“මැරෙන වේලාවේ මට සුදු නෝනව මතක් වුණා”

 “මැරෙන වේලාවේ මට සුදු නෝනව මතක් වුණා”

පින් දහම් කිරීමේදී එය පැහැදිලි නුවණින්ම සිදු කළ යුතුය. “පින” යනු සිදු කරන යහපත් ක්‍රියාවෙන් හදවත පිනා යෑමයි. එසේ පිනා යෑමෙන් ගොඩ නැඟෙන්නේ ශක්තියයි. එහෙත් ඒ පිනට මෝහය මිශ්‍ර වී තිබුණහොත් එය හේතු කොටගෙන ලැබෙන ඵලය විකෘති විය හැකිය. නම්බුවක්, ගෞරවයක්, දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ප්‍රාර්ථනා කරගෙන දානයක් දුන්නොත් එය ගනුදෙනුවක් මිස පිරිසිදු දානයක් නොවේ. කිසිවකු පිරිසිදු ලෙස කිසියම් දානයක් දුන්නේ නම් ඒ සඳහා යහපත් විපාකයක් අනිවාර්යෙන්ම ලැබේ. එහෙත් මානයෙන් නම්බුවට හා වාසියක් බලාපොරොත්තුව දානයක් දුන්නොත් එහි ලෝභයත් මෝහයත් ඇතුළත් වේ. එවැනි දානයක් මරණාසන්න මොහොතේ චුති චිත්තයට සිහිපත් වුවහොත් ඔහු හෝ ඇය මහා ධනවත් පවුලක බල්ලෙකු වී හෝ ඉපිද පූර්වයෙහි දුන් දානයේ ආනිසංස වශයෙන් රස මසවුන් හා සැප ලබති. ඒ නිසා දානයක් දෙන විට තුන් සිත පහදා ගෙන නුවණින්ම දිය යුතු වේ.

එසේම දානයක් දෙන විට එය ලබන්නා පිළිබඳවද පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. කාත් කවුරුත් නැති එක්තරා දුගියකු වාහනයක හැපී පාරේ වැටී සිටියදී පොලිසිය විසින් රෝහලකට බාර දෙනු ලැබුණි. ඔහු වෙනුවෙන් සොයා බලන්නට කිසිවකු නැත. ඔහු ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ සිටි පුහුණු වන ආධුනික තරුණ හෙදියක් මේ වැඩිහිටියා තමන්ගේ සීයාගේ වයසේ බැවින් අනුකම්පා කොට ඔහුට අවශ්‍ය ආහාර පාන ආදිය සපයමින් අලුත් ඇඳුම් කට්ටලයක් ද දී සාත්තු කළාය. උණු පැන් සකස් කොට ඔහුව නැහැව්වාය. තුන් වේලටම කෑම හා පළතුරු ගෙනැවිත් දී සංග්‍රහ කළාය.

එහෙත් සතියකට පමණ පසු මේ රෝගියා මරණයට පත් විය. කාත් කවුරුත් නැති ඔහුට තමාට කරුණාවෙන් සැලකූ මේ රූමත් තරුණ හෙදිය ඔහුගේ මරණාසන්න මොහොතේ සිහිපත් විය. ඇගේ සංඥා සටහන සිතේ තැන්පත් වීම නිසා එය උපාදාන කොට ගෙන ඇය සමීපයේ පේ‍්‍රතයකු වී උපන් ඒ රෝගියා ඊළඟට ඇගේ සිරුර පිළිබඳ ඇල්මෙන් ශරීරයට රිංගා ගත්තේය. ඒ නිසා ඇගේ ගත සිත දෙකම රෝගී විය. මේ ගැන කිසිත් නොදන්නා ඇය වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවීය. දීර්ඝ කාලයක් ප්‍රතිකාර ගෙන අවසානයේ බැරිම තැන ඇයට තොවිල් පවිල් ශාන්ති කර්ම කරන්නට සිදු විය. එහිදී අනාවරණය වූයේ මියගිය වයස් ගත රෝගියා පේ‍්‍රතයකු වී ශරීරයට රිංගා ගැනීම නිසා ශාරීරිකව ද මානසිකව ද ඇය රෝගාතුර වූ බවය. ඇය සුවපත් වන විට රැකියාව ද අහිමිව තිබුණි.

මේ වැනිම සිද්ධියක් හොරණින් ද වාර්තා විය. විමලා හැට හැවිරිදි දෙදරු මවකි. ස්වාමි පුරුෂයාගේ මරණයෙන් පසු ඔහු පවත්වා ගෙන ගිය බේකරිය හා හෝටලය ඇගේ ආදායම් මාර්ගය විය. මෙසේ ව්‍යාපාරය පවත්වා ගෙන යනවිට එකවරම ඇය රෝගී වූවාය. අතපය ඉදිමී ශරීරය දුර්වල වන්නට විය. කම්මැලි ගතියක් ද හට ගැනිණි. රාත්‍රී හීනෙන් බියට පත් වී කෑ ගසාගෙන අවදි වූවාය. ඇය ළඟ සේවය කළ සේවකයෝ ද නිතර නිතර අසනීප වූහ. හෝටලයේ කෑම නරක් වෙන්නට පටන් ගත්තේය. ඒ නිසා හෝටලයට පැමිණෙන පිරිස ද අඩු විය. දිනකට හාල් කිලෝ විසිපහක බත් තැම්බූ හෝටලය හාල් කිලෝ දෙකකට සීමා විය. පිටි මිටි හතරක පාන් බනිස් ඇතුළු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බේකරිය පිටි මිටියකට පහත බැස්සේය. දහ දෙනකුගේ සේවක පිරිස දෙදෙනකුට සීමා විය. ඇගේ දරු දෙදෙනා ද නිතර අසනීප වෙන්නට විය.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආරක්ෂාවල් කළත් තත්ත්වයේ සතුටු දායක බවක් නොපෙනුණි. අවසානයේ හිතවතකු ගේ උපදෙස් මත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ඇය දරු දෙදෙනා සමඟ පැමිණියාය. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී තමන් පත්ව සිටින තත්ත්වය පැහැදිලි කළාය.

පළමු රෝග පරීක්ෂාවේදී ම ඇය වෙවුලන්නට වූ බැවින් භූත දෝෂයක් ඇති බව වටහාගත් ගවේෂකවරයා ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට ආපසු පැමිණි දිනයේ විමලා ගේ ශරීරය තුළින් භූතාත්මය ආවිශ්ට වී අඬන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට වූයේය.

“කවුද මේ අඬන්නේ?”

“අනේ! මහත්මයා මාව පන්නන්න නේද හදන්නේ?” භූතයා ද ගවේෂකවරයාගෙන් ඇසීය.

“මම ඇහුවේ ඔයා කවුද කියලා?”

“මම සැම්සන්”

“කවුද සැම්සන් කියන්නේ?”

“අනේ මහත්මයා මම කාත් කවුරුත් නැති යන්න එන්න තැනක් නැති හිඟන්නෙක්. අනුන්ට අත පාලා ජීවත් වුණු කෙනෙක්. අනේ මහත්මයා මාව පන්නන්න නම් එපා. මට යන්න තැනක් නෑ. මේ සුදු නෝනා විතරයි මට සැලකුවේ”

“තමුන් මැරුණේ කවදා ද?”

“මීට අවුරුද්දකට විතර කලින්. අනේ මහත්මයා මාව පන්නන්න නම් එපා.”

“එහෙම නම් මම කියන දේ කරන්න ඕනෑ”

“හොඳයි මහත්මයා. කියන දෙයක් මම කරන්නම්”

“මම මේ නෝනාට තවත් සතියක් බෝධි පූජා තියන්න නියම කරනවා. සැම්සන් මේ අයත් එක්ක බෝධි පූජාවට යන්න ඕනෑ. ගිහින් මේ අය ගාථා කියන කොට තමනුත් ඒවා අහගෙන බුදු පිළිම වහන්සේ දිහා බලාගෙන කියන්න ඕනෑ” යි ගවේෂකවරයා භූතයාට නියම කළේය.

ඉන් පසු විමලා පියවි සිහියට පත් කළ ගවේෂකවරයා සැම්සන් කියන්නේ කවුදැයි ඇගෙන් ඇසීය.

“මහත්මයා මම සැම්සන් කෙනෙක් හඳුනන්නේ නැහැ”

ඇය ගවේෂකවරයාට කීවාය.

“ඔබ තුමිය නිතර සංග්‍රහ කරපු හිඟන්නෙක් ගැන දන්නවාද?.”

“ඔව් මහත්මයා, හොරණ ටවුන් එකේ හිඟන්නෙක් හිටියා. මම හැමදාම ඒ මිනිහට කෑම එකක් දුන්නා. මිනිහා අවුරුද්දකට විතර කලින් මැරුණා කියලා ආරංචියි.”

“හොඳයි තවත් සතියක් බෝධි පූජා පවත්වලා ඒ කියන මනුස්සයා සිහිපත් කරලා පින් අනුමෝදන් කරලා නැවත එන්න”

ගවේෂකවරයා විමලාට කීවේය.

බෝධි පූජා අවසන් කොට ඇය දරුවන් සමඟ නැවත පැමිණියාය. ගවේෂකවරයා භූතාත්මය ඇයට දිෂ්ටි ගන්වා යළි ප්‍රශ්න කළේය.

“තමුන් මේ අය සමඟ බෝධි පූජාවලට ගියාද?”

“ඔව් ගියා මහත්මයා” භූතයා කීවේය.

“එහෙම නම් දැන් ඇත්ත කියන්න. ඇයි මේ නෝනට හිරිහැර කරන්නේ?”

“මහත්මයා මට කාත් කවුරුත් නැහැ. මේ සුදු නෝනා විතරයි මට හොඳට කන්න දුන්නේ. මම සුදු නෝනට ආසයි. මම මැරෙන වෙලාවේ සුදු නෝනා මතක් වුණා. මැරුණු ගමන් සුදු නෝනා ළඟට ආවා. මම මෙයාට කරදර කරන්නේ නෑ. මම හෝටලයට ඇවිත් කෑම කෑවා. ආසාවෙන් කෑම අත ගෑවා. බේකරියටත් ගියා කෑම සුවඳට. හෝටලය ඇතුළේ ඇවිද්දා. මට යන්න තැනක් නැහැ. නෝනා ළඟට වෙලා හිටියා.”

“නමුත් අමනුස්සයන්ටයි මනුස්සයන්ටයි එකට ජීවත් වෙන්න බැහැ. තමුන්ට හොඳින් සංග්‍රහ කළ මේ මෝනා තමුන් නිසා දැන් අසනීප වෙලා. ව්‍යාපාර පිරිහිලා.”

“මේ මම නිසා ?”

“ඔව් තමුන් පේ‍්‍රතයෙක්. පේ‍්‍රතයන් ළං වුණාම මිනිස්සු ලෙඩ වෙනවා. ඇයි ජීවත්ව ඉන්දෙද්ද.ී අහලා නැද්ද?”

“අනේ මහත්මයා මේ නෝනට මම නිසා හිරිහැර නම් මම ඉවත් වෙලා යන්න කැමතියි. මට ඉන්න තැනක් හොයා දෙන්න”

පේ‍්‍රතයා ගවේෂකවරයා ඉදිරියේ බැගෑපත් විය.

විමලා පියවි සිහියට පත් කළ ගවේෂකවරයා හෝටලයේ තුන් වරු පිරිතක් කියවා සාංඝික දානයක් පිරිනමා සැම්සන්ගේ නම කියා පින් අනුමෝදන් කොට පළතුරු වට්ට්යක් රැගෙන නැවත එන්නැ යි ඔවුනට කීවේය.

ඒ අනුව කටයුතු කොට ඔවූහු නැවත පැමිණියහ. එදින පළතුරු වට්ටියට පේ‍්‍රතයා සම්බන්ධ කොට ඔවුන් අතම භූතාත්මය අනුරාධපුරයට යැවීමට ගවේෂකවරයා කටයුතු කළේය.ඉන් අනතුරුව විමලා සම්පූර්ණයෙන්ම සුවය ලැබීය.

මතුගම

මහින්ද විජේතිලක