"උඹ ජයවතී නෙමේ උඹ මළ පෙරේතියක්"

"උඹ ජයවතී නෙමේ උඹ මළ පෙරේතියක්"

කෙනෙකුට තවත් කෙනෙකු රවටන්නට පුළුවන. තවත් කෙනකුට වංචා කරන්නට පුළුවන. රැවටීම් හා වංචාව දෙකම සොරකමට අයත් පාපයකි. යම් කිසිවකු තමන්ගේ නුවණ මිත්‍යාව හෙවත් කපටිකම සඳහා භාවිත කරන්නේ නම් ඒ සඳහා ක්‍රියාත්මක කරන සිතුවිලි සැලසුම් හා කායික වාචසික ක්‍රියාකාරකම් සියල්ල මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව යන මිත්‍යා දෘෂ්ටි ක්‍රියාවෝය.

එසේම තමන්ගේ සිත, කය, වචන යොදා තවත් කෙනකු රැවටීම හා වංචා කිරිම ඒ බාහිර පුද්ගලයාට නොදැනෙන්නට ක්‍රියාත්මක කිරීමෙන් ඔහුට පාඩුවක් අලාභයක් සිදුවන බව අවස්ථාවේ හැටියට ඔහුට නොදැනුණත් එය තමන්ගේ සිත හොඳින් දන්නා දෙයකි. තමන්ගේ සිතට හොරෙන් කටයුතු කළ නොහැකි යැයි කියන්නේ ඒ නිසාය.

සියලු අකුසල ක්‍රියාවන්ට “මනස” මූලික වේ. ප්‍රධාන වේ. කිළිටි වූ සිතින් කරන ලද කායික හා වාචසික ක්‍රියාවේ විපාකය ගොනා පසු පස එන කරත්ත රෝදය මෙන් අත් නොහැර තමන් පසු පසින් ගමන් කරයි. අවස්ථාව එළැඹි විට විපාක දෙයි. මරණයෙන් පසු ද හඹා එයි.

මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා

මනසා චේ පදුට්ඨෙන - භාසති වා කරෝති වා

තතෝ තං දුක්ඛ මන්වේතී චක්කං ව වහතෝ පදං”

යනුවෙන් ධම්ම පදයේ සඳහන් වන්නේ ද එයයි.

ශි‍්‍රයා හංවැල්ලේ පදිංචි කාන්තාවකි. ඇය පනස් පස් හැවිරිදිය. වසර තුනකට පමණ පෙර ඇගේ සැමියා මිය ගොස් ඇත. දැනට වසර දෙකක කාලයක සිට ඇගේ නිවසේ නොපෙනෙන යමෙක් ඇවිදින අඩි සද්ද ඇහෙන්නට විය. නිවසේ බඩු මුට්ටු සෙලවෙන, පෙරළෙන සද්ද ඇසෙන්නට විය. කවුදෝ කෙනකු පිටුපස සිට හුස්ම ගන්නා හඬ ශ්‍රියාට ඇසෙයි. නිවසේ සකස් කරන කෑම කූඹින් විසින් වසා ගනු ලබයි. නිවසේ පදිංචි දුවත්, දුවගේ සැමියාත් දරුවනුත් නිතර අසනීප වෙති.

මේ කරදරකාරි අසහනකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට වත් පිළිවෙත් කළත් කිසිදු සහනයක් නොවීය. අසනීපවලට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවීය. සාත්තර අහන්නට ගිය තැන්වලින් කීවේ ශි‍්‍රයාගේ මියගිය සැමියාගේ භූතාත්මය පැමිණ මේ කරදර කරන බවය.

අවසානයේ ශි‍්‍රයා දියණිය සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියාය. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී තමන් පත්ව සිටින දුක්ඛිත තත්ත්වය පැහැදිලි කළාය.

“මහත්මයා අපට අපේ තාත්තව ගෙන්නලා කතා කරන්න පුළුවන් නේද? එතකොට තාත්තට අවශ්‍ය දෙයක් දෙන්න පුළුවන් නේද?”

ශි‍්‍රයාගේ දියණිය ගවේෂකවරයාගෙන් ඇසුවාය.

ඔවුන්ගේ දුර්වල වී තිබුණු ශක්ති ශරීර සකස් කළ ගවේෂකවරයා ගමේ පන්සලේදී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුනට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට ඔවූහු නැවත පැමිණියහ. එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ශි‍්‍රයාගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට වී අඬන්නට විය. ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”

“මම මේ ශි‍්‍රයාගේ මහත්තයා පි‍්‍රයන්ත.” භූතාත්මය පිළිතුරු දුන්නේය.

“ඔය ඇත්තම ද?”

“ඔව්..... ඔව්..... ඇත්තමයි.”

“එහෙමද?” යැයි කී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට භූතාත්මය දවා ලන්නට විය.

භූතාත්මය “දැවිල්ලයි.... දැවිල්ලයි... පිච්චෙනවා” කියා වේදනාවෙන් කෑ ගසන්නට විය.

“තමන් කවුද? ඇත්ත කියපන්” කියමින් ගවේෂකවරයා වේවැළ ද අතට ගත්තේය.

“අනේ.... ගහන්න එපා.. ගහන්න එපා.... මම ඇත්ත කියන්නම්. මම පි‍්‍රයන්ත නෙමෙයි. මම ජයවතී.”

“කවුද ජයවතී කියන්නේ?”

“මම මේ ශි‍්‍රයාගෙන් ණයක් ගත්ත කෙනෙක්. ඒ ණය ගෙවන්න මුන්ට කැඹුරුමක් දෙන්නයි ආවේ.” පේ‍්‍රතිය කියන්නට වූවාය.

“උඹ දැන් ජයවතී නොවෙයි, උඹ දැන් මළ පෙරේතියක්. උඹට දෙන්න පුළුවන් කැඹුරුම මොකක්ද? උඹ නිසා මේ පවුලේ අය ලෙඩ වෙලා දුක් විඳිනවා. ඇත්ත කියාපිය. ඇයි ඒ ණය ගෙව්වේ නැත්තේ. කියාපිය. තෝ මෙච්චර දවස් මේ ශි‍්‍රයාගෙ මහත්මයා වගේ පෙනී ඉඳගෙන බොරු කළේ වංචා කළේ මොකද? ඇත්ත කියාපිය.”

“මහත්මයා, මම මේ ශි‍්‍රයාගෙන් රුපියල් 15000 ක් ණයට ගත්තා. ශි‍්‍රයාගෙ මහත්තයා මැරුණු දවසේ මම ශි‍්‍රයාගෙ ගෙදරට ආවා. ශි‍්‍රයා පොළවෙ හැපි හැපී අඬ අඬා හිටියේ. ඔයාට මේ වෙලාවෙ සල්ලි අමාරුත් ඇතිනෙ. මෙන්න මම ඔයාගෙන් ගත්ත සල්ලි ටික කියලා රුපියල් 5000 ක් මම ශි‍්‍රයාගෙ අතේ තිබ්බා. මම වෙලාවේ හැටියට ශි‍්‍රයා දුකෙන් කලබලෙන් හිටපු අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන රුපියල් 5000 ක් දුන්නා. ශි‍්‍රයා ගණන් කරලා බැලුවේ නැහැ. එහෙමම අතේ තියා ගත්තා. මම ඒ විදිහට රුපියල් 10000 ක් වංචා කළා. ශි‍්‍රයා අසරණ වෙච්ච වෙලාවේ පාවිච්චි කරලා මම කරපු ජරා වැඩේ මැරෙන වෙලාවේ මට මතක් වුණා. මම ශි‍්‍රයාගෙ ගෙදර පෙරේතියක් වෙලා උපන්නා. මම අර ණය ගෙවන්න ශි‍්‍රයාට කඹුරන්න හිතුවත් මට ඒක කරගන්න බැරි වුණා. මම ගෙදර සැරිසැරුවා. බඩු මුට්ටු හෙළෙව්වා. සාත්තර කියන තැන්වලදී ශි‍්‍රයාගෙ මහත්තයා බව සාත්තර කියන භූතයා ලවා කියෙව්වා. අනේ මහත්තයා මම දැන් වංචාවේ විපාක නිසා දැවෙනවා. ඒ නිසා මම විඳවනවා.” පේ‍්‍රතිය අඬන්නට වූවාය.

“තමුන්ට මොනවද වුවමනා?”

ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“මට මේ ශි‍්‍රයාගේ ඉතුරු රුපියල් 10000 ණය ගෙවලා නිදහස් වෙන්න ඕනෑ”

පේ‍්‍රතිය ඊට පිළිතුරු දෙමින් කීවාය.

තවත් සතියක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන විට මියගිය ජයවතීගේ පවුලේ කෙනකු කැඳවාගෙන එන ලෙස ද ගවේෂකවරයා ශි‍්‍රයාට උපදෙස් දුන්නේය.

ඊළඟට පැමිණි දිනයේ ශි‍්‍රයා, ජයවතීගේ දියණිය ද කැඳවා ගෙන ආවාය. එදින ගවේෂකවරයා කලින් දිනයේ පේ‍්‍රතිය පැවසූ දේවල් පටිගත කළ වීඩියෝ පටය ජයවතීගේ දුවට පෙන්නුවේය.

“අනේ, මහත්තයා අපි මේ වගක් දන්නේ නෑ. අම්මගෙ සල්ලි මගේ ළඟ තියෙනවා. මැරිච්ච අම්මට සෙතක් යහපතක් වෙනවා නම් ඒ මුදල මේ ශි‍්‍රයා ඇන්ටිට මම දෙනවා”

ජයවතීගේ දුව සියල්ලෝම ඉදිරියේ කීවාය.

තමන්ගේ මිය ගිය මෑණියන් වෙනුවෙන් බෝධි පූජා හතක් පවත්වා රුපියල් 10000 රැගෙන එන ලෙස ගවේෂකවරයා ජයවතීගේ දියණියට උපදෙස් දුන්නේය. ශි‍්‍රයාගේ නිවසේ සාංඝික දානයක් පිරිනමා ජයවතීගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කර නැවත එන ලෙස ශි‍්‍රයාට ගවේෂකවරයා ඒ දානමය පින් කමට දායක වී කටයුතු කරන ලෙසත් ජයවතීගේ දියණියටත් පවුලේ අයටත් ඊට සහභාගි කරවන ලෙසත් ජයවතී ගේ දියණියට ද උපදෙස් කීවේය.

ඒ දානමය කටයුතු අවසන් කොට ශි‍්‍රයාගේ පවුලේ අයත් ජයවතීගේ පවුලේ අයත් නැවත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණියහ.

එදින ද ජයවතීගේ ප්‍රාණකාරිය ශි‍්‍රයාගේ ශරීරයට ආවිශ්ට කරවූ ගවේෂකවරයා එසේ ආවිශ්ට වූ භූතාත්මයේ අතින් ම ජයවතීගේ දියණිය දුන් රුපියල් 10000 ක මුදල ශි‍්‍රයාගේ දියණියගේ අතට පිරිනමා ඔවුන් ණයෙන් නිදහස් කැරවීය.

ඔවුන් ලවා පළතුරු වට්ටියක් ද ගෙන්වා ගත් ගවේෂකවරයා ප්‍රේතිය ඊට සම්බන්ධ කොට ඔවුන් සමඟම කැලණියට යැව්වේය. කැලණියේ සිදු කරන පින් දහම් කටයුතුවලට අත හිත දී තෙරුවන් කෙරෙහි සද්ධාව ගොඩනගා ගෙන පේ‍්‍රතාත්මයෙන් මිදෙන ලෙස ද පේ‍්‍රතියට අවවාද කරමින් ගවේෂකවරයා කීවේය.

මතුගම මහින්ද විජේතිලක