“මම මුන්ට දරු සම්පත් දෙන්නේ නැහැ”

“මම මුන්ට දරු සම්පත් දෙන්නේ නැහැ”

කෙනෙක් තවත් කෙනෙකුගේ යහපත පිණිස යමක් දෙනවිට එය අතින් දෙනවා වගේම සිතින් ද ඒ පිළිබඳ ආශාව අතහැර දිය යුතුය. එවිට එය පරිපුර්ණ දානයක් වෙනවා මෙන්ම ලෝභය යම් තරමකින් දුරුවීමක් හෝ තුනී වීමක් වන බව ධර්මයෙහි සඳහන් වෙයි.

මව්පියෝ දරුවන් හදන්නේ තමන්ට බැරි වූ දාට සැළකිලි සාත්තු සප්පායම් කරාවිය යන අදහසිනි. එලෙසම තමන්ගේ ගෞරවය එළෙසම තමන්ට ලබාදෙන බව සිතමිනි. මරණයෙන් පසු පින් පෙත් දී සුගතියට යෑමට උදව් කරාවිය යන අදහසිනි. එසේ සිදු වෙනවාට බොහෝ මාපියෝ කැමැත්තක් දක්වති. මව්පියන් හා වැඩිහිටියන් බොහෝ දෙනෙක් තමන් සතු ගේ දොර ඉඩකඩම් දරුවන්ට පවරන්නේ ඒ අදහසිනි. මේ සියල්ල සිතින් අතහැර දමා පරිත්‍යාග කරන්නෝ ද දහසකට එක් අයෙක්වත් නැති තරම්ය. එසේම ඒ වස්තු සම්පත් පිරිනැමු මව්පියන් බලාපොරොත්තු වූ පරිදිම සියයට සියයක්ම කෘතවේදීව සලකන දරුවෝද දහසකට එක් අයෙක්වත් නැති තරම්ය. එවින් සමහර මව්පියෝ මහලු මඩම්වලය. සමහර දරුවෝ පිටරටවලය. නැතහොත් දුර බැහැරය. තමන්ගේ දරුවන්ගේ කටයුතු පිළිබඳ වෙහෙසන විට තම මවට පියාට වැඩිහිටියන්ට සලකන්නට වේලාවක් ඔවුන්ට නැත. එය මේ ලෝකයේ ස්වභාවයයි.දේවිකා තලංගම ප්‍රදේශයේ පදිංචි තිස් තුන් හැවිරිදි හෙදියකි. ඇගේ සැමියා තුසිත ඉංජිනේරුවරයෙකි. ඔවුහු දරුවන් තැනි දුකෙන් පීඩා විඳිති. දේවිකා දරුවන් පතා තැන්පත් කිරීම් අටක් සිදු කළත් ඒ හැම කලලයක්ම ගබ්සා විය. එහෙත් වෛද්‍යවරුන්ගේ පරීක්ෂණ වලින් අනාවරණය වන්නේ ඔවුන් දෙදෙනාම දරුවන් ලැබීමට සුදුසුසන් බවය. දෙදෙනාටම ගැටළුවක් නැති බවය.

විවිධ ප්‍රතිකාර කළත්, විවිධ පිළිවෙත් කළත් ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු වුයේ නැත. අවසානයේ ඔවුහු මාංචු පුවත්පතේ සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ගියහ. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසුණු ඔවුහු දරුවන් නැති ප්‍රශ්නය ඔහුට පැහැදිලි කළහ.

ගවේෂකවරයා විසින් දේවිකා වෙත ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කරන විට ඇය අසල සිටි තුසිත සිහිසුන්ව ඇද වැටුණේය. ඒ සමඟම දේවිකා ද වෙව්ලන්නට වූවාය. දෙදෙනාටම අමනුෂ්‍ය දෝෂයක් ඇති බව අනාවරණය වුයෙන් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ද ගවේෂණය ආරම්භ කරන විට ම දේවිකාගේ ශරීරයට භූතාත්මය ආවිශ්ට වී හිස දෙපැත්තට වනන්නටත් රෞද්‍ර ලෙස රවා බලන්නටත් විය. ගවේෂකවරයා භූතාත්මය සමඟ සාකච්ඡා කරන්නට පටන්ගත්තේය.

“කවුද මේ?”

“මම සිරිසේන”

භූතාත්මය උත්තර දුන්නේය.

“කවුද සිරිසේන කියන්නේ?”

“මෙන්න මුගේ මාමා. අම්මගෙ අයියා.” භූතාත්මය තුසිත දෙසට අත දිගු කොට පෙන්වමින් කීවේය.

“ඇයි මේ අයට කරදර කරන්නේ?”

“මූ මහ නොසන්ඩාලයා”

“ඇයි එහෙම කියන්නේ?”

“මහත්මයා මූ පුංචි එකා කාලෙම මුගේ අම්මයි තාත්තයි දෙන්නම මැරුණා. මමයි මූව හදා ගත්තේ. මූට වෙනස් කමක් වෙයි කියලා මම විවාහයක් කර ගත්තෙත් නැහැ.

මූව ඇති දැඩි කළා. මූට ඉගැන්නුවා. මගේ ගේ දොර, ඉඩ කඩම්, මගේ කඩ පේළිය මූට දුන්නා. මගේ යුතුකම් මම ඉටු කළා. ඒත් මූගේ යුතුකම් මූ ඉටු කළේ නෑ. මං මළාට පස්සෙ හරියට දානයක්වත් දෙන්න මූ සැලකිල්ලක් දැක්වුවේ නෑ. ඒ නිසා මම මූගෙන් පළි ගන්නවා”

භූතයා එසේ කියද්දී තුසිත බිම බලාගෙන නිශ්ශබ්දව සිටියේය.

“ඔබ මොනවාද පළිගන්න කරන්නේ?”

“ ඇයි දැනටම කරපු ඒවා මදිද....”

“ඒ මොකක්ද ?”

මුන්ට දරු සම්පත් ලබන්න ඉඩ දෙන්නෙ නෑ. මුන් ලක්ෂ ගණන් වියදම් කරලා දැන් අට වතාවක්ම දරුවෙක් හදන්න උත්සාහ කළා. මම ඒ කිසිම දෙයකට ඉඩ දෙන්නේ නෑ.මහත්තයා”

“ඒ කොහොමද දේවිකාට දරු ඵල ලැබෙන්නේ නැත්තේ.”

“මම මේකිගෙ දරු බොක්කෙ ඉඳගෙන ලේ උරා බොනවා. එතකොට මේකිට දරු ගැබක් ලබන්න බැහැනේ. එහෙම තමයි මම මේකිගෙන් පළිගන්නේ”

භූතයා තරහෙන් කීවේය.

දේවිකා පියවි සිහියට පත්කොට ගවේෂකවරයා ඒ පිළිබඳ දේවිකාගෙන් විමසූවේය.

එවන් මාමා කෙනකු ගැන තමා නොදන්නා බවත්, හීනෙන් බියකරු පිරිමි රූපයක් තමන්ට නිතර නිතර පෙනෙන බවත්, ගබ්සා වන සෑම අවස්ථාවකම ඊට කලින් දින රාත්‍රියට දත් විලිස්සා ගත් කළු පැහැති රෞද්‍ර පිරිමි රූපයක් හීනෙන් පැමිණ තමා දෙස බලා සිටින බවත් දේවිකා ගවේෂකවරයා ඉදිරියේ කීවාය.

තවත් දින දහ හතරක් බෝධි පූජා පවත්වා මාමාට පින් අනුමෝදන් කරන ලෙස ඔවුන්ට නියම කළ ගවේෂකවරයා ඊට අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නේය.

නැවත පැමිණි දිනයේ ද දේවිකාට සිරිසේන මාමාගේ ප්‍රාණකාරයා යළි ආවිශ්ට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.

“දැන් කොහොමද?”

“මට මහත්තයාගේ දේශන වැඩක් නැහැ මම මූන්ගෙන් පළිගන්නවා. මුන්ව මරලා මගේ දේපළ බේරා ගන්නවා.”

“ඔබ දැන් පේ‍්‍රතයෙක්. සිරිසේන නොවෙයි. මේ අය මරලා දේපළ අයිතිකර ගත්තත් ඔබට ඒවා භුක්ති විඳින්න බැහැ. අනිත් කාරණය තුසිත ඔබට නොසැලකුවාට දේවිකාගෙන් පළි අරගෙන හරි යන්නේ නෑ. දේවිකා ඔබ හඳුනන්නෙත් නෑ. වරද නොකළ කෙනෙකුගෙන් පළි ගැනීම මහා පාපයක්. ඒ නිසා ඔය ප්‍රේත ආත්මයේ තවත් අවුරුදු දහස් ගණනක් ඔබට දුක් විඳින්න වේවි. ඔය දුගතියෙන් මිදෙන්න අදහස් කරන්න.”

“බෑ....බෑ... මූ කළ අසාධාරණය ගැන මූට අවබෝධ කරලා දෙන්න. මට විතරක් බණ කියලා හරියන්නෙ නෑ. මහත්තයා”

පේ‍්‍රතයා ගවේෂකවරයාට කීවේය.

ගවේෂකවරයා තුසිත තමා ළඟට කැදවීය.

“ඔබ ඉගෙන ගත්ත කෙනෙක්. ඉංජිනේරු තාක්ෂණය විතරක් ඉගෙන ගෙන දැනගෙන හිටියාට මදි. ලෝක ධර්මතාවත් ඉගෙන ගන්න ඕනෑ. මව්පියන් මැරුණාම තමුන්ව හදාවඩාගත් , අධ්‍යාපනය ලබා දුන් ඒ මාමා ගැනත් හිතන්න තිබුණා. සල්ලි විතරක් රැස් කළාට මදි. පින් දහම් රැස් කරන්නත් ඕනෑ.

යුතුකම් ඉටු කරන්නත් ඕනෑ. ඒ නිසා ගෙදරට ස්වාමීන් වහන්සේලා විසි නමක් වඩම්මා සාංඝික දානයක් පිරිනමන්න. මාමා ගේ ගුණ කියන්න. සිහිපත් කරන්න. මාමගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරන්න. ඒ දානය දෙනතුරු ගෙදර උදේ සවස තෙරුවන් වැඳ තමන් අතින් වෙච්ච වැරැද්දට මාමාගෙන් සමාව ඉල්ලන්න.”

ගවේෂකවරයා තුසිතට උපදෙස් දෙමින් කියන්නට විය.

සාංඝික දානය පිරිනමා තුසිතත් දේවිකාත් නැවතත් ගවේෂකවරයා සොයා නැවත පැමිණියහ.එදින ද ගවේෂකවරයා භූතාත්මය කැඳවීය.

“කොහොමද පින්කම හොඳද?” ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“හොඳයි මහත්මයා, ඔන්න ඔය වගේ යුතුකම් කරනවා නම් මට මුන්ගෙන් පළිගන්නේ නැහැනේ.”

භූතයා කීවේය.

“හොඳයි ඒ වගේ පින්කම් කරන්න නම් ඔබ මේ අයගෙන් ඉවත් වෙලා සිද්ධස්ථානයකට ගිහින් පින් දහම්වලට හිත යොමු කරන්න. එතකොට ඔබට ඔයිට වඩා සැප සම්පත් තියෙන දේවාත්මයකට යන්න පුුළුවන්.” ගවේෂකවරයා එළෙස කී විට භූතයා

“ඔව් මහත්මයා මට තේරුණා, මට තේරුණා” යැයි කියන්නට විය.

අවුරුද්දක් පාසා මාමා සිහිකර දානයක් දෙන ලෙසත්, මාමාගේ දේපළ භූක්ති විඳින විට ඔහු කෙරෙහි ගුණාත්මකව සිහි කරන ලෙසත් ගවේෂකවරයා ඔවුන් දෙදෙනාටම කීවේය. ඊළඟ දිනයේ තමා හමුවීමට පැමිණෙන විට පලතුරු වට්ටියක් ද රැගෙන අනුරාධපුරයට යෑමට සුදානම් වී පැමිණෙන ලෙස ද ගවේෂකවරයා ඔවුනට කීවේය.

දෙසතියකට පසු ඔවුහු නැවත පැමිණියහ. ඒ වන විට හීනෙන් බියට පත්වීම නතරව ඇති බව දේවිකා ගවේෂකවරයාට කීවාය.

ගෙනෙන ලද පළතුරු වට්ටියට භූතාත්මය සම්බන්ධ කළ ගවේෂකවරයා භූතාත්මය ඔවුන් සමඟම අනුරාධපුරයට යැවීය.