“මම ආවේෂ වෙලා මෙයාව මරනවා”

“මම ආවේෂ වෙලා මෙයාව මරනවා”

කාම රාග, රූප රාග, අරූප රාග යැයි රාගය තුන් වැදරුම් වෙයි. කාම ලෝක සම්බන්ධ පි‍්‍රයවීම කාම රාග නමින්ද, රූපාවචර, බ්‍රහ්ම තලයට ඇති පි‍්‍රය බව රූප රාග ලෙසද, අරූපාවචර බ්‍රහ්ම තලයට ඇති පි‍්‍රයබව අරූප රාග ලෙස ද දැක්වේ. එහෙත් “රාගය” බොහෝ ව්‍යවහාර වන්නේ ලිංගික ආශාව පිළිබඳවය. එය ද ප්‍රබල චිත්ත වේගයකි.

මීරිගම කුමාරි තිස් පස් හැවිරිදිය. ඇගේ ස්වාමි පුරුෂයා විමල් පෞද්ගලික අංශයේ රැකියාවක යෙදෙයි. ඔවුන් විවාහ වී දැනට වසරක් ගතව ඇතත් තවමත් දරුවකු ලැබෙන ලකුණක් පෙනේනට නැත. විවාහ වී මාස හයක් පමණ කාලයක සිට කුමාරි තුළින් අසාමාන්‍ය ගති ලක්ෂණ මතු වෙන්නට විය. විටෙක ඇගේ ඇස් තද රතු පැහැ ගැන් වේ. නිතර තරහ ගති ඇති වෙයි. හීනෙන් බියට පත්ව කෑ ගසා ගෙන අවදි වෙයි.

රාත්‍රි 11.00ට හැමදාමත් ඔවුන්ගේ ගෙදර ඔරලෝසුවේ වේලාව නතර වෙයි. අලුතින් බැටරි දැම්මත් වෙලාව එසේම පවතී. බල්ලා රාත්‍රි කාලයේ අවස්ථා තුනක දී උඩු බුරයි. මේ තත්ත්වයන් හේතු කොටගෙන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තොවිල් පවිල් කළත් සහනයක් නොවීය. වෛද්‍යවරු මානසික රෝගයකැයි සිතා කුමාරිට ප්‍රතිකාර කරති.

මේ තත්ත්වය නිසා ඔවුහු ගෙදර පදිංචිය අතහැර නැන්දලාගේ ගෙදරට ඇවිත් නතර වුහ. ඒ ගෙදර බල්ලා කුමාරිව දින තුනක්ම සපා කෑවේය. වෛද්‍ය ප්‍රතිකාර වලින් හෝ පිළිවෙත් වලින් සුවයක් සහනයක් නොවුණු තැන විමල් සිය බිරිය කුමාරිව ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත කැඳවා ගෙන ආවේය.

එහි දී ඔවුහු ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී එළඹ ඇති තත්ත්වය පැහැදිලි කළහ. පළමුවැනි රෝග පරීක්ෂාවේදී කුමාරි පැද්දෙන්නටත් අඬන්නටත් වුවාය. ඇයට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව වටහාගත් ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඊට අවශ්‍ය උපදෙස් දෙමින් කීවේය.

බෝධි පූජා අවසන්කොට නැවත පැමිණි දිනයේ ප්‍රතිකාර ආරම්භ කරන විට කුමාරිට භූතාත්මයක් ආවේශ වූ අතර ගවේෂකවරයා භූතාත්මය සමඟ සාකච්ඡා කළේය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”

“මම රන්දිකා”

“කවුද රන්දිකා කියන්නේ?”

“මේ කුමාරි එක්ක එක බෝඩිමේ ඉඳගෙන එකට ගාර්මන්ට් ගිය යාළුවා. මේ විමල් කලින් යාළුවෙලා හිටියේ මා එක්ක “

පේ‍්‍රතිය මහ හඬින් කීවාය.

මේ ගැන විමල්ගෙන් විමසූ විට තමන් පළමුව යහළු වී සිටියේ රන්දිකා සමඟ බවත් පසුව කුමාරි සමඟ විවාහ වූ බවත් ඒ අතරේ රන්දිකා වාහනයක හැපී මිය ගිය බවත් ඔහු ගවේෂකවරයා සමඟ පැවසීය.

“විමල්.... මගේ ... විමල්.... මගේ.... මම විමල්ට ආදරෙයි. මට විමල් නැතුව ඉන්න බෑ. විමල් කුමාරිව කසාද බැඳ ගත්තාම මට ඒක දරාගන්න බැරුව ගියා. ඒ ගැන කල්පනා කර කර ගිහින් වට පිට නොබලා පාර පැන්නා. වේගයෙන් ආපු වාහනයක හැපිලා මම මැරුණා.”

පේ‍්‍රතිය යළි එසේ කියමින් අඬන්නට වුවාය.

“ඊට පස්සේ මොකද වුණේ?” ගවේෂකවරයා පේ‍්‍රතියගෙන් ඇසීය.

“ඊට පස්සේ මම විමල් හොයාගෙන ආවා. මම කුමාරිගේ ඇඟට රිංගලා විමල්ට තුරුල් වෙලා ඉන්නවා.”

රන්දිකා කොයි වගේ කෙනෙක් දැයි ගවේෂකවරයා විමල්ගෙන් ඇසීය.

“රන්දිකා හරිම රාගාධිකයි. රන්දිකායි කුමාරියි හිටියේ එකම බෝඩිමේ නතර වෙලා. සමහර දාට රන්දිකා බොරු ලෙඩ අරගෙන වැඩට යන්නේ නෑ. කුමාරි වැඩට යනවා. රන්දිකා මටත් වැඩට යන්න නොදී දවසම මා එක්ක ගත කරනවා. එයාගෙ රාගාධිකකම නිසාම තමයි මම එයාව නොබැඳ කුමාරිව කසාද බැන්දේ.”

“දැනුත් රාත්‍රියට කුමාරි රන්දිකා වගේ හැසිරෙනවා. රාත්‍රියට මටත් හිතෙන්නේ මා ළඟ ඉන්නේ කුමාරි නොවෙයි රන්දිකා කියලා. කුමාරිගෙ සියලුම හැසිරීම් කතා බහ රන්දිකාගේ වගේමයි. මේ කුමාරි නෙමෙයි කියලා මට ඒ වෙලාවට හිතෙනවා.”

විමල් පෞද්ගලික දේ පවා ගවේෂකවරයා ඉදිරියේ පැහැදිලි කළේය.

ගවේෂකවරයා යළිත් පේ‍්‍රතිය ඇමතුවේය.

“ඔබ දැන් රන්දිකා නොවෙයි. පේ‍්‍රතියක්. කරුණාකර මේ දෙන්නට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දීලා කුමාරිගෙ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕන.”

“බැහැ ..... බැහැ.... විමල් මගේ. විමල් නැතුව මට ඉන්න බෑ. කුමාරිගෙ ඇඟෙන් ඉවත් වුණොත් මම විමල් ළඟට යන්නේ කොහොමද? මම යන්නේ නෑ.”

පේ‍්‍රතිය හඬන්නට වුවාය.

“ඔබේ අධික රාගාධිකකම නිසාමයි මේ විමල්ට තමුන් එපා වුණේ.”

“මොනවා? ඇත්තද විමල්? මගෙන් අහගන්න එපා තමුසෙගෙ හැසිරීම් ගැන. ඒ නිසාම තමයි මට තමුසෙව ඕනෑ වුණේ. තමුසෙ කුමාරිව බැන්දාම මට පිස්සු හැදුණා වගේ වුණා. ඒකයි වාහනේ හැපිලා මැරෙන්න සිද්ධ වුණේ. මහත්තයා මට විමල් නැතුව ඉන්න බැහැ. විමල් මට ඔහොම කළොත් මම විමල්ව අරගෙන යනවා.”

“ඒ කොහොමද?”

“මම විමල්ව මරලා අරගෙන යනවා.”

“කොහොමද මරන්නේ? ”

” මම මේ වගේම කුමාරිට ආවේශ වෙලා කුමාරිගෙ අත් දෙකෙන් ම විමල් ගේ බෙල්ල මිරිකලා මරනවා. මම විමල්ව අරගෙන යනවා. එතකොට කුමාරි හිරේ යාවි.”

“ඇයි මෙච්චර දවස් එහෙම නොකළේ?”

“එහෙම කළොත් මට විමල්ට තුරුල් වෙලා රෑ දවස ගෙවන්න බැරිවේවි කියලා හිතුණ නිසයි මම එහෙම දෙයක් නොකළේ.විමල්ට මාව එපානම් මම කොහොමටත් එයාට මරලා මගේ ළඟට ගන්නවා.” පේ‍්‍රතිය තරහින් කීවාය.

පේ‍්‍රතියගේ බලාපොරොත්තුව උත්සාහය ඒ තරම් හොඳ නැති බව වටහාගත් ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කොට භූතාත්මය දවාලන්නට විය.

“පිච්චෙනවා..... පිච්චෙනවා.....” පේ‍්‍ර‍්‍රතිය කෑ ගසද්දීත් ඇය දුර්වල වන තුරු දවාලන්නට විය. දවන විට මතකය අඩු වී යන බව ගවේෂකවරයා කීවේය.

ඉන් අනතුරුව කුමාරිට ප්‍රකෘති සිහිය ලබා දුන් ගවේෂකවරයා දෙදෙනාටම උපදෙස්් දුන්නේය. තවත් දින දහ හතරක් බෝධි පූජා පවත්වන ලෙස ද බෝමළුවේදී භාවනා කරන වත් පිළිවෙත් ද කියා දුන්නේය. ඉන් පසුව පන්සලට දානයක් ගෙන ගොස් සාංඝික කොට පූජා කර රන්දිකාගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙස ද නියම කළේය. දානයෙන් පසු දිනපතා උදේ හවස නිවසේ තෙරුවන් වැඳ පිරිත් සූත්‍ර කිහිපයක් සජ්ඣායනය කරන ලෙස ද කීවේය.

ඒ උපදෙස් පිළිපැද ඔවුහු ගවේෂකවරයා හමුවට නැවත පැමිණියහ. ඒ වන විට කුමාරිගෙත් විමල්ගෙත් ශරීරවල ශක්ති වළල්ල ප්‍රබල වී තිබුණි. කුමාරිගේ අසනීපත් නිවසේ අමනුෂ්‍ය දෝෂත් ඉවත් වී තිබුණි.

එදින කුමාරි ට භූතාත්මය ආවිශ්ට කොට කතා කරන විට රන්දිකාගේ ප්‍රාණකාරිය ඉවත්ව යෑමට කැමති විය.

භූතාත්මය පළතුරු වට්ටියකට සම්බන්ධ කළ ගවේෂකවරයා කුමාරි අතම භුතාත්මය අනුරාධපුරයට යැවීය.

රාගය කාම ලෝකයේ ඇති ප්‍රබලම චිත්ත චෛතසික වේගයයි. මරණාසන්නයේ රාගී සිතුවිල්ලක් චුති චිත්තයට අරමුණු වුණොත් දුගති ගාමීවීම අනිවාර්යයි.