“කාර් එක නොදුන් නිසා එයා වෛරයකින් මැරුණේ”

“කාර් එක නොදුන් නිසා එයා වෛරයකින් මැරුණේ”

මිනිස්සු තමන් ගේ සිතුම් පැතුම් කෙසේ හෝ ඉටු කර ගැනීමට නිතර නිතර බලාපොරොත්තු වෙති. සාධාරණ වුවද අසාධාරණ වුවද කෙසේ හෝ ඒවා ඉටු කර ගෙන එයින් තෘප්තියක්, වින්දනයක් ලබා සතුටු වෙන්නට ඔවුහු කටයුතු කරති. එසේ ඉටු කර ගන්නට බැරි වූ විට ඔවුහු දුක් වෙති. අනුන් කෙරෙහි තරහ වෛර ඇති කර ගනිති. එවැනි සිතුවිල්ලක් නිතර නිතර මෙනෙහි කිරීම නිසා එය කර්ම පථයක් බවට පත් වේ. එවිට චේතනාව උත්කෘෂ්ඨ වේ. මරණාසන්න මොහොතේදී එවැනි සිතුවිල්ලක් චුති චිත්තයට මතු වුණොත් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම දුගතිගාමීව උපදී. එපමණක් නොව තරහ වෛර ඇති කර ගත් අය කරා පැමිණ ඔවුන්ට දුක් කරදර ඇති කරති.

පානදුරේ පදිංචි සමත් තිස් පස් හැවිිරිදි ව්‍යාපාරිකයෙකි. අවිවාහකයෙකි. ඔහුගේ මනස නිතර අවුල් වූ ස්වභාවයකට පත් වී තිබිණි. ඊට හේතු වූයේ මිය ගිය මාමා රාත්‍රියට හීනෙන් බය කරන්නට වීමය. ඒ නිසා ඔහුට හරිහැටි නින්දක් ද නොවීය. ඊට අමතරව ඔහුගේ වාහනයේ ලයිට් ඉබේ පත්තු වෙයි. අලුත්ම වාහනයක් වූ ඔහුගේ රථය නිවසේ සිට පාරට දමන විටම වතුර බට සිදුරු වී වතුර ගලායන්නට වෙයි. අලුතෙන් වතුර බට සවි කළත් පෙර සේම සිදු වී ගමන් කළ නොහැකි තත්ත්වයක් උදාවෙයි. නතර කර තිබූ වාහනය හිටි හැටියේ පණ ගැන්වෙයි. මේ නිසා අසනීප වූ ඔහුට වෛද්‍ය ප්‍රතිකාර කළත්, මනෝවෛද්‍ය ප්‍රතිකාර කළත් සුවයක් නොවීය. යන්ත්‍ර මන්ත්‍ර ශාන්තිකර්ම කළත් සහනයක් නොවීය. අවසානයේ “මාංචු” පත්‍රය කියවන මිත්‍රයකුගේ උපදෙසක් මත එහි සඳහන් වන ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ඔහු මෑණියන් සමඟ එහි ගියේය.

එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන් පත්ව සිටින තත්ත්වය පැහැදිලි කළේය. මිය ගිය මාමා හීනෙන් බය කරන බවද ඔහු කීවේය. පළමු රෝග පරීක්ෂවේදී ම සමන් වෙව්ලන්ට වූ බැවින් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා අවසානයේ මියගිය මාමා සිහිපත් කොට පින් අනුමෝදන් කරන ලෙස ගවේෂකවරයා ඔහුට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත ගවේෂකවරයා හමුවට පැමිණියහ. එදින රෝග පරීක්ෂවේදී සමන් ගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට විය. ගවේෂකවරයා ඒ භූතාත්මය සමඟ කතා කරන්නට විය.

“කවුද මේ ?”

“මෙයාගෙ මාමා”

“මොකක්ද මාමාගෙ නම?”

“ඇල්ප්‍රඩ්”

“මාමා ය කිව්වේ?”

“අම්මගෙ අයියා. මම විවාහ වුණෙත් නෑ. මගේ දේපළත් මෙයාටමයි අයිිති වුණේ.”

“ඉතින් මොකද මේ බෑණට කරදර කරන්නේ?”

“මම මූ එක්ක තරහයි”

“ඒ මොකද?”

“මම ගමනක් යන්න මුගේ කාර් එක ඉල්ලුවා. මූ මට කාර් එක දුන්නේ නෑ. ඒ නිසා මම මුගෙන් පළිගන්නවා.”

“කොහොමද පළි ගන්නේ?”

“මූට විතරක් නෙමේ මම මුගේ වාහනේටත් ලෙඩ කරනවා.”

“තමුන් දැන් ඒ ඉස්සර හිටපු ඇල්ප්‍රඩ් නෙමෙයි. දැන් පේ‍්‍රතයෙක්. තමුන්ට භෞතික වස්තු එහා මෙහා කරන්නත් පුළුවන් ද?”

“මොකද බැරි. එහෙනම් කොහොම ද කාර් එකේ ලයිට් දාන්නේ. මට ලයිට් දාන්නත් පුළුවන්, ලයිට් නිවන්නත් පුළුවන්, ස්ටාට් කරන්නත් පුළුවන, ඕෆ් කරන්නත් පුළුවන්, වතුර බටේ හපලා සිදුරු කරන්නත් පුළුවන්”

පේ‍්‍රතයා සිනහවෙමින් කියන්නට විය.

භූතාත්මය සමන්ගේ ශරීරයෙන් ඉවත් කළ ගවේෂකවරයා මිය ගිය මාමා පිළිබඳ තොරතුරු සමන්ගෙන් විමසීය.

අවිවාහකයකු ලෙස ජීවත් වී දැනට අවුරුද්කට පමණ පෙර මාමා හෘදයාබාධයකින් මිය ගිය බවත්, ඉන් පසු ඔහු සතුව තිබූ දේපළ තමන්ට අයිති වූ බවත්, තමන් අලුතෙන් ගත් කාර් එක ගමනක් යෑමට මාමා ඉල්ලු නමුත් වාහනය ඔහුට නොදුන් හේතුව නිසා අවසාන භාගයේ තමන් සමඟ තරමක අමනාපයකින් පසු වූ බවත් සමන් ගවේෂකවරයා ඉදිරියේ කියන්නට විය.

නැවතත් ඇල්ප්‍රඩ්ගේ භූතාත්මය සමන්ට දිෂ්ටි ගැන් වූ ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.

“තමුන් මේ බෑණා සමඟ අමනාප මොකද?”

“මූ මට වාහනය දුන්නේ නෑ ගමනක් යන්න. ඒකයි අමනාප”

“ඒ වාහනය තමන්ගෙද? සමන්ගෙද?

“සමන්ගේ”

“ඒ වාහනය මිල දී ගන්න තමනුත් සල්ලි දුන්නද?”

“නැහැ”

“තමුන්ට වාහන පදවන්න බලපත්‍රයක් තියෙනවද?”

“ඔව්. මට ලයිසන් තියෙනවා.”

“තමන් මත්පැන් පානය කළා ද?”

“ඔව්”

“තමන් බීමත්ව වාහන පදවා අනතුරුවලට ලක්වෙලා තියෙනවාද?”

“ඔව්”

“තමුන්ට වාහනයක් තිබුණා නම් මේ බෑණා බීමත්ව ඇවිත් තමන්ගේ වාහනය ඉල්ලුවොත් දෙනවාද?”

“නැහැ”

“එහෙම නම් තමුන්ගේ සිතුම් පැතුම් වගේ ම බෑණාගේත් සිතුම් පැතුම් එක වගේයි දැන් තමුන්ට ඒ වාහනය දුන්නොත් පදවන්නත් බැහැ. ඔය වැරැදි සිතුවිල්ලක් නිසා ් තමුන් දැන් පේ‍්‍රතයෙක් වෙලා. ඔය දුක්ඛිත පේ‍්‍රතාත්මයෙන් මිදෙන්න හොඳම අවස්ථාවක් මේක. ඔය පේ‍්‍රතාත්මයෙන් මිදී දිව්‍යාත්ම භාවයක් ලබන්න අධිෂ්ඨාන කරන්න. දිව්‍ය ලෝකයේ දිව්‍ය රථ, ස්වර්ණමය වාහන මනුස්ස ලෝකයේ යකඩ ගොඩවල් වගේ නොවෙයි, තෙල් පැට්‍රල් ගහන්න ඕනෑත් නෑ. හිතපු තැනට හිතපු වෙලාවෙම යන්න පුළුවන්. ඒක නිසා දෙවි කෙනෙක් වෙන්න හිතන්න.”

“ඒකට මොනවද මහත්මයා මම කරන්න ඕනෑ”

පේ‍්‍රතයා ගවේෂකවරයාගෙන් ඇසීය.

“මම මේ අයට කියලා සාංඝික දානයක් දීලා තමන්ට පින් අනුමෝදන් කරවන්නම්, ඒ පින් අරගෙන හොඳට වත් පිළිවෙත් කරන සිද්ධස්ථානයකට යන්න. එතැන කරන පින් දහම් කටයුතුවලට අතහිත යොමු කළාම දෙවියෙක් වෙන්න පුළුවන්”

ගවේෂකවරයා භූතාත්මයට කීවේය.

“හොඳයි මහත්මයා මම ඒකට කැමැතියි“

පේ‍්‍රතයා කීවේය.

ඒ අනුව දානයක් පිරිනමා ඇල්ප්‍රඩ්ගේ නම කියා පින් අනුමෝදන් කොට අවසන්ව සමන් සිය මෑණියන් සමඟ නැවත ගවේෂකවරයා හමුවීමට පැමිණයේය. ඒ වන විට සමන්ගේ සියලුම ශාරීරික මානසික ආබාධ සුවපත් වී තිබුණා වගේම වාහනයේ අසාමන්‍ය දෝෂයන් ද ඉවත් වී තිබුණු අතර එදා ඔවුන් පැමිණියේ ද ඒ වාහනයෙන් මය.

එදින ද ගවේෂකවරයා සමන්ට භූතාත්මය ආවිශ්ට කොට ප්‍රශ්න කළේය.

“කොහොමද සාංඝික දානය හොඳට කෙරුණාද?”

“ඔව් මහත්මයා සමනුයි අම්මයි බොහොම හොඳට දානය පිරිනැමුවා. මමත් ඒ පින් අනුමෝදන් වුණා. මට දැන් සතුටුයි. මගේ හිත සැහැල්ලුයි.” භූතයා සතුටින් කියන්නට විය.

“තමුන් දැන් ඉවත්වෙලා යනවද?”

“ඔව් මහත්මයා මාව හොඳ තැනකට යවන්න.”

ගවේෂකවරයා සමන් ලවා සුදුමල් වට්ටියක් ගෙන්වා භූතාත්මය ඊට සම්බන්ධ කොට ඔවුන් සමඟම කැළණියට යැව්වේය.

මතුගම මහින්ද විජේතිලක