"දැඩි ඇලීම හා ආශාව නිසා ප්‍රේතාත්මයක් ලබලා"

"දැඩි ඇලීම හා ආශාව නිසා ප්‍රේතාත්මයක් ලබලා"

අනුරාධපුරයේ පදිංචි ව්‍යාපාරිකයකු වූ ජගත් සහ අයන්තිට දරුවන් දෙදෙනෙකි. වැඩිමහල් දියණිය නිරෝගිය. අට හැවිරිදි පිරිමි දරුවා ජනිත් අධි ක්‍රියාකාරීත්වයකින් පෙළෙන්නට විය. වයස අවුරුදු දෙකේ සිට පවතින මේ රෝගී තත්ත්වයට අමතරව දරුවාගේ ශරීරයේ වම් පැත්ත ද අප්‍රාණික වී ඇත. වෛද්‍ය ප්‍රතිකාරවලින් කිසිදු සුවයක් නොවූවත් ජීවත්වන තාක් කල් ප්‍රතිකාර ගත යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබී ඇත. ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත දරුවා රැගෙන පැමිණි මව්පියෝ ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී ප්‍රතිකාර පැතූහ.

රෝග විස්තර පැහැදිලි කරගත් ගවේෂකවරයා ශක්ති කිරණ ජනිත් ගේ මූලාධාර චක්‍රයට එල්ල කළේය. එසැනින් දරුවා කෑ ගසන්නට වූ අතර මව අයන්ති ගැහෙන්නට වූවාය. අමනුෂ්‍ය බලපෑමක් ඇති බව වටහාගත් ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට නියම කළේය.

බෝධි පූජාවලින් පසුව දින තුනක් වරින් වර ගෙන්වා ජනිත් පුතාගේ ශරීරයේ චක්‍ර පද්ධතිය විධිමත් කළේය.

ඊළඟ දිනයේ පැමිණි විට අයන්තිගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට විය. භූතාත්මයෙන් ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල් වෙලා ඉන්නේ?”

“පුතාගෙ අම්මා” යි කියමින් ජනිත් දෙසට අත දිගු කැර පෙන්වමින් භූතාත්මය කීවාය.

“බොරු කියන්න එපා. මේ පුතාගෙ අම්මා අයන්තිනෙ”

“නැහැ නැහැ මම ගිය ආත්මයේ අම්මා”

“මොකක්ද නම?”

“මගේ නම සෝමලතා”

“එතකොට පුතාගෙ නම මොකක්ද?”

“ඒ කාලෙ පුතාගෙ නම රුවන්.”

“මොනවා වෙලාද මැරුණේ?”

“මීට අවුරුදු විස්සකට කලින්, අපි ජීවත්වුණේ නුවර. එතකොට පුතාගෙ වයස අවුරුදු දහසයයි. එදා පුතාගෙ මෝටර් සයිකල් එකෙන් පුතයි මමයි කඩුගන්නාවට ගියා. කඩුගන්නාවේදී බස් එකක හැපිලා මම මරුණා” යි භූතාත්මය කීවාය.

“ ඊට පස්සෙ?” ගවේෂකවරයා ඇසීය.

භූතාත්මය අඬන්නට වූවාය.

“කියන්න මොකද වුණේ කියලා”

“මම එතැනම මැරුණා. එතකොටම මගේ සිහියට ආවේ පුතා. එතැනින් පුතාව ඉස්පිරිතාලෙට අරන් ගියා. මමත් පුතා පසු පසින් ගියා. දවස් දෙකකට පස්සෙ පුතත් මැරුණා.”

“ඊට පස්සේ?”

“ඊට පස්සේ පුතයි මමයි එකටම හිටියා. අපි ඔහේ පා වෙවී හිටියා. දවසක් පුතා හිටි හැටියෙම ඈතට ඇදිලා ගියා. මමත් පස්සෙන් ගියා. පුතා අනුරාධපුරයේ මේ අයන්තිගෙ බඩට ඇතුල් වුණා. මමත් ඇතුල්වෙන්න හැදුවා. මට ඇතුල් වෙන්න බැරිවුණා. මම අයන්තිගෙ ළඟට වෙලා හිටියා.”

“මේ ජගත් අරක්කු බොනවා. බීලා අයන්ති එක්ක රණ්ඩු කරනවා. එහෙම රණ්ඩු කරන වෙලාවක අයන්තිගෙ ශරීරයේ වටේ තිබුණු ආරක්ෂක වළල්ල දුර්වල වුණා. අන්න ඒ වෙලාවෙ මම අයන්තිගෙ ශරීරයට රිංගා ගත්තා. එදා අයන්ති සියදිවි හානි කරගන්න හැදුවා. අන්න ඒ වෙලාවෙයි මට රිංග ගන්න පුළුවන් වුණේ.”

“ඇයි මේ ජනිත් පුතාගෙ ශරීරයේ වම් පැත්ත අප්‍රාණික. දුර්වල?”

“එදා කඩුගන්නාවේදි බස් එකේ හැපිලා රුවන් පුතාගෙ ශරීරයේ වම් පැත්ත තැලිලා තිබුණා. ඒ නිසා වෙන්න ඇති.”

“හොඳයි දැන් ඔබ කල්පනා කරන්න. එදා හිටපු සෝමලතා බස් එකේ හැපිලා මැරුණා. පුතා ගැන දැඩි ආදරය හා ඇලීම නිසා පුතා ළඟම උපන්නා. දැන් වෙනම භවයක්. ඊට පස්සෙ රුවන් පුතාත් මළා. එයත් වෙනම භවයකට පත් වුණා. පුතා කර්මානුරූපව නැවත තවත් භවයකට පත් වුණා. අනුරාධපුරයේ අයන්තිගෙ කුසේ පිළිසිඳ ගත්තා. ඊට පස්සෙ උපන්නා. එයා ජනිත්. රුවන් එක්කෙනෙක්, ජනිත් වෙනත් කෙනෙක්. දැඩි ඇලීම, ආශාව නිසා සෝමලතා දැන් ප්‍රේතාත්මයක් වෙලා. ”

“ජනිත් දැන් ඔබව දන්නෙ නැහැ. ජනිත් අම්ම කියන්නේ අයන්තිට. ආදරෙත් අයන්තිට. ඔබ නිසා ජනිත්ට කරදරයි. ඔහු දැන් රෝගියෙක් වෙලා. ඒ පවුලටම ඔබ කරදරයක්. මේක ඔබට මහා පාපයක්. මොකක්දෝ පූර්ව අකුසල කර්මයක විපාකයක් වශයෙන් එදා බස් අනතුරකින් ඔබ මළා. ඒ මරණය නිසා ඔබට රුවන්ගෙන් වෙන් වෙන්න සිදුවුණා. ඒකත් දුකක්. ඊට පස්සෙ ජනිත්ට ළං වුණා. ඒක ජනිත්ටත් පවුලෙ අයටත් දුකක් කරදරයක්. මේ සංසාර ගමනම දුකක්, සැපයි හොඳයි කියලා හිතන හැම දෙයම වෙනස් වෙනවා. ඒ නිසා මේ දුකෙන් මිදෙන්න කල්පනා කරගන්න. ඔය අල්ලාගෙන සිටින දේවල් අතහැරලා හිත නිදහස් කර ගන්න.”

එසේ කියමින් ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන්නට විය.

“මහත්තයා දැවිල්ලයි. මාව පිච්චෙනවා.”

“ඒ පේ‍්‍රතාත්මයක් නිසා. ඔබ ජනිත්ටත් පවුලේ අයටත් කරදර කරන නිසා ඒකට ලැබෙන කර්මානු රූප විපාකයක්, ඒ නිසා ඔය රුවන් නෙමෙයි. ජනිත්, ජනිත් කියන්නේ රුවන් නෙමෙයි. ජනිත්ව අතහරින්න. ඔය අල්ලාගෙන සිටින එක ඔබට දුකක්,වේදනාවක්, ඒ නිසයි ඔබ දැවෙන්නේ. ජනිත්ව සිතින් අත්හැර ඉවත් වෙලා යන්න.”

“දැවිල්ලයි, දැවිල්ලයි. පිච්චෙනවා”

“ජනිත්ව අතහැරියොත් දැවිල්ල නැති වේවි. එවිට ඔබ සුවපත් වේවි.”

“මම ඉවත් වෙලා යන්න කැමතියි”

“එහෙම නම් ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට යන්න. එතැන සිදු කරන පුද පූජාවලට සිතින් දායක වෙන්න. දැකබලා සතුටු වෙන්න.”

“හොඳයි මහත්තයා. මම යන්න කැමතියි.”

ජගත් ලවා පලතුරු වට්ටියක් ගෙන්වූ ගවේෂකවරයා පේ‍්‍රතාත්මය එයට සම්බන්ධ කොට අනුරාධපුරයට යැවීය.

දැන් ජනිත්ගේ මානසික කලබලකාරීත්වය අධි ක්‍රියාකාරීත්වය සුවපත් වී ඇත. ඒත් ශරීරයේ දකුණු පාර්ශවයේ වාරු නැති බව තවමත් පවතී. ඊට දේශීය වෛද්‍ය ප්‍රතිකාර හා පෝෂ්‍යදායී ආහාර ගන්නා ලෙසත් දිනපතා කළයුතු පිළිවෙත් කීපයකුත් ගවේෂකවරයා නියම කළේය.

හිතවත් පාඨකයිනි,

මීට අවුරුදු විස්සකට පෙර කඩුගන්නාවේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මවක් හා පුතෙක් බස්රියක හැපී මරණයට පත් වූ සිද්ධිය ඔබ දන්නේ නම් ඒ තොරතුරු අපට (071-6398690) දන්වන්න. මවගේ නම සෝමලතාය. පුතා රුවන්ය. ගම මහනුවරය.