මෙයාගේ නැටුම් දැකලා මටත් ඉබේටම නැටවුණා

මෙයාගේ නැටුම් දැකලා මටත් ඉබේටම නැටවුණා

පෙර කරන ලද අකුසල කර්ම සඳහා විපාක වශයෙන් නිරයේ උපදින නිරි සත්ත්වයෝ තුළ ද මේ කාම ගතිය පවතී. පූර්ව කර්ම විපාක ලෙස ශරීරයේ මස් ඉරි ඉරී ලේ ගල ගලා කටු ඉඹුලේ පහළ සිට ඉහළට නගින හා ඉහළ සිට පහළට බසින ස්ත්‍රී පුරුෂයෝ ද වේදනාවෙන් හඬ හඬා ඉහළ පහළ යන විට මගදී මුණ ගැසෙන දකින ස්ත්‍රී පුරුෂයන් කෙරෙහි දැක කාම රාගයෙන් පෙළෙන බව දහම් පොත පතෙහි දැක් වේ.

මිනිස් සිත් තුළ රාගික හැඟීම් අවුස්සන, පොළඹවන පරිදි අඟ පසඟ ප්‍රදර්ශනය කරමින් රඟපාන නළු නිළියන් පවා අනිවාර්යයෙන් අපාගත වන බවද දහමෙහි සඳහන් වේ. අවුරුදු ගණනක් සමථ භාවනාවල යෙදී ධ්‍යාන ලැබූ තවුසන් අහසින් ගමන් කරන විට නාරිලතා මලක් දැකීමෙන් පවා ස්තී‍්‍ර රූපයක සංඥාව මනසිකාර කිරීමෙන් දැහැන් බිඳී අහසින් පහත් වූ බව දහම් පොත්වල සඳහන් වේ නම් ඉතින් අඟ පසඟ උළුප්පා පෙන්වන අඬ නිරුවත් කාන්තා ශරීර දකින අපට ඇතිවන හැඟීම් සිතුවිලි ගැන කියනුම කවරේද?

මහරගම උදාරි රූමත් කඩවසම් තරුණියකි. දහ අට හැවිරිදි ඇය උසස් පෙළ විභාගය සමත්ව රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටීයාය. උදාරි මෙන් ම මව්පියන් ද ඉංගි‍්‍රසි පන්නයට ජීවත්වන ගති සිරිත්වලින් යුක්තය.

හිටි හැටියේම උදාරි ගේ චර්යාවන් වෙනස් විය. ඇය කිසිවකු සමඟ කතා නොකොට තමන් ගේ කාමරයට වී කල් ගත කරන්නට වුවාය. මේ අතර නිවස තුළ ද අහඹු පරිදි සද්ද බද්ද ඇති වෙන්නට විය. රාත්‍රියට ඇගේ කාමරයට ඇතුල්වන අඳුරු ඡායාවක් මව්පියන්ට පෙනෙන්නට විය. බොහෝම පිරිසුදුව චර්මලේප, වර්ණලේප, සුවඳ විලවුන් භාවිත කරමින් සිටි උදාරි ළඟ දැන් කිසිදු පිරිසිදුකමක් නැත. ඇය මුහුණ අතපය හෝදන්නේත් නැත. දත් මදින්නේත් නැත. ඇය ළඟින් හඩු ගඳ ද පැතිරෙන්නට විය.

තම ලස්සන දියණියට වෙච්ච දේ ගැන කම්පාවට පත් මව්පියෝ ඇය මනෝ වෛද්‍යවරුන් වෙත කැඳවා ගෙන ගියහ. කොයිතරම් බලහත්කාරයෙන් බෙහෙත් පෙති ගිල්ලුවත් ඇය ප්‍රකෘති තත්ත්වයට සුවපත් නොවුවාය. යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති කර්ම අතින් ද නොකළ දෙයක් නැත. අවසානයේ ඔවුහු ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය කැඳවා ගෙන පැමිණියහ.

දුවගේ අස්වාභාවික හැසිරීමත්, නිවසේ පවතින අපි‍්‍රයජනක සිදුවීම් ගැනත් ආධ්‍යාත්මීය උපදේශකවරයා සමඟ විස්තර කළ මව්පියෝ ඇයට ප්‍රතිකාර පැතුහ. ගවේෂකවරයා රෝග පරීක්ෂාව සඳහා ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කරන විට උදාරි සිහි නැතිව ඇද වැටුණාය. එදින ඉන් එහා දෙයක් සිදු නොවූ බැවින් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට නියම කළේය.

බෝධි පූජා අවසන් කොට ආපසු පැමිණි දිනයේ පැවැති රෝග පරීක්ෂාවේදී උදාරි ගේ ශරීරියට භූතාත්මයක් ආවිශ්ට වී නටන්නට විය. ගවේෂකවරයා නැටුම පාලනය කොට ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ළමයාගේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”

“නම මතක නැහැ.” භූතයා කීවේය.

“තමුන් කොහේද හිටියේ.?”

“මැරුණට පස්සේ ඔහේ තැන තැන පාවෙවී හිටියා.”

“ඇයි මේ ළමයාගේ ඇඟට රිංගුවේ.?”

“මේ ළමයා ලස්සනයි. ඇඟත් ලස්සනයි. නටන කොටත් ලස්සනයි. ඒ ලස්සනට ආසාවෙන් මෙයා ළඟ නතර වුණා.”

“ඒ කොහොමද?”

“මහත්තයා මේ ගෙදර මහ ජෝඩුව ඉන්නේ පහළ තට්ටුවේ. මේ ළමයා ඉන්නේ උඩ තට්ටුවේ. මේ ළමයා උඩ තට්ටුවේ දොරවල් වහගෙන කැසට් එකේ සින්දු දාගෙන නටනවා. රෑ එක දෙක වෙන තුරු නටනවා. සමහරදාට උඩ පැසේජ් එකටත් ඇවිත් නටනවා. රෑට අඳින දුහුල් ඇඳුම ඇඳගෙනයි නටන්නේ. බලන්න ලස්සනයි. මමත් රෑ ඇවිදින කොට දවසක් මෙයාගේ නැටුම් දැකලා නතර වුණා. ඔහොම ඉන්නකොට මටත් ඉබේම නැටවුණා. ඊට පස්සේ මමත් මෙයා එක්ක නටන්න පටන් ගත්තා. මම කිට්ටු වෙන්න කිට්ටු වෙන්න මෙයාගේ ශරීරය වටේ තිබුණු රැස් වළල්ල දුර්වල වුණා. ඊට පස්සේ මම මෙයාව බදාගෙන නටන්න පටන් ගත්තා. ඔහොම නටනකොට මෙයා ඇඳුම් නැතුවත් නටන්න පටන් ගත්තා. හරිම ලස්සනයි.”

“තමුන් ආහාරයට ගත්තේ මොනවාද?”

“මෙයා නටන කොට මස් මාළු බැදලා කලින්ම හදාගෙන ඉන්නවා. ඒවා කකා තමයි මෙයා නටන්නේ. මමත් ඒවා කකා නැටුවා.”

පේ‍්‍රතයා ගවේෂකවරයා ඉදිරියේ කියන්නට විය.

“තමුන් කෙහොමද මෙයාගෙ ඇඟට රිංගුවේ.?”

“මෙයා මහ රෑ එක දෙක වෙනකම් නටලා නටලා මහන්සි වුණාම දාඩිය පිටින්ම ඇඳේ පෙරළිලා නිදාගන්නවා. මමත් මෙයා එක්කම මෙයාව බදාගෙන නිදාගන්නවා. මෙයාගෙ දහදියත් මට සුවඳයි. ඔහොම ඉන්න ගමන් මම මෙයාගෙ ඇඟ ඇතුළට රිංගුවා.”

“ඊට පස්සේ මොකද වුණේ?”

“මම ඇඟට රිංගුවාට පස්සේ මෙයා නාන එක, මුහුණ හෝදන එක අතහැරියා. මෙයා ගඳ ගහන්න පටන් ගත්තා. ඉතින් මහත්තයා අපිත් ගඳට කැමතියිනේ. මමත් මෙයා ළඟට වෙලා හිටියා. මට ඕනෑ වුණාම මස් මාළු බැඳුම් ගේන්න මෙයාව පොළඹවනවා. නටන්න ඕනෑ වුණාම බදාගෙන නටනවා.”

“ඉතින් මේ නැටුම් අම්මයි තාත්තයි දන්නේ නැද්ද?”

“මොකද නැත්තේ. මේ අය ඉංගි‍්‍රසි පැලැන්තියට ජීවත් වෙන අයනෙ. ඒ අය රෑට බියර් බොනවා. බත් කාලා කෙල්ලට නටාගන්න ඉඩ ඇරලා මහ ජෝඩුව පහළ තට්ටුවේ නින්දට යනවා. අපි දෙන්නා උඩ තට්ටුවේ බදාගෙන නටලා මහන්සි වුණාම අපිත් නින්දට යනවා.”

තවත් දින හතරක් බෝධි පූජා පවත්වන්නට නියම කළ ගවේෂකවරයා නිවසේදී ඉටු කළ බෞද්ධ පිළිවෙත් කීහිපයක් ද නියම කළේය. ඒ වන විට සුව අතට හැරී සිටි උදාරිට සම්පුර්ණයෙන්ම සුවය ලැබෙන තුරු මස් මාළු කරවල බිත්තර භාවිතය නතර කරන ලෙසද ගවේෂකවරයා කීවේය. රාත්‍රියට නිවස පුරා දුම් අල්ලනන්නට ශක්ති ගැන් වූ දුම්කුඩක් සකස් කර දුන් ගවේෂකවරයා දියණිය සමඟ එකට නිදා ගන්නැයි මවට ද කිවේය.

බෝධි පූජා අවසන්කොට නැවත පැමිණෙන විට උදාරි සම්පුර්ණයෙන් සුවපත්ව සිටියාය. එහෙත් එදින ද ඇගේ ශරීරයට දිෂ්ටි ගැන් වූ ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.

“දැන් කොහොමද?”

“දැන් වැඩක් නැහැ මහත්තයා. මෙයා නටන්නෙත් නෑ. කාමරේ සුවඳ දුම් අල්ලන නිසා මට යන්නත් බැහැ.”

“තමුන් පින්වලට කැමති ද?”

“කැමතියි මහත්තමයා. ඉස්සර පන්සල් ගියා මට මතකයි.”

භූතයා කියන්නට විය.

ගමේ පන්සලට හීල් දානයක් පිරිනමා හිඟන්නන් පස් දෙනෙකුට ද ආහාර දානයක් දී බෝධීන් වහන්සේ ළඟ මල් පහන් දල්වා මේ පේ‍්‍රතයාට පින් අනුමෝදන් කර නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට නියම කළේය.

ඒ නියමයන් ඉටුකර ඔවුන් නැවත පැමිණි දිනයේ දී පළතුරු වට්ටියකට පේ‍්‍රතයා සම්බන්ධ කළ ගවේෂකවරයා ඔවුන් සමඟම භූතාත්මය අනුරාධපුරයට යැවීය.