාත්මය කීවාය.

“මේ මේ දැන් බොරු කළා හොඳටෝම ඇති, මේ ළමයාගේ අධ්‍යාපනයත් අවුල් කළා. ජීවිතයත් අවුල් කළා. ගමේ අයගේ උපහාසයට ලක් කළා. මව්පියෝ දුක් විඳිනවා. ඇත්ත කියනවා” කී ගවේෂකවරයා භූතාත්මය වෙත තදින් ශක්ති කිරණ එල්ල කළේය.

“එපා... එපා.... පිච්චෙනවා....දැවිල්ලයි. දැවිල්ලයි, ඕක නවත්වන්න”

“එහෙමනම් ඇත්ත කියනවා. නැත්තම් තවත් පුච්චනවා”

“හරි මම ඇත්ත කියන්නම්”

“මම ආච්චි නෙමෙයි”

“එහෙම නම් කවුද?”

“දන්නෙ නෑ. නම මතක නෑ”

“තමන් කොහෙද?”

“ඒකත් මතක නෑ”

“කොහේදීද මේ ඇඟට රිංගුවේ?”

“ගල් ගමුවේ දානෙ ගෙදරකදී”

“ඒ කොහොමද?”

“ඒ ගෙදර දානයට හේවිසි ගහන සද්දෙට මමත් ආවා. මම වගේ තව අයත් ආවා. මේ ළමයත් එදා ඇවිත් හිටියා. මේ ළමයා හරීම ලස්සනයි. මට පුදුම ආසාවක් ඇති වුණා. මම මේ ළමයා ළඟට ඇවිත් මෙයත් එක්කම දැන් ඉන්නවා. මම මේ ළමයාගෙන් ප්‍රයෝජන ගන්නවා”

“ඇයි ඉතින් බොරු කිව්වේ ආච්චි කියලා”

“මේ ගෙදර අය ආච්චිට ආදරෙයි. ඒ නිසා ආච්චිව පන්නන්නෙ නෑ. පින් දිදී ඉන්නවා. ඒ නිසා මම මෙයත් එක්ක හිිටියා”

“දැන් බොරු කළා ඇති. වහාම මේ ශරීරයෙන් ඉවත් වෙලා පැත්ත පළාතේවත් නොහිට යන්න ඕනෑ”

“මෙයාව දාලා යන්න හිතෙන්නෙ නෑ. ඒත් නොගිහින් බැහැ. මහත්තයා පුච්චන නිසා.” භූතයා කීවේය.

“තමුන් දැඩි කාමරාගයෙන් මැරුණු කෙනෙක්. ඒ රාග ගින්න නිසාම තමුන්ගෙ නම ගම පවා අමතක වෙලා. තමුන් වගේ අයට අවවාද කරලා වැඩක් නැහැ. තමුන් පුළුවන් නම් බෞද්ධ සිද්ධස්ථානයකට ගිහින් පිනට දහමට හිත යොමු කරලා ඔය පේ‍්‍රතාත්මයෙන් මිදෙන්න කල්පනා කරන්න”

“අනේ මහත්තයා, මට වෙන කිසි දෙයක් කල්පනා වෙන්නේ නෑ. මෙයාගෙ ලස්සන ශරීරයමයි හිතේ තියෙන්නේ” භූතයා කියන්නට විය.

පේ‍්‍රතයාට කරුණු අවබෝධ කළ නොහැකිබව වටහා ගත් ගවේෂකවරයා ශක්ති කිරණ මඟින් පේ‍්‍රතයා පුළුස්සා දුර්වල කොට බුද්ධිකාගේ ශරීරයෙන් එළියට ඇද දැම්මේය.

බුද්ධිකාටත් පවුලේ අයටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යොදා නිවසේ උදේ සවස භාවිතා කරන්නට පිරිත් සූත්‍ර කිහිපයක් නියම කළේය. ඊට අමතරව ඇගේ චර්යාවන් ප්‍රකෘතිමත් කිරීම සඳහා උදේ පාන්දර හතරට අවදිව පිරිසුදුව තෙරුවන් වැඳීමටත්, සරල භාවනාවක යෙදීමටත් පොතපත කියැවීමටත්, මවගේ වැඩ කටයුතුවලට උදව් කිරීමටත්, ගේ දොර මිදුල පිරිසුදුව අලංකාර කිරීමටත් දවස පුරා කාල සටහනක් ද සකස් කර එය දෙසතියක් එලෙස ක්‍රියා කරන්නටත් උපදෙස් දුන්නේය. ඒ සමඟම මනෝවෛද්‍යවරයකු මුණ ගැසී ප්‍රතිකාර හා උපදෙස් ලබාගන්නා ලෙස ද දැනුම්වත් කළේය.

කායික හා මානසික ශක්තිය වර්ධනය කොට අධ්‍යාත්මීය වර්ධනය මඟින් චක්‍ර පද්ධතිය ශුද්ධ කොට ශක්ති ශරීරයේ ප්‍රභාස්වරය ගොඩ නගා ගත් පුද්ගලයින් තුළට අමනුෂ්‍යයන් ඇතුල් නොවේ. එහෙත් අකුසල කර්ම විපාක ඉදිරිපත් වූ විට නව දොරින් අමනුෂ්‍යයන් ඇතුල්වන අවස්ථාද ඇත. මුගලන් මහ රහතන් වහන්සේගේ සිරුරට කුසල සුසී නම් මාරයා රිංගුවේ එලසය.