“මෙයා ලස්සන නිසයි මම ඇඟට වෙලා ඉන්නේ”

“මෙයා ලස්සන නිසයි මම ඇඟට වෙලා ඉන්නේ”

මොවුන් පෙර කරන ලද පාප කර්මයක විපාක වශයෙන් පේ‍්‍රතාත්මවල උපදින්නෝ වෙති. කෙළ, සෙම්, සොටු, ජරාව ආහාරයට ගන්නවා වෙනුවට කැවිලි හා පලතුරු කන්නට ගිජු වී ඇදුරන්ගේ උගුලට අසුවන මෙම ප්‍රේතයෝ නොයෙකුත් බන්ධන වලට ලක් වී උන්ට ම කඹුරති.

කෙසේ නමුත් මේ පේ‍්‍රතයන් පමණක් නොව ඇදුරෝද ඔවුන්ගෙන් වැඩ ගන්නා උදවිය ද කර්මානුරූපව ඒවාට දඬුවම් ලබති.

“ කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ” යනුවෙන් කියමනක් ද ඇත.

මහනුවර සුනිල් තිස් හය හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිඳ ඉඳුනිල් විසි අට හැවිරිදිය. ඔවුන් ගේ එකම පුතා සිව් හැවිරිදි චමිඳු දැනට වසර තුනක සිට රෝගීව සිටී. මේ දරුවාට ඇති රෝගය අධි ක්‍රියාකාරීත්වය යි. නිතර දඟ කරයි. සීමාව ඉක්මවා දුව පනී. කතා කරන්නේ නැත. එක ඉරියව්වක මොහොතකට වඩා ගත කරන්නේ නැත. මනෝ වෛද්‍යවරයෙකු වෙත ගෙන ගොස් දැනට වසර දෙක හමාරක සිට ප්‍රතිකාර කළත් දරුවාගේ කිසිදු වෙනසක් සුවයක් නැත. මේ අතර මවත් පුතාත් දෙදෙනාම රාත්‍රි හීනෙන් බියට පත් වී කෑ ගසා ගෙන අවදි වෙන්නට ද වූහ. ඒ නිසා වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව වත් පිළිවෙත් ද කළහ. එහෙත් කිසිදු වෙනසක් නොවීය.

අන්තිමට ඉඳුනිල් හා චමිඳු පුතා ද රැගෙන සුනිල් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ආවේය. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී චමිඳු පුතාගේ අධි ක්‍රියාකාරීත්වයත් රාත්‍රී හීනෙන් බිය වී කෑ ගැසීමත් විස්තර කළේය.

මූලික පරීක්ෂණයේදීම අම්මාටත් පුතාටත් අමනුෂ්‍ය දෝෂයක් ඇති බව ගවේෂකවරයා අවබෝධ කර ගත්තේය. චමිඳු පුතාගේ චක්‍ර පද්ධතිය නිවැරදි අන්දමින් සකස් කොට හෙටම සාමාන්‍ය පාසලකට ඇතුළත් කරන්නට හැකි බව ගවේෂකවරයා සුනිල්ට පැවසීය. කෙසේ නමුත් පවුලේ තුන් දෙනාම සහභාගි වී දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.

බෝධි පූජා පවත්ද්දී චමිඳුගේ තත්ත්වය හොඳ අතට හැරෙමින් කතා කරන්නට පටන් ගත්තද ඉඳුනිල්ගේ රෝගාබාධ දිනෙන් දින වැඩි වෙන්නට විය. ඒ බව ගවේෂකවරයා වෙත දුරකථනයෙන් දැන් වූ විට කෙසේ හෝ දින 21 ක් නොනවත්වා බෝධි පූජා පවත්වන ලෙස ගවේෂකවරයා සුනිල්ට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ඉඳුනිල් හූ කියාගෙන දිව එළියට දමා හිස දෙපසට වනන්නට වූවාය. ගවේෂකවරයා ඒ භූතාත්මය සමඟ කතා කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ”

“මම දන්නේ නෑ” භූතාත්මය උත්තර දුන්නේය.

“මම ඇහුවේ මේ කවුද කියලා?”

“නම මතක නෑ.”

“තමුන් මොනවාද කරන්නේ?”

“මේකිගේ ඇඟේ තියෙන දේවල් කනවා.”

“ඇයි එහෙම කරන්නේ?”

“යකෝ මමත් ජිවත් වෙන්න එපැයි. උඹ මට කොල්ලගෙ ඇඟේ ඉන්න දුන්නෙත් නෑ. දැන් උඹ මේකිගෙ ඇඟෙනුත් මාව පන්නන්නද හදන්නේ?”

භූතයා ගවේෂකවරයාට අපහාසාත්මකව උත්තර දුන්නේය.

එවිට ම ගවේෂකවරයා වේවැළ අතට ගත්තේය.

“මොකක්ද? පෙරේතයෝ උඹ කීවේ? තව සැරයක් ඒ විදිහට කතා කරපන් බලන්න”

“ගහන්න නම් එපා. ගහන්න නම් එපා.”

එහෙම නම් අහන දේවල්වලට හරියට උත්තර දීපිය. වැදගත් විදිහට කතා කරපිය. උඹ මොකද මේ ළමයට කරදර කළේ? මෝනට කරදර කරන්නේ?”

“මෙන්න මූ තමයි මාව එව්වේ”

පේ‍්‍රතාත්මය සුනිල් දෙසට අත දිගු කරමින් කීවේය.

“මොනවා?”

ගවේෂකවරයා පුදුමයෙන් ඇසුවේය.

“ඔව් බොරු නම් අහලා බලන්න.”

ගවේෂකවරයා සුනිල්ගෙන් මෙහි ඇත්ත නැත්ත විමසුවේය.

“මට ඇත්ත කියන්න. ලෙඩේ හංගගෙන ප්‍රතිකාර කරන්න බැහැ. රෝගයකට ප්‍රතිකාර කරනකොට රෝග මූලය රෝගයට හේතුව දැන ගන්න ඕනෑ. මට ඇත්ත කියන්නැ”

ගවේෂකවරයා සුනිල්ට කීවේය.

“ඔව් මහත්මයා ඒ කතාව ඇත්ත. ඒ කාලෙ මම හොඳටම දුප්පත්. ඉඳුනිල් පොහොසත් පවුලක කෙල්ලක් මෙයා ගේ ලස්සනට මගේ හිත ගියා. අපි පන්ති ගියේ එකට. මම ඉඳුනිල් එක්ක සම්බන්ධයක් ඇති කර ගන්න උත්සාහ කළා. ඒත් මෙයා මට කැමති වුණේ නෑ. ඉතින් මම නුවර දේවාලයක කපුවෙකුට කියලා වගී ගුරුකමක් කළා. සීනි වගයක් මතුරලා මෙයාට කන්න සැලැස්සුවා. ඊට පස්සෙ තමයි මෙයා මට කැමති වුණේ” සුනිල් කියාගෙන ගියේය.

“අකමැති කෙනෙක් තමන් කෙරෙහි කැමති කරවාගන්න කපුවන් ලවා පෙරේතයන් බන්ධනය කරවා ගෙන වැඩ ගන්න ගියාම ඔහොම වෙනවා. හොඳින් කරගන්න බැරි දේවල් උපාය මාර්ගවලින් කරගන්න ගියාම දුක් කරදරවලට මුහුණ දෙන්න වෙනවා.”

“ඔව් මහත්තයා. මම මෙයාගෙ ලස්සනටත් සල්ලිවලටත් ආසාවෙන් මෙයාව අයිති කර ගන්න ගියේ. වශී කර ගන්න එක ගැන මෙයා දන්නේ නෑ. ඒත් මෙයාගෙ රූප ශෝභාව ගැනත්, සල්ලිකාරකම ගැනත් මෙයා අහංකාරයි. ගෙදරදී වචනයක් වැරදුණොත් මෙයා මට ගහනවා. බනිනවා. මගේ අම්මලා පවුලේ අය දැන් අපේ ගෙදරට එන්නෙත් නෑ. මෙයාගෙ අහංකාරකමට ඒ අයට සලකන්නේ නෑ. ගණන් ගන්නේ නෑ. අනේ මම කරගත්ත මෝඩකමක් කියලා වේලාවකට මට හිතෙනවා. ඒ නිසා මම තනියම දුක් වෙනවා. පසු තැවෙනවා.”

සුනිල් ගවේෂකවරයා ඉදිරියේ කීවේය.

“දුර දිග නොබලා කරන වැඩවලට විපාක ලැබෙන කොට ඔහොම තමයි. මේ කරදර පටන් ගන්නේ කවදා ඉඳලාද?” ගවේෂකවරයා සුනිල්ගෙන් විමසුවේය.

“පුතා උපන් දවස්වල ඉඳලම තමයි පටන් ගත්තේ”

දෙන්නාගේ කතාව අසාගෙන සිටි භූතාත්මය හිනා වෙන්නට විය.

“තමන්ට නොගැලපෙන අසාධාරණ දේවල් කරන්න ගියාම ඔහොම තමයි. ඉතින් අහක හිටපු මාව බන්ධනය කර ගත්තා නම් දඬුවම් විඳින්න ඕනෑ. ඕවාට තමයි කියන්නේ කැලේ ඉන්න නයි රෙද්ද අස්සේ දා ගෙන කෑවෝ කෑවෝ කියලා කෑ ගහනවයි කියලා.”

පේ‍්‍රතයා සිනහසෙමින් කියන්නට විය.

“ඔව් කතාව නම් ඇත්ත තමයි. එත් මගේ ළඟට කෙනෙක් එන්නේ අසරණ වෙලා ප්‍රතිකාර ගන්න. ඒ වැඩිහිටියන්ගේ වැඩවලට මේ දරුවා මොනවා කරන්නද? තමුන් මේ දරුවාට කරදර කරපු නිසා තමයි තමුන්ටත් දැන් ඉවත් වෙලා යන්න සිද්ධ වෙන්නේ?”

“අනේ මහත්තයා එහෙම කරන්න එපා. මෙයා හරිම ලස්සනයිනේ. මම මෙයා ළඟට වෙලා ඉන්නේ මෙයා මගේ කියලා හිතාගෙන. ඒක තමයි මම මෙයාගෙ ඇඟේ ඉඳගෙන මුගේ වැරැදි වලට මූට ගහන්නේ. අනේ මාව පන්නන්න නම් එපා මහත්තයා.”

පේ‍්‍රතයා අඬා වැටෙන්නට විය.

“දැන් ඉතින් ඔය කතාවලින් වැඩක් නෑ. ඉවත් වෙලා යන්නම ඕන.”

ගවේෂකවරයා එසේ කියද්දී භූතාත්මය වියරු වැටුණේය.

“මම දැන් හොඳින් කිව්වා. මූ ගෙන්න ගත්ත නම් මට ඉන්න දීපන්. උඹ උඹේ වැඩක් බලා ගනින්. මට මේ ගෑනිත් එක්ක ඉන්න දීපන්.”

භූතාත්මය මෙල්ල කළ නොහැකි බව දැනගත් ගවේෂකවරයා ශක්ති කිරණ එල්ලකොට භූථාත්මය දුර්වල කර ඉඳුනිල්ගේ ශරීරයෙන් එළියට ඇද දැම්මේය. අනතුරුව දිනපතා උදේ සවස නිවසේ භාවිත කළ යුතු බෞද්ධ පිළිවෙත් කිහිපයක් ද ඔවුනට නියම කළේය.

කර්මානුකූලව පෙර අකුසල විපාක ගෙවන්නට සිදුවන අවස්ථාවලට දුක් කරදර විඳගන්නට සිදුවෙයි. අකුසල විපාක වශයෙන් පේ‍්‍රතයන් වී උපදින කරුමක්කාරයන්ට ද මේ සිද්ධියට මැදිහත් වී දුක් විඳින්නට සිදුවේ.