ක්‍රීඩකයාගේ ඝාතනයට 12 ක් ඇතුළට

“දියේ ගිලිලා මැරුණු වෙලාවේ මට දුව ගැන මතක් වුණා”

කොයි රටේ හිටියත් කොයි ලෝකයේ හිටියත් මව්පියන්ට තමන් ගේ දරුවන් අමතක නොවේ. එහෙත් සමහර දරුවන්ට තම මව්පියන් එළෙස සිහිපත් නොවේ. සමහර මව්පියෝ වැඩිහිටි නිවාසවල ඉඳගෙන තම දරුවන් මතක් වී කඳුළු සලති. පිටරටවල පදිංචියට ගිය බොහෝ දරුවන්ට තම දෙමව්පියන්, වැඩිහිටි, ඥාතීන්, ගුරුවරුන් මතක් වන්නේ බොහෝ කලාතුරකිනි. මතක් වුණ සැණින් ඔවුහු දුරකථනයෙන් හෝ ෆේස් බුක් වලින් 'හලෝ ටටා බයි බායි' කියති. මව් පියෝ මගේ පුතාට, මගේ දුවට තෙරුවන් සරණයි කියති. දෙවියන්ගේ පිහිටයි කියති. මව්පිය සෙනෙහස ඒ තරම්ම උතුම් යැයි කියන්නේ ඒ නිසාය.

කඩවත හසිතා විසි දෙහැවිරිදි තරුණ දියණියකි. ඇගේ පියා වික්‍රමය. විශ්‍රාමික නැන්දා පි‍්‍රයානිය. හසිතා දැනට වසර දෙකක සිට හිසේ රුදාවකින් පෙළෙන්නට වුවාය. තවත් වරෙක බඩේ රුජාවකින් පෙළුණාය. වෛද්‍ය ප්‍රතිකාර කළත් සුවයක් නොවීය. වෛද්‍ය පරීක්ෂණවලින් ඇයට රෝගයක් නැතැයි නිගමනය විය. ඊළඟට ඔවුහු මනෝ වෛද්‍යවරුන් සොයා ගියහ. බොහෝ වෛද්‍යවරු ඇයට විසාදයට ප්‍රතිකාර කළහ. තවත් දෙතුන් කෙනෙක් ආතතියට ප්‍රතිකාර කළහ. එහෙත් ඒ කිසිදු දෙයකින් හසිතාට සුවයක් ලැබුණේ නැත. හසිතාගේ පමණක් නොව නැන්දාගේ දෙකකුල් ද හිටි හැටියේ අප්‍රාණික වන්නට පටන් ගත්තේය.

අවසානයේ පියාත් නැන්දාත් දියණියත් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත ගියහ ආධ්‍යාත්මික උපදේශකවරයා මුණ ගැසී රෝග තත්ත්වය විස්තර කළහ.

ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කරන විට හසිතා අඬන්නට වුවාය. නොනවත්වාම අඬන්නට වුවාය. ඇඬිල්ලේ කෙළවරක් නොවු හෙයින් ඇය පියවි සිහියට පත්කළ ගවේෂකවරයා දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුනට කීවේය. බෝධි පූජාව කළ යුතු ආකාරය ගැන ද අවශ්‍ය උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට පැමිණි දින රෝග පරීක්ෂාවේ දී ඇගේ ශරීරයට භූතාත්මයක් ආවේශ වී අඬන්නට වුවාය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේ ඉන් පසුවය.

“කවුද මේ ළමයාගේ ශරීරයට රිංගා ගෙන අඬන්නේ?

“මම රෝහිණී” භූතාත්මය පිළිතුරු දුන්නාය. එය ඇසුණු ගමන් හසිතා ගේ පියාන් නැන්දාත් දෑස් ලොකු කරගෙන පුදුමයට පත් වුහ.

“කවුද මේ රෝහිණී කියන්නේ?”

“මම මේ දුවගෙ අම්මා.”

“අම්මා නම් ඇයි මේ දුවට කරදර කරන්නේ.”

“මම කරදර කරන්නේ නෑ. මම මැරෙන වෙලාවේ මට මගේ දුව මතක් වුණා. මම දුව හොයාගෙන ආවා. අනේ, මට මගේ දුව දාලා යන්න නම් කියන්න එපා.”

පේ‍්‍රතිය හඬමින් කීවාය.

“ඇයි මේ අඬන්නේ,?”

ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“මගෙන් වරදක් වුණා. මට දුව දාලා යන්න සිද්ධ වුණා. ඒත් මගේ දුව මට ඕනෑ. මම ඉන්න තැනට අරගෙන යන්න ඕනෑ.”

පේ‍්‍රතිය තමන් අතින් සිදු වූ වරදක් ගැන පසුතැවිලි වන්නේ කුමන හේතුවක් නිසා දැයි ගවේෂකවරයා වික්‍රමගෙන් ඇසීය.

තමන්ට සිටින්නේ මේ දුව පමණක් බවත්, තම බිරිය රෝහිණී දුවට වයස අවුරුදු දෙකේ දී වෙනත් තරුණයෙකු සමඟ පැන ගිය බවත් එයින් පසු ඇය තම නිවෙසට නොපැමිණි බවත්, ඇය ගැන තොරතුරක් පවා නොලැබුණු අතර ඇය මිය ගිය බව පවා දන්නේ දැන් බවත් වික්‍රම ගවේෂකවරයාට කීවේය.

මේ දියණියට තියෙන ආදරය නිසා තමා නැවත විවාහයක් නොවු බවත් වික්‍රම වැඩිදුරටත් කියා සිටියේය. තමා ද අවිවාහකව සිට මෙම දියණිය හදාවඩා ගත් බව හසිතාගේ නැන්දනිය වන පි‍්‍රයානි ද ගවේෂකවරයා ඉදිරියේ කියා සිටියාය. ගවේෂකවරයා නැවතත් භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“හුරතල් දූ සිඟිත්ත අතහැරලා තමන්ට වෙන මිනිහෙක් එක්ක පැනලා යන්න හිතුණා නේද?”

“.................................................” පේ‍්‍රතිය නිහඬය.

“තමුන් යන කොට දුවට වයස කීයද?”

“අවුරුදු දෙකයි”

“තමුන් කොහේදිද මැරුණේ?”

“තංගල්ලේ දි.”

“ඒ කසාදයත් ළමයි ඉන්නවද?”

“දෙන්නෙක් ලැබුණා.”

“මැරෙන වෙලාවේ ඒ දෙන්නා මතක් වුණේ නැද්ද?”

“නැහැ.”

“ඇයි මේ හසිතා ගැන විතරක් මතක් වුණේ?”

“මගෙන් දුවට වරදක් වුණා. අම්මා කෙනෙකුගෙන් දුවෙකුට සිදු විය යුතු යුතුකම් කරන්න මට බැරි වුණා. ජීවත්ව ඉන්දෙද්දි නිතරම මම ඒ ගැන පසුතැවුණා. මැරෙන වෙලාවෙත් ඒ සිතුවිල්ල මතුවුණා.”

“තමන් මොනවා වෙලාද මැරුණේ?”

“දියේ ගිලිලා”

“දියේ ගිලෙද්දීත් තමන්ගෙන් යුතුකම් ඉටු නොවුණ දුව මතක් වුණා. මැරිලත් දුව හොයාගෙන ආවා. ඒ නිසා ඒක මේ දුවට දැන් කරදරයක් වෙලා. අසනීපවලට හේතුවක් වෙලා. කරුණාකර දුව අතහැරලා යන්න.”

“බෑ....බෑ.... මට මගේ දුව දාලා යන්න බැහැ.”

“ඈ පෙරේතියේ, තොට මගුල් විසේ හැදිලා මේ දරුවට වයස අවුදුරු දෙකේ දී හොර මිනිහත් එක්ක පැනලා යන්න පුළුවන්. දැන් උඹට මේ ළමයාව සනීප කරන්න මෙයාව අතහැරලා යන්න බැහැ නේද?”

එසේ කී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට පේ්‍්‍රතිය දවාලන්නට විය.

“අනේ පිච්චෙනවා.... දැවිල්ලයි.... දැවිල්ලයි.... පුච්චන්න එපා.....” භූතාත්මය වේදනාවෙන් කෑ ගසන්නට වුවාය.

“ එහෙම නම් මේ දුවව අතහැර පලයන්”

“අනේ මගේ දුව“

“උඹ දැන් රෝහිණී නෙමෙයි. උඹ පේ‍්‍රතියක්, මේ හසිතා උඹේ දුව නොවෙයි. උඹට සතියක් කල් දෙනවා ඉවත් වෙලා පලයන්.”

එසේ කියමින් ගවේෂකවරයා වික්‍රමටත්, පි‍්‍රයානිටත් කළ යුතු උපදෙස් දුන්නේය. දිනපතා නිවසේදි උදේ හවස කළ යුතු පිළිවෙත් හා සජ්ඣායනා කළ යුතු ආරක්ෂක පිරිත් කිහිපයක් ද හඬ නගා කියන්නට ඔවුන්ට නියම කළේය. හසිතාට මෛත්‍රී භාවනාව වඩන්නට ද උපදෙස් දුන්නේය. නිවසේත් නිවස වටාත් දුම් අල්ලන්නට දුම් කුඩු ශක්ති ද ලබා දුන්නේය.

ඒ පිළිවෙත් ඉටු කරන විට හසිතාගේ හිසේ රුදාව හා බඩේ රුදාව ක්‍රමයෙන් පහ වී ගියේය. නැන්දා ගේ දෙකකුල් අප්‍රාණික වීම ද සුවපත් විය.

සුවපත් වූ දියණියත් සහෝදරියත් සමඟ වික්‍රම නැවත ගවේෂකවරයා හමුවට පැමිණියහ. ගවේෂකවරයා ඔවුන්ට මෙසේ උපදෙස් දුන්නේය.

“මේ දේවල් සිදු වුණේ පේ‍්‍රතිය නිසා ම පමණක් නොවෙයි. පුර්ව අකුසල් කර්ම විපාකයන් මෙයට බලපානවා. පෙර භවයක කළ පාපයක් නිසා මෙහෙම වෙන්න පුළුවන්. ඒ නිසා සිල්වත්ව ධාර්මික ජිවිතයක් ගෙවන්න සිහි තබාගන්න ඕන.”

ගවේෂකවරයා එදින ද හසිතා දිෂ්ටි ගන්වා පේ‍්‍රතිය ආවිශ්ට කළේය. ශක්ති කිරණ එල්ල කරමින් පේ‍්‍රතිය දවාලද්දී පේ‍්‍රතිය වේදනාවෙන් අඩන්නට වූවාය.

“එපා.... එපා.... පුච්චන්නට එපා.... මට දරුවා එපා.... මම යනවා..... මම ආයෙත් එන්නේ නෑ. තංගල්ලේ දරුවන් දෙන්නා හොයාගෙන මම යනවා.”

එසේ කියමින් පේ‍්‍රතිය ඉවත්ව ගියාය. එදා පටන් හසිතාට කිසිදු රෝගයක් තිබුණේ නැත. ඇය ගවේෂකවරයා දුන් වත්පිළිවෙත් ඒ විදිහටම අනුගමනය කරමින් උදේ සවස බුදුන් වැන්දාය. පෙර භවයේ මව වෙනුවෙන් අවශ්‍ය පිං කටයුතු ද සිදු කළාය. දැන් ඇය නිරෝගී සුවය ලබා ඇත.