“මාව එව්වේ මුන්ව මරන්න”

“මාව එව්වේ මුන්ව මරන්න”

තමන්ට ඉටු කරගන්නට නොහැකි වුවමනාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ගුප්ත ශාස්ත්‍රවල පිහිට පැතීම ඈත අතීතයේ සිටම සිදුවන්නකි. “අප කරදුන් දෙයක් වැරදුණේ නැත.”, “ඔබේ සිතුම් පැතුම් අණ විණ ඕනෑම දෙයක් ඉටු කරගන්නට අපෙන් විමසන්න.” යැයි යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත ශාස්ත්‍ර කටයුතු කරන ඇදුරන්ගේ දැන්වීම් දිනපතා හා සතිපතා පුවත්පත්වල බහුලව දකින්නට ද ඇත. මේ ඇදුරන්ට එවැනි ගනුදෙනුකරුවන් නැත්නම් මේ තරම් වියදම්කොට බොහෝ දැන්වීම් පළ කරන්නේ ද නැත. මේ ඇදුරෝ මෙසේ “ඕනෑම දෙයක්” කර දෙන්නේ භූතාත්මවල සහයෝගය ලබාගෙනය. මේ භූතයෝ එවැනි දේවලට සම්බන්ධ වන්නේ ඇදුරන් විසින් දෙනු ලබන දොල පිදේනිවලට ඇබ්බැහි වීමෙනි. මෙහිදි ඒ භූතාත්මවලට ඊටත් වඩා වාසියක් වන්නේ ඒ අණ විණවලට ගොදුරු වන අයගේ ශරීරවල රුධිරය උරා බීමට අවස්ථාවක් උදාවීමය. කෙසේ නමුත් මිනිස්සු මෙවැනි පීඩාවලට ගොදුරු වන්නේ පෙර කරන ලද අකුසලයන්හි විපාක වශයෙනි. එසේ කෙනකු ලෙඩ කර පාඩු හානි කිරීම නිසා එවැනි අණවිණ හදි හූනියම් කරවන්නා ද කරන්නා ද භුතයා ද අලුතින් පාප කර්මයක් සිදු කර සංසාර ගත විපාකයකට හේතු කාරණා උපදවාගනී.

මහනුවර සුමනලතා පනස් දෙහැවිරිදි ගෘහනියකි. ඇගේ සැමියා සරත් හැට හැවිරිදිය. ඔවූහු දියණියන් දෙදෙනකුගේ හා පුතෙකුගේ මව්පියෝය. මේ ගෙදර නිතරම බත් හැලියට වැලි මිශ්‍ර වීම නිසා බෙදා ගත් බත් ටික කන්නට නොහැකිව ඔවූහු දුක් විඳිති. හරිහැටි කෑම වේලක් කන්නට ලැබෙන්නේ අනුන්ගේ ගෙදරකින් හෝ හෝටලයකින් ආහාර ගත් දාටය. ගෙදර සකස් කරන ආහාරවලට තෙල් කූඹීන් පැමිණ වසා ගැනීම ද නිතර සිදු වේ.. කරන්නට දෙයක් නැතිම තැන මේ කූඹින් පැමිණෙන කූඹිවැල්වලට වස විස යොදා තවත් පව් කරගන්නට ඔවුන්ට සිදු වී ඇත. එසේම නිවසේ අල්මාරි ලාච්චුවල හා ඇඳුම්වල සාක්කුවල ඇති මුදල් අතුරුදන් වීම ද තවත් කරදරයකි.

ඊට අමතරව දියණියන් දෙදෙනාට හා පුතාට රැකියාවල් හරියන්නේ ද නැත. විවාහයක් හරියන්නේ ද නැත. මව්පිය දෙදෙනා අතර ද දරුවන් අතර ද මත ගැටුම් හා අඬදබරවලින් අඩුවක් ද නැත.

මේ සියලු දේට වඩා පුදුමය නම් රාත්‍රියේ කළු බළලෙක් හීනෙන් ඇඟට පැනීමය. එම හීනය රාත්‍රියට දැක්කේ කවුද? ඔහුට හෝ ඇයට ඊට පසුදා කුමක් හෝ කරදරයක් සිදු වේ. දිනක් රාත්‍රී සරත් මේ කළු බළලා දැක්කේය. පසුදා ඔහු පැදවූ යතුරු පැදිය වාහනයක හැපී අනතුරට පත් විය. තවත් දිනක් සුමනලතාගේ ඇඟට මේ කළු බළලා පැන්නේය. පසු දින ඇගේ රත්රන් චේන් පොට සොරු ගත්තේය. මෙසේ රාත්‍රී හීනෙන් පැමිණි කළු බළලා පසුව හැබහින්ම පැමිණෙන්නට විය. සමහර කාලවල මේ කළු බළලා සති ගණන් නොපැමිනෙන අවස්ථා ද ඇත.

මේ කරදරවලින් මිදෙන්නට මේ අය මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගත්හ. එයින් සහනයක් නොවූ විට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල පිහිට පැතූහ. මේ කිසි දෙයකින් සහනයක් නොවූ බැවින් අවසානයේ ඔවූහු ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා පැමිණියහ. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී පිහිට පැතූහ.

තමන්ට එළඹ ඇති කරදර විස්තර කළ පසුව ඔවුන්ට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව වටහාගෙන දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට කීවේය. මීළඟට පැමිණෙන විට පවුලේ සියලු දෙනාම පැමිණිය යුතු බවද හෙතෙම දැනුම් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට සුමනලතාට භූතාත්මයක් දිෂ්ටි ගැන්වී කෑ ගසන්නට වූවාය. ගවේෂකවරයා ඒ භූතයා සමඟ කතා කරන්නට විය.

“ කවුද මේ ? ”

“ නම දන්නේ නෑ ”

“ කවුද එව්වේ ”

“ කියන්නේ නෑ. අහන්න එපා.”

“ මොනවට ද එව්වේ? ”

“ මුන්ව මරන්න ”

“ ඒ මොකටද? ”

“ මුන්ගේ ඉඩකඩම් අයිති කරගන්න. ”

“ මුන්ගෙ ශරීරවල දිස්නයක් තියෙනවා. ඒ දිස්නය නිසා මට ළංවෙන්න බැහැ. ඒත් මෝටර් සයිකලය හැප්පුවා මං මිනිහව මරන්න ඒත් බැරි වුණා. ”

“ තමන් කොහොමද මේ අය ළඟට එන්නේ?

“ කළු බළලෙක් වගේ තමයි එන්නේ.... ?”

“ ඒ කොයි කාලේ ඉඳල ද එන්නේ?”

“ දැන් අවුරුදු පහක ඉඳල එනවා. එත් තවම එකෙක්වත් මරාගන්න බැරි වුණා.”

“ දැන් කියන්න ඕන තමන්ව කවුද එව්වේ කියලා...”

“ බැහැ.... බැහැ..... ඒක නම් කියන්නේ නෑ” කියමින් භූතාත්මය ඉවත්ව ගියේය.

තවත් සතියක් බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට පැමිණි දිනයේ ද සුමනලතාගේ ශරීරයට භූතාත්මය දිෂ්ටි ගැන් වූ ගවේෂකවරයා යළි භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“ අද නම් පැනලා යන්න හිතන්න එපා. අද පැනලා යන්න බැහැ. ඒ වගේම මම අහන දේවල්වලට උත්තර දෙන්න ඕනෑ. නැත්නම් මේකාත් පුච්චනවා” ගවේෂකවරයා භූතයාට අනතුරු ඇඟවීය.

“ කවුද තමුසෙව එව්වේ ?”

“ බැහැ.... කියන්නේ නෑ” භූතයා එවර තදින්ම කීවේය.

ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ලකොට භූතාත්මය දවා ලන්නට විය.

“ දැවිල්ලයි.... දැවිල්ලලයි.... පිච්චෙනවා. අනේ මහත්තයෝ පුච්චන්න එපා.”

“ එහෙනම් මම අහන දේවල්වලට උත්තර දෙන්න ඕනෑ. තමුන්ව එව්වේ කවුද?”

“ කියන්න තහනම් මහත්තයා. ඒ නිසා කියන්න බෑ.”

ගවේෂකවරයා යළිත් නොනවත්වා භූතාත්මය දවාලන්නට විය.

“ කියන්නම්.... කියන්නම්.... අනේ පුච්චන්න එපා. මා එව්වේ මේකිගෙ මාමා. ඌ ඇදුරෙක්. නපුරු ඇදුරෙක්.”

“ ඇයි එහෙම එව්වේ?”

“ මුන්ව මරන්න. මේකිගෙ ගමේ තියෙන ඉඩකඩම් අයිති කරගන්න.”

“ හොඳයි දැන් මේ අයට කරදර නොකර ඉවත් වෙලා යන්න.”

“ එහෙනම් මහත්තයා මම එවපු එකා ළඟටම යන්නම්.”

“ ඇයි ඒ?”

“ මාව අහුවුණානේ ඌ මට දඬුවම් කරනවා. මම ඊට කලින් ගිහින් ඌව මරනවා.” භූතාත්මය කේන්තියෙන් කීවේය.

භූතාත්මය දුර්වල කළ ගවේෂකවරයා සුමනලතාගේ ශරීරයෙන් භූතාත්මය එළියට ඇද දමා පන්න දැම්මේය.

නිවසේ උදේ සවස නොකඩවා ඉටු කළ යුතු බෞද්ධ පිළිවෙත් කීපයක් ගවේෂකවරයා ඔවුන්ට නියම කළේය. ඊට අමතරව පවුලේ සියලු දෙනාටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂාව යෙදීය.

එයින් සති දෙකකට පසු සුමනලතාගේ ඇදුරු මාමා ඔහුගේ නිවස ඉදිරිපට දී වාහනයක හැපී මරණයට පත් විය.