“ඒ නෝනගේ ඇඟට මට රිංගන්න බැරිවුණා”

“ඒ නෝනගේ ඇඟට මට රිංගන්න බැරිවුණා”

ලෝක සත්ත්වයාගේ ජීවිත ක්‍රියාත්මක වන්නේ නියාම ධර්ම පහකට අනුව බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. කම්ම නියාමය, චිත්ත නියාමය, බීජ නියාමය, ධම්ම නියාමය, උතු (ඍතු) නියාමය ඒ නියාම ධර්ම පහයි.

දියුණු යැයි කියාගන්නා නවීන විද්‍යාවෙන් තවමත් පෙළහර පාන්නේ බීජ නියාම ධර්මය පිළිබඳ පමණකි. නවීන විද්‍යාඥයන් විසින් නිපදවා ඇති කිසිම උපකරණයකින් හෝ ඔවුන්ගේ පංචේන්ද්‍රියන්ට ගෝචර වන්නා වූ දැනුම් සම්භාරය තුළින් කර්ම, චිත්ත, ධම්ම, උතු නියාමයන් ගැන තේරුම් ගත නොහැකිව සිටී. ඒ නිසා විශේෂයෙන් මිනිස්සු මෙන්ම ඒ විද්‍යාඥයෝ ද දුකෙන්ම අසහනයෙන්ම කල් ගෙවති. ඊට හේතුව සිත සෑහීමකට පත් කරන, අසීමිත තණ්හාවට ප්‍රතිකාරයක් සොයා ගැනීමට නොහැකිවීමයි. එය ඇත්තේ බුදු දහමේම පමණකි. ලද දෙයින් සතුටු නොවී ඊට වඩා වටිනා, හොඳ, ලස්සන දේවල් සොයන්නට සිත පෙළඹීම දුකට හේතු ව බව බුදු දහමේ සඳහන් වන්නේ ඒ නිසාය.

නාම රූප දෙකෙන් සකස් වූ රූප හෙවත් ශරීරය සුවපත් කරනන්නට නවීන විද්‍යාවෙන් කොයිතරම් උපාය, පිළියම් යෙදුවත්, මිනිසාගේ මනස (සිත - විඤ්ඤාණ) හෙවත් චිත්ත වෛතසික සුවපත් කරන්නට ඒවාට නොහැකිව තිබේ.

සිත සතුටු කිරීම මෙන්ම සැකය සඳහා ද අන් සතු දේ බලෙන් හෝ උපායෙන් ගැනීමෙන්, මරා දැමීමෙන් වස්තු සම්පත්, රට රාජ්‍ය දිනා ගන්නට නවීන විද්‍යාවෙන් උපකරණ හා රසායන ද්‍රව්‍ය නිපදවා ඇතත් ඒවා මිනිස් ශරීරයත්, අන්‍ය ලෝකයත් පරිසරයත් විනාශ කරනවා මිස සුවපත් කිරීමක සිදු නොකරයි.

රූප - වේදනා - සඤ්ඤා - සංස්කාර - විඤ්ඤාණ යන ස්කන්ධ පහෙන් නවින විද්‍යාවෙන් ප්‍රතිකාර කරන්නේ රූප කොටසට පමණි. එහෙත් දැන් දැන් දියුණු රටවල විද්‍යාඥයන් කරා කෙසේ හෝ බුදු දහම - බුද්ධ පණිවුඩය ගලා යෑම නිසා විඤ්ඤාණයේ අසීමිත බල ශක්තිය පිළිබඳ පර්යේෂණ ආරම්භ වීම සතුටට කරුණකි. අද වනවිට නාසා විද්‍යාඥයින් පවා ඒ ගැන සිතන්නට, කල්පනා කරන්නට පටන් ගෙන ඇත.

දැඩි ලෝභය හා අසීමිත තණ්හාව හට ගන්නේ අවිද්‍යාව මෝහය හෙවත් ඇත්ත ඇති සැටියෙන් නොදන්නාකම නිසා බව කල්පනා කරන්නේ, ප්‍රායෝගික අන්දමින් ප්‍රගුණ කරන්නේ බෞද්ධ රටවල ද ඉතා ටික දෙනෙකි. අප බෞද්ධයන් යැයි කියා ගත්තාට ඔවුන් බෞද්ධයන් දැයි ඔවුන් ම නොදනී.

මාතර චන්ද්‍රසේන පනස් හය හැවිරිදි විශ්‍රාමිකයෙකි. හෙතෙම ඡ්‍යොතිෂ විද්‍යාව හා ගුප්ත විද්‍යාවන් උගත් අයෙකි. ඔහුගේ බිරිය පුණ්‍යා ය. ඔවුන්ට එක් පුතෙක් සිටී. ඔවුන්ගේ නිවස තුළ වරින් වර මහා දුර්ගන්ධයක් හමා යන්නට විය. චන්ද්‍රසේන හිටි හැටියේ අසනීප විය. “මම චන්ද්‍රසේනට ආදරෙයි.” කියමින් ඔහුම වරින් වර හඬ නගා කියන්නට විය. වත් පිළිවෙත් හා වෛද්‍ය ප්‍රතිකාර කළත් සුවයක් නොවීය. මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇදුරන් ගෙන්වා ලක්ෂ ගණනක් වියදම් කොට ශාන්තිකර්ම කළත් කිසිදු සුවයක් සහනයක් නොවීය.

අන්තිමට පුන්‍යා ඔහුව ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා කැඳවාගෙන ගියාය.

එහි දී ආධ්‍යාත්මික උපදේශකවරයා චන්ද්‍රසේනව පරීක්ෂා කිරීමේදී “මම චන්ද්‍රසේනට ආදරෙයි, මම චන්ද්‍රසේනට ආදරෙයි.”කියමින් ඔහුම මුමුනන්නට විය. ඔහු තුළ අමනුෂ්‍ය දෝෂයක් ඇති බව වටහාගත් ගවේෂකවරයා ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පුජා පවත්වා එන්නැයි නියම කළේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ චන්ද්‍රසේනගේ ශරීරය තුළින් භූතාත්මයක් මතු වී කතා කරන්නට විය. ගවේෂකවරයා භූතයා සමඟ කතා කළේය.

“කවුද මේ?”

“මම ද.....මම.........”

“මොකක්ද නම?”

“මතක නෑ”

“තමුන් කොහේද හිටියේ?”

“මම පා වෙවී හිටියේ”

“මෙයාගෙ ඇඟට රිංගුවේ මොකද?”

“මම රිංගුවා නෙමෙයි.”

“එහෙනම්?”

“කැලේ යන නයි රෙද්ද අස්සේ දමා ගත්තා වගේ වැඩක් මට වුණේ.”

“ඒ කියන්නේ ?”

“ඇයි මහත්තයා මගේ පාඩුවේ පා වෙවී හිටපු මාව මේ මිනිහා බන්ධනය කරගෙන දුක් විඳිනවා. මම සැප විඳිනවා. මම මේ මිනිහගෙ ශරීරයෙන් යැපෙනවා. සමහර වෙලාවට මම මේ මිනිහගෙ ශරීරයේ ඉඳගෙන මේ පුණ්‍යාටම තුරුල් වෙලා ඉන්නවා.” භූතයා සතුටින් කීවේය.

එය ඇසුණු සැණින් පුණ්‍යා අඬන්නට වූවාය. ඔවුන් සමඟ පැමිණ සිටි තරුණ පුතා ද විස්මයට පත් විය.

එදින ප්‍රතිකාරය නතර කළ ගවේෂකවරයා නිවසට දුම් ඇල්ලීමට ශක්ති ගැන්වූ සුවඳ කුඩු ටිකක් දී තව සතියකින් නැවත එන්නැයි ඔවුන්ට කීවේය.

සතියකට පසු ඔවූහු නැවත පැමිණියහ. එදින ද පේ‍්‍රතයා චන්ද්‍රසේනට ආවිශ්ට කැරවීය.

“කොහොමද පසුගිය සතිය?”

ගවේෂකවරයා භූතයාගෙන් ඇසීය.

“අර දුම් අල්ලන කොට මට වේදනාවක් දැනුණා. ඒත් පුණ්‍යා තමන්ගේ ඇඟටත් ඒ දුම් අල්ල ගත්තා ඒ නිසා මේ දවස් ටිකේ මට මෙයා ළඟට යන්න බැරිවුණා.”

“තමුන් මේ චන්ද්‍රසේනගේ ඇඟට රිංගුවේ මොකද?”

“මහත්තයා මූ උගතා. ගමේ පිළිගත්ත ප්‍රභූවරයා කියලා කවුරුත් සලකනවා. දවසක් මහත්තයෙක් හඳහන බලවා ගන්න මෙයා ළඟට ආවා. එයාගේ නෝනත් එක්ක. ඒ නෝනා හරිම ලස්සනයි. මූ ඒ නෝනට ආශාවෙන් යාළු කරගන්න ගුරුකමක් කළා. ඒ ගුරුකමට බන්ධනය කර ගත්තේ මාව. මම මට පවරපු රාජකාරිය ඉෂ්ට කර දෙන්න ගියා. ගියා.... ගියා..... ඒත් ඒ නෝනා ළඟට කිට්ටු වෙන්න මට ලැබුණේ නැහැ. ඒ නෝනා හරිම ප්‍රබලයි. ඒ නෝනගෙ ශරීරය වටා තියෙන ශක්ති වළල්ල හරිම ප්‍රබලයි. මට රිංග ගන්න බැරි වුණා.”

“ඒ මොකද ඒ තරම් ප්‍රබල ශක්ති වළල්ලක්?”

“ඒ නෝනා උදේ හවස් මෛත්‍රී වඩනවා. අනිත් වෙලාවට ඉන්නෙත් මෛත්‍රී සහගතව. ඉතින් ඒ නෝනා ප්‍රබලයි. ප්‍රසන්නයි.”

“හරි හරි මෛත්‍රී භාවනාවෙ ආනිශංස එකොළහක් තියෙනවා. මුහුණ ප්‍රසන්න වෙනවා.” සුඛංඝුපති - සුවසේ නින්ද යනවා. සුඛං පටිබුජඣති - සුවසේ අවදිවෙනවා. පාපකං සුපිතං පස්සති - නරක හීන දකින්නේ නෑ. මනුස්සානං පියෝ හෝති - මනුෂයන්ට පි‍්‍රය වෙනවා. අමනුස්සානං පියෝ හෝති - අමනුෂයන්ට පි‍්‍රය වෙනවා. දේවතාරක්ඛති - දෙවියෝ ආරක්ෂා කරනවා. නාස්ස අග්ගිවා විසංවා සත්ථං වා කමති. ගින්දරෙන්, වස විසෙන්, අවි ආයුධ වලින් හානි වන්නේ නෑ. ච්ත්තං සමාධියති- සිත සමාධි වෙනවා. මුඛ වණ්ණෝ විප්පසීදති- මුහුණ වර්ණ ප්‍රසාද වෙනවා. අසම්මුල් හෝ කාලං කරෝති- නොමුලාව කාලක්‍රියා කරත්වා. බ්‍රහ්ම ලොකූපගෝහති. මරණින් පසු (රහත් නූනොත්) බඹ ලොව උපදිනවා. ඒ නිසා මෛත්‍රී වඩන පුද්ගලයා දෙවියෝ ආරක්ෂා කරනවා.”

“ඔව්. මහත්මයා ඒ නෝනා ළඟට යන්න බැරි වුණු නිසා ඒ වශී ගුරුකමට මම මූගේ ඇඟට රිංගලා ඉන්නවා. මම මූට වශී වුණා.” පේ‍්‍රතයා කීවේය.

“යංකො ගෙදර. යංකො ගෙදර. ප්‍රභූවරයෙක් කියලා හැමෝම සලකන කොට මමත් ගරු කළා. බලන්නකො මෙයා කරල තියෙන නොසන්ඩාල වැඩේ. මමත් කරුම ගෙවනවා. උයලා කන්න දෙන්නවත් වටින්නේ නෑ මේ වගේ මිනිස්සුන්ට” භූතයාගේ කතාව ඇසූ පුන්‍යා අඬමින් කීවාය. තරුණ පුතා ලැජ්ජාවෙන් බිම බලා ගත්තේය.

“එහෙම හිතන්න එපා. මේ කර්මානුරූපව සංසාරයෙන් එන ගති ලක්ෂණ මතු වෙලා වෙච්ච දෙයක්. මෙයා ඉගෙන ගත්ත වටිනා ශාස්ත්‍රය වැරදි විදිහට පාවිච්චි කිරීම නිසා ලබපු දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාකයක්.”

ගවේෂකවරයා පුණ්‍යාට කරුණු පැහැදිලි කොට ඇයට ද මෛත්‍රී භාවනාවේ යෙදෙන්නැයි උපදෙස් දුන්නේය.

චන්ද්‍රසේන පියවි සිහියට පත් කොට මින් පසු හඳහන් බැලීම හා ගුරුකම් කිරීම නොකරන ලෙසත් පොරොන්දු කරවා භූතයාට ද කරුණු පහදා දී චන්ද්‍රසේනගේ ශරීරයෙන් භූතයා ඉවත් කරන්නට ගවේෂකවරයා පියවර ගත්තේය. චන්ද්‍රසේන නැවත වැරදි වැඩ කළොත් නැවත ඔහුගේ ශරීරයට රිංගාගන්නට භූතයාට අවසර ද දුන්නේය.

දැන් පුණ්‍යා ද මෛත්‍රී භාවනාව පුරුදු වෙමින් සිටී.

යහපත් කාන්තාවකට අහිතකර දෙයක් කරන්නට යෑමේ අකුසලය මෙලොවදීම පළදුන් ආකාරය ගවේෂකවරයා චන්ද්‍රසේනට පෙන්වා දුන්නේ ඉන් පසුවය.

මතුගම

මහින්ද විජේතිලක