“මම මැරෙද්දී මෙයා මතක් වුණා”

“මම මැරෙද්දී මෙයා මතක් වුණා”

කෙනෙකු තවත් කෙනෙකු කෙරෙහි පවත්වනු ලබන ආදරය ද ලෝභ චෛතිසිකය තුළින් ගොඩනැඟෙන ශක්තියකි. පෙම්වතා හෝ පෙම්වතිය විදේශගතව සිටියත් සිය චිත්ත සන්තානය තුළ මේ ලෝභ මූලික ආදරය මනසිකාර වේ. කාමාවචර ලෝකයේ ස්වභාවය එයයි. මගේ පෙම්වතා, මගේ පෙම්වතිය, මගේ බිරිය, මගේ ස්වාමිය ආදී වශයෙන් මේ ආදරය අන්‍යොන්‍ය මානසික බැඳීමකි. ඇලීමකි. මේ කියන ආදරය ලෝභය හෙවත් තණ්හාව මූලික උපාදානය වූ දෑස ඇලීම හෙවත් බන්ධනය නිසා අත්හැරිය නොහැකි තත්ත්වයක් උදා වෙයි. ලෝභය අකුලසයක් බැවින් එසේ දැඩි සේ ඇලුණු සිත් ඇත්තා හෝ සිත් ඇත්තී මරණයෙන් පසු සතර අපාගත වෙයි. ප්‍රේතයෙක් හෝ ප්‍රේතියක්ව හෝ තිරිසන් සතෙක්ව ඉපදී ඇය හෝ ඔහු සොයාගෙන එයි. මේ මිනිස් ලොව පරම ආදරය - පරම පවිත්‍ර ආදරය යැයි කියා ගත්තත් එය ලෝභ මූලික වූ බැවින් මරණින් පසු එම තැනැත්තා හෝ තැනැත්තිය පේ‍්‍රතයෙක්ව උපත ලබයි නැතහොත් පේ‍්‍රතියක්ව ඉපදෙයි.

කොයිතරම් දැඩි ආදරයකින් එසේ පැමිණිය ද අමනුෂ්‍ය ශරීර මිනිස් ශරීරයට ආසමිකතා ඇති කරයි. ප්‍රතිවිරෝධතා ඇති කරයි. මිනිසුන් හා අමුනුෂ්‍යයන් එකට සිටීම මිනිසාට අහිතකරවේ. රෝග කාරකය. රාගය හා කාමය මිශ්‍ර බැවින් හදය වත්ථු රූපය ඇසුරු කොට ගෙන ඇති මනෝද්වාරය තුළින් අකුසල සිත් අකුසල වෛතසික හට ගන්වා දුක්ඛ දෝමනස්ස ව්‍යාධි මරණ පවා ඇති කරයි. ක්ෂණිකයක් පාසා ඉපද නිරුද්ධ වන වෙනස්වන රූපස්කන්ධයක් හා නාමස්කන්ධයක් සහිත සත්ත්ව ඝනයටම අයත් මිනිසාට තමන්ට තමන්වත් නැත්නම් තවත් කෙනෙකුªගේ සරණක් පිහිටක් යහපතක් තිබේද?

රංජිත් කඩුගන්නාවේ පදිංචි හතලිස් පස් හැවිරිදි ගුවන් නියමුවෙකි. ඔහුගේ බිරිඳ තුසිතාය. විවාහ වී වසරක පමණ කාලයක සිට තුසිතා අසනීපවන්නට වූවාය. ඇගේ අතපය කොරවන තත්ත්වයක් ද ඇති විය. වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොලැබුවාය. වෛද්‍ය පරීක්ෂණවලින් ද ඇගේ ශාරීරික අඩුපාඩුවක් හෝ රෝග ලක්ෂණයක් අනාවරණය නොවීය. මේ නිසා කායික රෝගවලට අමතරව ඇය මානසිකව ද පිරිහී ඇත. අවසානයේ ඇය රෝද පුටුවකට වැටුණාය.

ප්‍රතිකාරවලින් සහනයක් නොලැබුණු නිසා සමීප හිතවතෙකුගේ උපදෙසක් මත රංජිත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා තුසිතා කැඳවා ගෙන ගියේය.

පළමු දිනයේම ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට තුසිතා ගැහෙන්නට වූවාය. ඇයට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව වටහා ගත් ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුන් දෙදෙනාට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසාන කොට ආපසු පැමිණි දිනයේ භූතාත්මයක් ආව්ෂ්ට වී තුසිතා අඬන්නට වූවාය. භූතාත්මයේ වේදනාව තුනීවන තුරු විනාඩි දහයක් පමණ අඬන්නට ඉඩ හැරිය ගවේෂකවරයා ඉන් පසුව භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල් වෙලා අඬන්නේ...?”

“මම ජයන්ති”

“කවුද ජයන්ති කියන්නේ...?”

“රංජිත්ගේ නෝනා”

“බොරු කියන්න එපා. මේ ඉන්නේ රංජිත්ගේ නෝනා”

“ඔව් මහත්මයා. මම රංජිත්ගෙ කලින් නෝනා”

“ඔබට මොකද වුණේ...”

“මහත්මයා මම විශ්ව විද්‍යාලයෙ ඉගෙන ගන්න කාලේ රංජිත් දැන අඳුනගෙන ආශ්‍රය කළේ. අපි දෙන්නා විවාහ වෙලා ඉතාම ආදරෙන් ජිවත් වුණා. ඔය අතරේ මට ශිෂ්‍යත්වයක් ලැබුණා. වැඩිදුර ඉගෙනුමට ඇමෙරිකාවට යන්න. මම ඇමරිකාවේදී අසනීප වුණා. දැනට අවුරුදු තුනකට විතර කලින් මම ඇමෙරිකාවේදී මැරුණා. රංජිත් මට ඔයාව දාලා යන්න වෙනවා. ඔයා ළඟවත් හිටියා නම්.... කියලා මට ඒ වෙලාවේ මතක් වුණා. මම මැරෙන කොට රංජිත් ගැන හිතුවා, ඊට අවුරුදු දෙකකට පස්සෙ තමයි රංජිත් මේ තුසිතා එක්ක විවාහ වුණේ.”

“රංජිත් නැවත විවාහ වෙනකොට ඔබට දුක හිතුණාද...?”

“අනේ ඔව් මට ගොඩාක් දුක හිතුණා...”

“තුසිතා එක්ක තරහක් ඇති වුණාද...?”

“නෑ.... නෑ.... තුසිතා මොනවා කරන්නද? මේ මගේ කරුමේ. අපි උගත් අයනෙ. අපි තේරුම් ගන්න ඕනෑ. රංජිත්ටත් ජීවිතයක් තියෙන්න එපායැ. එත් මට රංජිත් දාලා යන්න හිතෙන්නේ නැහැ. මට රංජිත් දාලා යන්න බැහැ. මට මෙයාව ඕනෑ”

භූතාත්මය අඬන්නට වූවාය.

තවත් දෙසතියක් බෝධි පූජා පවත්වා තුසිතාට පින් අනුමෝදන් කර නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට කීවේය.

බෝධි පූජා අවසන් කොට ඔවුහූ යළිත් පැමිණියහ. රංජිත් ගවේෂකවරයා සමඟ විස්තරයක් කළේය. තුසිතා අසනීප වූ දින සිට ඇගේ ගමන බිමන කතා බව සියලු හැසිරීම් ජයන්තිගේ හැසිරීම් හා සමාන වූ බවත්, මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගන්නට ආදා පටන් මේ ජයන්තිගේ භූතාත්මයේ බලපෑමක් දැයි තමන්ට සිතුණ බවක් රංජිත් පැවසීය.

එදින ද තුසිතාට අමනුෂ්‍යත්වය දිෂ්ටි ගැන්වී කතා කරන්නට වූවාය. භූතාත්මය කතා කරනවාට වඩා ඉකිබිඳින්නට වූවාය.

“ඇයි මේ අදත් අඬන්න පටන් ගත්තේ?”

ගවේෂකවරය භූතාත්මයෙන් ඇසීය.

“මට රංජිත්ව ඕනෑ මහත්තයා, මහත්මයා මාව ඉවත් කරන්න නේද හදන්නේ? ඒකයි අඬන්නේ?”

“ඔබ මැරෙන වෙලාවේ රංජිත් ගැන ආදරෙන්, ආසාවෙන් මළ නිසා ඒ ලෝභය අකුසලයක් නිසා ඔබ ප්‍රේතියක් වෙලා. ඒ නිසා මේ අයට කරදර කරන්න එපා”

“අනේ මම මේ දෙන්නට කරදර කරන්නේ නෑ. මම තුසීතාගේ ඇඟට රිංගලා රංජිත්ට තුරුල් වෙනවා විතරයි”.

භූතාත්මය රංජිත්ගේ පපුවට මුහුණ ඔබාගෙන ඉකිබින්දාය.

“ඔබ ඔය විදිහට හැසිරුනොත් තුසිතා ලෙඩ වෙලා මැරිලා යාවි. ඒක මහා අපරාධයක්. දැනට ත් තුසිතා රෝද පුටුවෙන් යන්නේ. තුසිතා ලෙඩ කිරීමත් ඔබට මහා පාපයක්. ඔහොම ගියොත් ඔබට සදහටම අපායෙ දුක් විඳින්න වේවි. රංජිත් පින් දහම් කරලා දිව්‍ය ලෝකයක උපදීවි. ඔබට කිසි දවසක රංජිත් දැක ගන්නවත් ලැබෙන්නේ නෑ.”

“අනේ...? මහත්මයා ඉතින් මම මොනවද කරන්න ඕනෑ”

“ඔබ නිතර පින් දහම් පුද පුජා කරන සිද්ධස්ථානයකට ගිහින් බණ දහම් අහලා පෙර කුසල් මතු කරගන්න. එතකොට දිව්‍ය ලෝකයකට යන්න පුළුවන්. එහේදී රංජිත් මුණ ගැහෙන්න පුළුවන් වේවි. ඔව් ඔබට උදව්වක් වශයෙන් ගෙදර සාංඝික දානයක් දී පින් අනුමෝදන් කරන්න මම මේ අයට නියම කරනවා. ඒ වෙනතුරු ඔබ ගමේ පන්සලේ බෝධීන් වහන්සේ ළඟට වෙලා ඉන්න” ගවේෂකවරයා භූතාත්මයට නියම කළේය.

නිවසේ සාංඝික දානයක් පිරිනමා ජයන්ති සිහිපත් කොට ජයන්තිගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කොට නැවත එන්නැයි රංජිත්ටත් තුසිතටත් ගවේෂකවරයා උපදෙස් දුන්නේය. ඒ පින්කම අවංකවම ජයන්තිගේ ප්‍රේතාත්මය දුකින් මුදවාලීමේ අදහසින් මෛත්‍රී කරුණා චේතනාවෙන්ම ඉටු කරන්නැයි ද ඔහු කියා සිටියේය.

එදින ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිට වූ තැන් පටන් තුසිතාට රෝද පුටුව අවශ්‍ය නොවීය. ගවේෂකවරයාගේ උපදෙස් පරිදි සාංගික දානය පිරිනමා ඔවූහු නැවත පැමිණියහ.

එදින ද තුසිතාගේ ශරීරයට ජයන්තිගේ ප්‍රාණකාරිය ආවිස්ට වූවාය.

“ඔව් මහත්මයා. මම දිව්‍ය ලෝකයට යන්න කැමතියි. මම මීට පස්සෙ මේ දෙන්නාට කරදර කරන්නේ නෑ.”

භූතාත්මය ගවේෂකවරයා ඉදිරියේ කීවාය.

රංජිත් ලවා පළතුරු වට්ට්යක් ගෙන් වූ ගවේෂකවරයා භූතාත්මය ඊට සම්බන්ධ කොට ඔවුන් සමඟම අනුරාධපුරයට යැවීය.