'අම්මා අඬනකොට මම ඇදිලා ආවා'

'අම්මා අඬනකොට මම ඇදිලා ආවා'

බුදු දහමෙන් උගන්වන්නේ අත් හැරීමේ ක්‍රියා මාර්ගයයි. අල්ලාගෙන සිටින තුරු සංසාරයෙන් ගැලවීමට නුපුළුවන් බව පෙන්වා දීමයි. අකුසල් පමණක් නොව කුසල කර්ම විපාක ද අපේකෂා නොකොට අත්හල යුතුය. විමුක්තිය ලබාගත හැක්කේ එවිටය.

තණ්හාව උපාදාන කොට ගත් මිනිසා යම් යම් දේ දැඩිව අල්ලාගෙන බැඳී සිට අවසානයේ ඒ සියල්ල අහිමි වෙද්දී තරහ හා පළිගැනීම ඉටුකර ගැනීමට මාන බලයි. මෙයින් සිදුවන්නේ තව තවත් භව සසර ගමන දික්කර ගැනීමයි.

සමහර මළගිය ප්‍රාණකාරයන්ට නිදහස්ව යෑමට වුවමනාව තිබුණත් පවුලේ අය නිතර ඔහු සිහිපත් කොට හැඬීම නිසා ඔවුන්ට ඉවත්ව යෑමට නොහැකි වේ. ඒ නිසා මළ ගිය ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කොට ඉහළ තලයකට යන්නැයි නිතරම ප්‍රාර්ථනා කළ යුතු වේ. අප අතරම උපදින්න, අප අතරටම එන්නැයි සිතින් හෝ ආරාධනා කිරීම ඒ මරණකාරයාට සිදු කරන අසාධාරණයකි. එවිට තණ්හාව මූලික වු උපාදානය නමැති මරණකාරයා ද ප්‍රේතයෙක් වී උපත ලබයි. පවුලේ අයට නැති කරදර ලෙඩ දුක්වලට එය හේතුවක් වෙයි. අප අතර ජීවත් වී මරණයට පත් වන බොහෝ දෙනා මේ ඇලීම හා ගැටීමේ ගතිය නිසා පේ‍්‍රතයන් වී ජීවත් වී එම පරිසරයේ ම ඉපිද දුක් විඳිති.

හක්මණ පදිංචි ජයසිංහ හතලිස් පස් හැවිරිදි රජයේ සේවකයෙකි. දැනට මාස හයක පමණ කාලයක සිට ඔහු කෑම අරුචියෙන් පෙළෙන්නට විය. මීට පෙර මත්පැන් භාවිතා නොකළ ඔහු දැන් මත්පැනට ඇබ්බැහි වී ඇති අතර දිනකට අරක්කු බෝතලයක් පමණ පානය කරයි. හිසරදයකින් හා බඩ පුරවා දැමීමකින් ඔහු පෙළෙයි. ඒ නිසා ඔහු රැකියාවට යන්නේ ද නැත.

විවිධ වෛද්‍ය ප්‍රතිකාර කළත් සතුටු දායක ප්‍රතිඵලයක් නොවුණු අතර කරන ලද ශාන්ති කර්මවලින් ද කිසිදු සහනයක් නොවීම නිසා ජයසිංහ ගේ මව සහ බිරිඳ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඔහු කැඳවාගෙන ගියහ.

එහි දී ඔවූහු ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී රෝගියාගේ තත්ත්වය පැහැදිලි කළහ. ගවේෂකවරයා රෝගියා වෙත ශක්ති කරණ එල්ලකොට පරික්ෂා කරන විට රෝගියා ගේ මව සිහිසුන්ව වැටුණාය.

ගවේෂකවරයා ඇයට ප්‍රකෘති සිහිය ලබා දී දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය. ඒ අනුව ජයසිංහගේ මවත් බිරිඳත් මහත් උනන්දුවෙන් බෝධි පූජා කටයුතු සිදු කළහ. සුරාපානය කළ ද ජයසිංහ ද බෝධි පූජාවට කැඳවාගෙන යාමට බිරියට හැකි විය. සතියක් පමණ ගත වනවිට ජයසිංහ ක්‍රමයෙන් මත්පැන් පානයෙන් දුරස් විය.

බෝධි පූජා අවසන්කොට ආපසු ප්‍රතිකාර සඳහා ගිය දිනයේ ද ජයසිංහ ගේ මවට භූතාත්මයක් ආවිශ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා ඒ භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”

“මම ජයන්ත”

භූතාත්මය කීවේය.

“කවුද ජයන්ත කියන්නේ?”

“මම මේ ජයසිංහගෙ අයියා”

“කොයි කාලෙ ද මැරුණේ?”

“දැනට අවුරුදු හයකට විතර කලින්”

“මොනවා වෙලා ද මැරුණේ?”

“කෝලාහලයකට ගිහින් ඔලුවට පොලු පහරක් වැදිලා එතැනම මැරිලා වැටුණා.”

“ඊට පස්සේ මොකද වුණේ?”

“මම ඔහේ පාවෙවී හිටියා. ගෙදර අය දාන මාන පින්කම් කරලා මට පින් දුන්නා. ඊට අමතරව අම්මා නිතරම මාව මතක් කරලා හූල්ලන්නට වුණා. උදේ හවස මාව සිහිපත් කරලා පින් දුන්නා. ඒ වෙලාවට අම්මා "අඬ අඬා අනේ මගේ ලොකු පුතේ" යි කියලා මට කතා කළා. මම කොයි තරම් ඈත් වෙලා හිටියත් අම්මා අඬන කොට මාව ඇදිලා එනවා.”

“ඉතින් ඇයි මේ මල්ලිගෙ ඇඟට රිංගුවේ?’

“අම්මගෙ ඇඟට ඇතුල්වෙන්න බැරි වුණු නිසා. අම්මගෙ ශක්ති ශරීරය ප්‍රබලයි. ඒ නිසා මල්ලිගෙ ඇඟට ඇතුල් වුණා.”

“ඉතින් මල්ලිට හිරිහැර කරන්නේ මොකද?”

“මම හිරිහැර කරන්නේ නෑ.”

“නැත්තෙ මොකද? ඔබ නිසා ඔහු ශාරීරිකව දුර්වල වෙලා. දැන් බේබද්දෙක් වෙලා. කන්නෙ බොන්නෙ නෑ. රස්සාවට යන්නේ නෑ. ඔබ කරන්නේ මහා අපරාධයක්. ඇයි එහෙම කරන්නේ?”

“අනේ මහත්තයා, මම වුවමනාවෙන් කරන දෙයක් නොවෙයි. ලොකු පුතා බලන්න කැමති ටෙලිනාට්‍ය කියලා අම්මා හැන්දෑවට ටී.වි දානවා..... දැනුත් එහෙමයි. ඉතින් මමත් ඇදිලා එනවා ටෙලිනාට්‍ය බලන්න. මල්ලිගෙ ශරීරයට ඇතුල් වෙලා ඉන්නකොට මට මගේ අතීතය මතක් වෙනවා. ඒ වෙලාවට මත්පැන් බොන්න හිතෙනවා. මට එහෙම හිතෙනකොට මල්ලිත් බීමට පෙළඹුණා.”

භූතයා කියාගෙන ගියේය.

ගවේෂකවරයා ඔවුන්ට තවත් දින දහ හතරක් බෝධි පූජා පවත්වා නැවත එනලෙස නියම කොට, ඒ බෝධි පූජාවලට ඔවුන් සමඟ යන්නැයි භූතාත්මයටද නියම කළේය. ජයසිංහ සම්පූර්ණයෙන් සුවපත් වනතුරු නිවසේ රූපවාහිනි යන්ත්‍රය ක්‍රියාත්මක නොකරන ලෙස ද ගවේෂකවරයා ඔවුනට උපදෙස් දුන්නේය.

ඒ බෝධි පූජා දින දහ හතර ගතවන විට ජයසිංහ සම්පූර්ණයෙන්ම පාහේ සුවපත්ව සිටි අතර ඔහුගේ මවත්, බිරිඳත්, නියමිත පිළිවෙත් නොකඩවා ඉටු කළහ. ඔවූහු බෝධි පූජා අවසන්කොට නැවත මධ්‍යස්ථානය කරා පැමිණියහ. එදින ද ගවේෂකවරයා ජයසිංහගේ මෑණියන් දිෂ්ටි ගන්වා භූතාත්මය සමඟ කතා කළේය.

“කොහොමද බෝධි පූජාවලට ගියාද?”

“ඔව්”

“දැන් ඉතින් ඔය ගෙදර අය අතහැර ඉවත්ව යන එක හොඳයි නේද?’

“ ඔව් ඔව් දැන් මමත් ඉන්නේ කැමැත්තෙන් නෙමෙයි. මටත් අමාරුයි. ඩිංගක් බොන්න නැතුව. දැන් මල්ලි බොන්නෙ නැති නිසා මටත් මෙතැනින් ඉවත්ව යන එක හොඳයි කියලා හිතෙනවා”

“ඔබට අවශ්‍ය දෙයක් තියෙනවාද? කැමති දෙයක් තියෙනවා නම් කියන්න”

“මට කැවුම් කන්න ආසයි”

“හොඳයි. ඒක සපයන්නම්, ඒ වගේම මේකත් හොඳට මතක තියාගන්න. ඔබ බීමත් කම නිසා ගිය ආත්මයෙත් නිකරුණේ අකාලයේ මැරුණා. දැන් ඔබ ප්‍රේතයෙක්, දුගතියේ. අපායක ඉන්නේ. ඔය මත්පැන් කෑදරකම අතහැර ඔය අපායෙන් මිදෙන්න අධිෂ්ඨාන කරගන්න. දෙවියන් අතරට යන්න හිතන්න.”

“එහෙනම් මට ඒකට උදව් කරන්න මහත්තයා” භූතාත්මය කීවේය.

හොඳ රසට සුවඳට කැවුම් උයා වට්ටියක් පුරවා තව සතියකින් රැගෙන එන්නැයි ගවේෂකවරයා ජයසිංහටත් පවුලේ අයටත් කීවේය. එදින අනුරාධපුරයට යෑමට සූදානමින් එන්නැයි ද සඳහන් කළේය.

ගවේෂකවරයා කී පරදි ඔවූහු සතියකින් නැවත පැමිණියහ.

භූතාත්මය කැවුම් වට්ටියට සම්බන්ධ කළ ගවේෂකවරයා භූතාත්මය ඔවුන් සමඟම අනුරාධපුරයට යැවීය.