“මට පින් එපා මට බිල්ලක් ඕනෑ”

“මට පින් එපා මට බිල්ලක් ඕනෑ”

සත්ත්වයා සකස් වී ඇත්තේ සිත කය දෙකෙනි. මිනිසා ද එසේමය. එහෙත් මිනිසාට අලුතින් සිතන්නට හැකියාවක් ඇත. තමන්ගේ ක්‍රියා කලාපය අනුව මිනිසකුට දෙවියකු වෙන්නට ද පුළුවන. යක්ෂයෙකු ප්‍රේතයෙකු හෝ තිරිසනකු වෙන්නට ද පුළුවන. බල්ලා කිසිවිටෙක බලු සීමාව ඉක්මවා යන්නේ නැත. ඉක්මවා යන්නට ද නොහැකිය. එහෙත් මිනිස්සු බලු වෙන අවස්ථා ඕනෑ තරම් ඇත.

මිනිස්සු ඒ ඒ තත්ත්වවලට පත්වන්නේ සිත දුර්වල වීමෙනි. සමහර මිනිස්සු දෙවියන් ගණන් ගන්නේ නැත. යක්ෂයින් පේ‍්‍රතයන් ගණන් ගන්නේ ද නැත. එවැනි අය යකාටවත් බය නැත. එවැන්නන්ට යක්කු ද බිය වෙති. එහෙත් කිසියම් හේතුවක් මත ඔහුගේ හෝ ඇගේ සිත දුර්වල වුණොත් පේ‍්‍රතයෝ ද ඔහුට ඔච්චම් කරති. ශරීරයට රිංගති. “නිවට පනික්කියාට එළුවාත් නිකට පානවා” ජනවහරේ එන එම කතාව මීට කදිම උදාහරණයකි. ඒ නිසා යමෙක් ආධ්‍යාත්මීය ශක්තියෙන් හීන වුවහොත් ඔහුට හෝ ඇයට අමනුෂ්‍ය බලපෑම් ඇතිවීමේ ප්‍රවණතාව වැඩිය.

කරුණා කොටහේනේ පදිංචි හතළිස් දෙහැවිරිදි කාන්තාවකි. ඇගේ සැමියා රූබන් රජයේ රැකියාවක් කරයි. කරුණාගේ දෙකකුල් ඉදිමෙන්නට විය. හිටි හැටියේ නිවස තුළට වැලි වැටෙන්නට විය. කෑම කන විට සෑම බත් පිඩකම වාගේ වැලි හැපෙන්නට විය. නිවසේ උයන කෑම බොහොම ඉක්මනින් නරක් වී නානු ගතියට හැරෙයි. රාත්‍රියට නිවසේ පුටු එහා මෙහා අදින සද්ද ඇහෙන්නට විය. නාන කාමරයේ වතුර කරාම ඇරී ජලය ගලා යන්නට විය.

මේ තත්ත්වයන්ගෙන් මිදෙන්නට විවිධ වත් පිළිවෙත් කළත්, කිසිදු වෙනසක් නොවීය. කරුණාගේ ශාරීරික ආබාධවලට වෛද්‍ය ප්‍රතිකාර කළත් එයින් ද සුවයක් නොවීය.

දිනක් රූබන් “මාංචු” පත්‍රය කියවද්දී එහි පළවන “භූත ආත්මය” විශේෂාංගය කියවා දැනුවත්ව එහි සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත කරුණා කැඳවා ගෙන ගියේය. ඔවුහු ආධ්‍යාත්මීය උපදේශනවරයා හමු වී තමන්ට එළඹ ඇති දුක් කරදර පැහැදිලි කළහ.

ගවේෂකවරයා රෝගියා පරීක්ෂා කොට ශක්ති කිරණ එල්ල කරන විට ඇය අඬන්නට වූවාය. ඇය නොනවත්වා දිගින් දිගට ඇඬීම නිසා එදින ගවේෂණය නතර කොට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුනට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ගවේෂණ කටයුතු ආරම්භ කරන විට කරුණාට භූතාත්මයක් ආවිශ්ට වී අඬන්නට වූයේය. ගවේෂකවරයා භූතාතමයෙන් ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා අඬන්නේ?”

“මම ඩඩ්ලි“ භූතාත්මය උත්තර දුන්නේය.

“කවුද මේ ඩඩ්ලියි කියන්නේ?”

“මම මේ කරුණාගේ ලොකු මාමා. මේකිගෙ අම්මගෙ ලොකු අයියා”

“ඇයි මේ මාමා කෙනෙක් වෙලත් ලේලිට කරදර කරන්නේ?”

“කරදර? කරදර නොවෙයි. මුන්ව මරනවා”

“කවුරුන්ද මේ මුන්ව කියලා බහුවචනයෙන් කියන්නේ?”

“මේකිට තව සහෝදරියෝ තුන් දෙනෙක් ඉන්නවා. මුන් හතර දෙනා එක්කම මම තරහයි”

“ඇයි ඔය තරම් තරහක්?”

“මුන් මගේ දේපළ අයිති කර ගත්තා. ඒකයි මම තරහා. ඒකට මම පළිගන්නවා.”

එදින ගවේෂණය එතැනින් නතර කළ ගවේෂකවරයා කරුණාට ප්‍රකෘති සිහිය ලබා දී ඩඩ්ලි මාමා පිළිබඳ විස්තර ඇගෙන් විමසුවේය.

ඩඩ්ලි මාමා අතීතයේ සිටම ඉඩකඩම් තණ්හාවෙන්, කරුණාගේ අම්මාට උරුමයෙන් අයිති කොටස් ද බලෙන් අල්ලා ගෙන බුක්ති වින්ද බවත්, පවුලේ හැම දෙනා සමඟම අමනාපයෙන් සිටි බවත්, ඔහු මරණයකට මඟුලකට පවා සහභාගි නොවූ බවත් ඇය ගවේෂකවරයා ඉදිරියේ විස්තර කළාය.

තවත් දින දහහතරක් බෝධි පූජා පවත්වන ලෙස ද නිවසේ උදේ සවස තුන් සූත්‍රය සජ්ඣායනා කරන ලෙසත් සවස බෝධි පූජාව අවසන් කොට තමන්ටත් සියලු සත්ත්වයන්ටත් මෛත්‍රී භාවනාවෙන් මෛත්‍රිය පතුරුවා අවසානයේ මාමා සිහි කොට ඔහු දැනට සිටින පේ‍්‍රත ආත්මයෙන් මිදී සුවපත් වේවායි ප්‍රාර්ථනා කරන ලෙසත් ගවේෂකවරයා කරුණාට ගුරු උපදේශ දෙමින් කීවේය.

කී පරිදි බෝධි පූජා පවත්වාගෙන යද්දී ගමෙන් පිට පදිංචි අනිත් සහෝදරියන් තුන් දෙනාගේ ගෙවල්වල නොයෙක් කරදර කම්කටොළු පටන් ගෙන ඇති බව ඇය ගවේෂකවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නාය.

කරමින් යන බෝධි පූජාවන් හා පිළිවෙත් නොකඩවා පවත්වා ගෙන යන ලෙසත් නැවත පැමිණෙන විට ඒ සහෝදරියන් තුන් දෙනා ද කැඳවා ගෙන එන්නැයි ගවේෂකවරයාගෙන් ඇයට උපදෙස් ලැබුණි. ඒ පිළිවෙත් අවසන් කොට නැවත පැමිණෙන විට කරුණා සමඟ ඇගේ අතින් සහෝදරියන් තුන් දෙනා ද ගවේෂකවරයා වෙත පැමිණියහ. එදින ද ලොකු මාමාගේ භූතාත්මය කරුණාට ආවිශ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

“කොහොමද? ඩඩ්ලි මේ අයත් එක්ක බෝධි පූජාවලට ගියාද?”

ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“නැහැ මට ඕවා වලින් වැඩක් නෑ. මට ඕනෑ මුන්ගෙන් පළිගන්නයි. ඒ නිසා මම ගියේ නෑ. ඒත් මහත්මයා මේකි බෝධි පූජාව ගියාම මට අමුතු සහනයක් වගේ දෙයක් නම් දැනුණා.”

භූතාත්මය ගවේෂකවරයා ඉදිරියේ පැවසීය.

“ඒක තමයි මෛත්‍රී ශක්තිය. මෛත්‍රීයේ ආනිසංශ, ඉතින් ඔබට යන්නනෙ තිබුණේ.”

“ගියා මහත්තයා ගියා. මට යන්න හිතුණා. මම මුන් යනකොට ගියා. ඒත් මට බෝමළුවෙ ගේට්ටුවෙන් ඇතුල් වෙන්න දුන්නේ නෑ”

“කවුද ඇතුල් වෙන්න දුන්නෙ නැත්තේ?”

“එතැන ඉන්න මම වගේ අය. උන් මට කීවා උඹ ළඟ ගඳයි. පලයං. පලයං උඹ ආවොත් බෝ මළුවත් ගඳ ගහනවා. පලයං පලයං ආපු අතක් බලාගෙන පලයං කියලා මාව පන්න ගත්තා. මම ආපහු හැරිලා ආවා.” පේ‍්‍රතයා කියාගෙන ගියේය.

“දැන් ඔබට වැටහෙනවා නේද? ලෝභ අකුසල මූලය නිසා ඉඩම් තණ්හාවත්, ඒ නිසාම මේ අය සමඟ ඇති වූ ද්වේෂයත් නිසා ඔබේ ඔය පේ‍්‍රතාත්මයේ තියෙන කැත, පිළිකුල් ගතිය, ඔය හැමදෙයක්ම සිදු වුණේ ඔබේ මෝහය හෙවත් මෝඩකම නිසා. නොදන්නාකම නිසා.”

“ ඒ මොකක්ද මහත්මයා, මට කියන දේ තේරෙන්නේ නැහැනෙ”

“ලෝභ, ද්වේශ, මෝහ කියන්නේ අකුසල මූල තුන. ඔබට මේ අකුසල් තුනම බලපෑවා. ඔබ ඩඩ්ලි නමින් මනුෂ්‍යයකු ලෙස මේ ලෝකයට උපන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ යන ත්‍රිහේතුක කුසල කර්මයක් පෙර භවයෙන් චූත වෙද්දී සිහිපත්වීම නිසා. ඒත් ඔබ මේ ලෝකයේ ඉපදිලා ඉඩම් තණ්හාවෙන් ඒ තණ්හාව උපාදන කරගෙන, ද්වේෂයෙන්, මෝහයෙන්, මැරුණු නිසා දැන් පේ‍්‍රතයෙක් වෙලා දුක් විඳිනවා. ඔය තරම් වෛර කරන්න හේතුව මට කියන්න”

“මහත්තයා මේ ඉඩකඩම් මගේ. මම මගේ අක්කටවත් ඒකෙ උරුමයට පොල්ගෙඩියක්වත් ගන්න දුන්නේ නෑ. ඔය අතරේ මම මළා. මගේ පුතා කුඩු ගහන්න ඇබ්බැහි වුණා. ඌ හිරේ විලංගුවේ වැටුණා. ඌ අන්තිමට මගේ ගේයි ඉඩමයි විකුණන්න හෙව්වා. මේ කරුණා ඌට සල්ලි දීලා ඉඩමයි ගෙයයි ගත්තා. මම එකයි පළිගන්නේ”

“හරි... මේ ඉඩම සල්ලිවලට අරගෙන තියෙන්නේ කරුණා නොවෙයි. කරුණාගෙ මහත්තයා රූබන්. ඇයි රූබන්ගෙන් පළිනොගත්තේ? ඔබ ඔය තරම් තරහා නම් ඇයි අනිත් සහෝදරියන්ගෙන් පළි නොගන්නේ?”

“මහත්තයා අපට හැම මිනිහෙකුගෙම ඇඟට රිංගන්න බෑ මිනිස්සුන්ගේ ශරීරය වටා රැස් වළල්ලක් තියෙනවා. අපට ඒක හරහා රිංගන්න බෑ. ඒත් මේ කරුණාට පියයුරු පිළිකාවක් හැදුණා. ඒක ඔපරේෂන් කරන කොට මේකි දුර්වල වුණා. කායිකවත් මානසිකවත් දුර්වල වුණා. රැස් වළල්ල පළුදු වුණා. මම එතැනින් රිංගුවා. ඒත් මම අනිත් අයගේ ඇඟට රිංගුවේ නැති වුණත් මේකි බෝධි පූජා තියන දවස්වලට මම අනිත් අයගේ ගෙවල් වලටත් ගියා. ගිහින් මට පුළුවන් දේවල් කළා. මගේ තරහ මට තවම නිවිලා නැහැ.” භූතයා ගවේෂකවරයා ඉදිරියේ කීවේය.

“ඔබ දැන් ඩඩ්ලි නොවෙයි. අකුසල කර්ම විපාකවලින් උපන් පේ‍්‍රතයෙක්. ඔබට ඔය තත්ත්වයෙන් මිදෙන්න අපි දානයක් දීලා පින් අනුමෝදන් කරන්නද?”

“එපා.... එපා.... මට පින් එපා. මට මගේ ඉඩමයි ගෙයයි ඕනෑ. නැන්තම් මට බිල්ලක් ඕනෑ”

“මොනවා? බිල්ලක්?”

“ඔව් මෙයින් එකෙක් මරාගෙන යන්න ඕනෑ.”

“ඒවා කරන්න දෙන්න බෑ. මම තමුන්ට සතියක් කල් දෙනවා. හිත හදාගෙන ඉවත් වෙලා යන්න” ගවේෂකවරයා අවසන් වරට කීවේය.

තවත් සතියක් බෝධි පූජා පවත්වා ඩඩ්ලි මාමාට මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරන්නැයි ලේලිලා හතර දෙනාට ගවේෂකවරයා උපදෙස් දුන්නේය. ඒ අතර නිවෙස්වල උදේ සවස ඉටුකළ යුතු පිළිවෙත් කීපයක් ඔහු නියම කළේය.

සතියකට පසු ඔවුහු නැවත පැමිණියහ. එදිනද පේ‍්‍රතයා කරුණාට ආවිශ්ට විය.

“මොකද හිත හදාගෙන යනවද? නැද්ද?” ගවේෂකවරයා භූතාත්මයෙන් විමසීය.

“මම කොහේ යන්නද? මගේ දේවල් ඇත ඇරලා කොහේ යන්නද? මම යන්නේ නෑ. පුළුවන් දෙයක් කරන්න. මම යන්නෙ නෑ”

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට භූතාත්මය පිච්චුවේය. දවා දුර්වල කොට කරුණාගේ ශරීරයෙන් භූතාත්මය එළියට ඇද දැම්මේය. කරුණටත් ඇගේ සොහොයුරියන්ගේ නිවෙස්වලටත් ආධ්‍යාත්මීය ආරක්ෂාව දැමීය.

“උපාදාන පච්චයා භව“

දැඩි සේ අල්ලා ගත් සිතුවිල්ලට අනුව ඊළඟ භවය සකස් වෙයි. මැරෙන මොහොතේ ගෙවල් දොරවල් දූ දරුවන් වැනි දෙයක් සිහියට ආවොත් අනිවාර්යෙන් පේ‍්‍රතයෙක් වනු නොඅනුමානයි.

මතුගම මහින්ද විජේතිලක