“උඹ දැන් ලාල් නෙමේ මළ පෙරේතයෙක්”

“උඹ දැන් ලාල් නෙමේ මළ පෙරේතයෙක්”

මීගමුවේ පදිංචි නෙළුම් ජයවීර හතළිස් පස් හැවිරිදි දෙදරු මවකි. ඇගේ සැමියා පියසේන වැලි ගොඩ දම්මවා විකුණන ව්‍යාපාරිකයෙකි. ඔහු මා ඔයෙන් වැලි ගොඩදමන තොටුපොළක් පවත්වා ගෙන යයි. අවුරුදු දෙකක කාලයක සිට නෙළුම් ඇවිද ගන්නට බැරිව රෝද පුටුවක කල් ගෙවයි. නොකඩවා පවතින රුධිර වහනයකින් ද පෙළෙයි. මේ රෝගී තත්ත්වයන් නිසා ඇගේ මනස අවුල් වී බලාගත් අතම ඇය බලාගෙන සිටී.

ඇය සුවපත් කරගන්නට පියසේන නොකළ දෙයක් නැත. විිවිධ වෛද්‍ය ප්‍රතිකාර කළත් වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිදරව් වන්නේ නෙළුම්ට කිසිදු රෝගයක් නැති බවය. “අපි මේකත් කරලා බලමු” යි වෛද්‍යවරු ද බෙහෙත් මාරු කරමින් ප්‍රතිකාර කරති. ඊට අමතරව පියසේන ද වත් පිළිවෙත් අතින් ද නොකළ ශාන්ති කර්මයක් නැත.

අන්තිමට පියසේන ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා සිය බිරිය රැගෙන ආවේය. ආධ්‍යාත්මීය උපදේශවරයා මුණගැසී නෙළුම්ගේ රෝග තත්ත්වයන් විස්තර කළේය.

ගවේෂකවරයා මූලික ගවේෂණ ආරම්භ කරන විට නෙළුම් කෑ ගසාගෙන, හිඳගෙන සිටි රෝද පුටුවෙන් ද ලිස්සා බිමට වැටුණාය. ඔළුව පොළොවේ ගසාගෙන මහත් වියරුවකින් දඟලන්නට වූවාය.

ඇයට භූතාත්මයක බලපෑම් පැහැදිලිවම පෙනෙන්නට වූ බැවින් දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුනට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නියමිත දිනයේ ඔවූහු නැවත පැමිණියහ. එදින ද නෙළුම් භූතාවේෂ වුවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ කෑ ගහන්නේ?, දඟලන්නේ?”

“මම ලාල්” භූතාත්මය කීවේය.

“කවුද ලාල් කියන්නේ?”

“වැලිගොඩ දාපු ලාල්”

“කොහේද වැලිගොඩ දැම්මේ?”

“මා ඔයේ තොටුපළේ”

“මොනවා වෙලාද මැරුණේ?”

“එල්ලිලා සියදිවි හානිකර ගත්තා.”

“ඒ මොකද?”

“මෙන්න මේකි නිසා”

“මෙයා මොනවාද කළේ?”

“මෙයා නෙවෙයි මෙන්න මූ කළේ” භූතාත්මය පියසේන දෙස ඇඟිල්ල දිගු කරමින් පෙන්වීය.

“මොකක්ද කළේ?” යි ගවේෂකවරයා නැවත ඇසීය.

“මහත්මයා, මම මූ ළඟනෙ වැඩ කරන්නේ. මම හදිසියකට මූගෙන් අතමාරුවක් ගත්තා. ඒක ආපහු ගෙවන්න පොරොන්දු වෙච්ච දවසට දෙන්න මට බැරි වුණා. තොටුපොළේ මිනිස්සු හුඟාක් ඉස්සරහ මූ මට නොසෑහෙන්න බැන්නා. එදා මට කරපු ලැජ්ජාවට මූගෙන් පළිගන්න ඕනෑ කියල මට හිතුණා. දවසක මූ ගෙදර නැති වෙලාවක ගිහින් මම මේ ගෑනිගෙ අතින් ඇල්ලුවා. මේ ගෑනිත් මට බැනලා පන්නා ගත්තා. මේ සිද්ධිය මිනිහ ගෙදර ආවාට පස්සේ මේකි මිනිහට කියලා. මූ ඊට පහුවදා තොටුපළට ඇවිත් මිනිස්සු ඉදිරියේ තෝ මගේ ගෑනිගෙ අතින් ඇල්ලුවා නේද කියලා අහලා මට බැනලා ගැහුවා. ඒ ලැජ්ජාවට මම එල්ලිලා මැරුණා. මම මැරුණේ මුන් දෙන්නා ගැන වෛරයෙන්. මම දැන් අවුරුදු දෙකක ඉඳලා මේකිගෙන පළිගන්නවා.”

පේ‍්‍රතයා කියාගෙන ගියේය.

“තමුන් මැරිලා ඊළඟට උපන්නේ කොහෙද?”

“මේකිගෙ යටිබඩේ”

“ඊට පස්සෙ?”

“බඩ ඇතුළට රිංගුවා”

“රිංගලා?”

“මේකිගෙ ලේ උරා බිබී හිටියා.”

“දැන් ඊළඟ බලාපොරොත්තුව මොකක්ද?”

“මේකි මැරෙනකම් ලේ උරා බොනවා.”

“තමුන් ඔය කරන වැඩේ වැරදියි නේද?”

“මොකක්ද වැරදි?”

“ණයක් අරගෙන ආපහු නොදුන් නිසා නේද ඔය ඔක්කොම පැටළුණේ.”

ගවේශකවරයා එසේ පවසද්දී භූතාත්මය නිහඬ විය.

වෛරයෙන් වෛරය කිසිදා නොසන්සිඳෙන බැවින් ශරීරයෙන් ඉවත්ව යන්නැයි ගවේශකවරයා ප්‍රේතයාට පැහැදිලි කර දුන්නේය.

මොනවා කළත් ලාල් තමුන් ළඟ කලක් වැඩ කළ කෙනෙක් බව සිතා ගමේ පන්සලට දන් අඩුක්කුවක් පිරිනමා ලාල්ගේ දුගතිගාමී ආත්මයට අනුකම්පා කොට පින් අනුමෝදන් කරන්නැයි ගවේෂකවරයා පියසේනට ද උපදෙස් දුන්නේය.

ඊට අමතරව නෙළුම්ටත් පියසේනටත් ආධ්‍යාත්මිය ආරක්ෂණ යොදා නිවසට ආරක්ෂාවක් ද යොදා දුන්නේය.

එතැන් පටන් නෙළුම්ගේ තත්ත්වය සුව අතට හැරෙන්නට වූ අතර දෙපයින් නැගී සිට ඇවිදින්නට ඇයට පුළුවන් විය.

නියමිත පරිදි පන්සලට දානය පිරිනමා ලාල්ගේ ප්‍රාණකාරයාට පින් අනුමෝදන් කොට කිරීමෙන් අනතුරුව නෙළුම් බොහෝ දුරට සාමාන්‍ය අත පත්විය. ඒ බව පවසන්නට ඔවුහු නැවත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියහ.

එදින ද ගවේෂකවරයා ඇයට භූතාත්මය දිෂ්ටි ගැන්වීය. භූතාත්මය ආවිශ්ට වී තමන්ට මොවුන්ගෙන් පළිගන්නට ඉඩ නොදීම පිළිබඳ ගවේෂකවරයාට දොස් නගන්නට විය. ගවේෂකවරයා පේ‍්‍රතයාට තරවටු කළේය.

“උඹ දැන් ලාල් නොවෙයි. මළ පේ‍්‍රතයෙක්. මනුස්ස ලෝකෙ ඉන්දැද්දීත් වැරදි කරලා අන්තිමේ වටිනා මනුස්ස ජීවිතේත් නැති කර ගෙන ඒ මදිවාට ජීවත්ව ඉන්න මිනිස්සුන්ට හිරිහැර තර්ජනය කරමින් පළි ගන්නට ඉඩ දෙන්න බෑ. අසරණ වෙලා පිහිටක් පතාගෙන මා ළඟට එන රෝගීන්ට මම පිහිට වෙන්න ඕනෑ. ඒක තමයි මගේ රාජකාරිය. මගේ යුතුකම”,

එසේ කී ගවේෂකවරයා වේවැළ අතට ගන්නවාත් සමඟම පේ‍්‍රතයා නෙළුම්ගේ ශරීරයෙන් ඉවත්ව පලා ගියේය.