ඉන්නකොටත් කරදර කළා මැරිලත් කරදර කරනවා

“ඉන්නකොටත් කරදර කළා මැරිලත් කරදර කරනවා”

මෝහය හෙවත් කර්මය හා විපාකය නොදන්නාකමින් වරදෙහි බැඳෙන මිනිසා මරණින් මතු දුගතියෙහි ඉපිද මහත් වූ දුකට පත් වෙයි. සුළු වේලාවකට ලබන ආස්වාදයේ ආදීනවය නොදන්නාකම මිථ්‍යා දෘෂ්ටියයි. බුදු දහම යනු හේතුඵල දහමයි. හේතුවට අනුව ඵලය ලැබීම ලෝක ස්වභාවයයි. ස්වභාව යනු තමන් විසින්ම ගොඩනගා ගනු ලැබූ රාග බව ද්වේෂ බව හා මෝහ බව හා එහි විපාකයි. කාම යනු කැමැත්තයි. කාම රාග කැමැත්තෙන් ඇලීමයි. රූප දැකීමේ කැමැත්ත රූපකාම වේ. එසේම ශබ්දකාම ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම වශයෙන් ඇස, කන, නාසය, දිව ශරීරය පිනවීම ලෙස විග්‍රහ වේ. මෙයට හේතුªවන්නේ මෝහයයි. මෙයින් මනස මත් කිරීම මජ්ඤපමාව ලෙස දැක් වේ. මත්පැන හා මත්කුඩු මෝඩයන් සඳහාම මාරයා විසින් නිපදවනු ලැබූ ඒවා වේ. මත්පැනට මත්කුඩට ඇබ්බැහි වූවෝ තම වස්ත්‍රය පවා විකුණා මත්කුඩු සපයා ගනිති. මෝඩයා පවට බිය නැත. ලැජ්ජා නැත. ඔවුන් ආස්වාදයේ ආදීනව නොදනී.

හංවැල්ලේ සුදීපා තිස් හැවිරිදි බැංකු නිලධාරිනියකි. ඇගේ සැමියා සමන්ත ද රජයේ නිලධාරියෙකි. ඔවූහු දරු දෙදෙනකුගේ මව්පියෝය. දැනට වසරක පමණ කාලයක සිට සුදීපා අමුතුය. ආතතියෙන් පෙළෙයි. රණ්ඩු දබර වෙයි. නින්දෙන් බියට පත්ව කෑගසාගෙන අවදි වෙයි. කෑම අරුචියෙන් ද පෙළෙයි. පවුල් ජීවිතය ද අවුල් වී තිබේ. ඒ නිසා ඇය රැකියාවෙන් නිවාඩු ගෙන ප්‍රතිකාර ලබයි. මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොවුනද පෙති වර්ගවලින් ඇයට නින්ද ලබා දෙයි. ඇය වෙනුවෙන් කරන වත් පිළිවෙත්වලින් ද සහනයක් නොදෙයි.

අවසානයේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත සමන්ත ඇය කැඳවාගෙන ගියේය. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී බිරියගේ කායික මානසික විකෘතිතාව පැහැදිලි කළේය. ගවේෂකවරයා සුදීපා වෙත ශක්ති කිරණ එල්ල කොට රෝග පරීක්ෂාවේ යෙදෙන විට ඇගේ ශරීරය තුළින් භූතාත්මයක් මතු වී අඬන්නට විය. එය ඉතා වේදනාකාරීය. ඇඬිල්ලේ කෙළවරක් නොවූ හෙයින් ඇය ප්‍රකෘති සිහියට පත් කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඇයට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ සුදීපාට ආවිශ්ට වූ භූතාත්මය කතා කරන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් තොරතුරු විමසන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල් වෙලා ඉන්නේ?”

“මම මේ දුවගේ තාත්තා”

භූතයා උත්තර දුන්නේය.

“මොකක්ද නම?”

පෙරේරා

”ඇයි මේ දුවට කරදර කරන්නේ?”

“මම කරදර කරන්නේ නෑ. මම ආවේ දුවගෙන් සමාව ගන්න. මගේ හිතේ මහා වේදනාවක් තියෙනවා. මම ඒ වේදනාවෙන් දැවි දැවී ඉන්නේ. ඒ මගේ අතින් සිද්ධ වුණ වැරැද්දකට. ඒ නිසා දුවගෙන් සමාව ගන්නයි මම ආවේ.”

“ඔබ මැරුණේ මොනවා වෙලාද?”

“මම වෙරිමරගාතේ එදා බයිසිකලය පැදගෙන එනකොට බස් එකක හැපිලයි මැරුණේ.”

එසේ කී භූතාත්මය යළිත් අඬන්නට විය. භූතාත්මය නිහඬ කොට සුදීපා පියවි සිහියට පත් කළ ගවේෂකවරයා මිය ගිය පියා ගැන ඇගෙන් තොරතුරු විමසීය.

“අපේ තාත්තා රස්සාවට කළේ කුලී වැඩ. හැමදාම හැන්දෑවට කසිප්පු බීගෙන ගෙදර ආවේ හොඳ සිහියෙන් නෙවෙයි. ගෙදර ආපු වෙලාවෙ ඉඳලා අම්මත් එක්ක රණ්ඩු කරනවා. අම්මට ගහනවා. අම්මා ජීවත් වුණේ ඇඬූ කඳුළෙන්මයි. තාත්තගේ බීමත්කම නිසා අපේ ගෙදර අපායක් වගේ තිබුණේ. අක්කයි මමයි පාඩම් කළෙත් බොහොම අමාරුවෙන්. අම්මගේ උත්සාහයෙන් තමයි අපි ඉගෙන ගත්තෙත්. මම පවුලෙ බාලයා. එතකොට මට වයස අවුරුදු පහළොවයි. ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළ පන්තියේ. එදා හවසත් තාත්තා කසිප්පු බීලා වෙරිමරගාතෙ බයිසිකල් එක පැදගෙන එනකොට බස් එකක හැපිලා මැරුණා”

සුදීපා ගවේෂකවරයා ඉදිරියේ කීවාය.

දැන් ඒ සියල්ල සිදු වී අවසන් බැවින් තාත්තා කෙරෙහි කරුණාවෙන් අනුකම්පාව උපදවා ගෙන තවත් සතියක් බෝධි පූජා පවත්වා තාත්තාට පින් අනුමෝදන් කොට නැවත එන්නැයි ගවේෂකවරයා ඇයට උපදෙස් දුන්නේය.

ඒ සතිය බෝධි පූජා පවත්වා ගෙන යන විට මෙතෙක් ඇය තුළ පැවති අසාමාන්‍ය ගති ලක්ෂණ ඉවත් වී කෑම අරුචිය ද පහව ගොස් තිබුණි.

සතියකට පසු නැවත ප්‍රතිකාර පිණිස ඔවූහු පැමිණියහ. එදින ද භූතාත්මය ඇයට ආවිශ්ට කළ ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“දැන් කොහොමද තමුන්ට දැනෙන්නේ?”

“මට හිතට සහනයක් දැනෙනවා. දුව බෝධි පූජාවලට යන කොට මමත් ගියා. බෝ මළුවේ පවතින සැනසිලිදායක බව මගේ හිතට දැනුණා. දුව මට පින් අනුමෝදන් කරන කොට ඒ පින මගේ හිතට දැනුණා.”

භූතයා කියන්නට විය.

“හොඳයි. දැන් හොඳට කල්පනාවට ගන්න පෙරේරා කියන්නේ හැමදාම කසිප්පු බීගෙන ජිවිතේ කාලකණ්ණි කර ගත්ත මනුස්සයෙක්. ගෙදර අයට එදත් කරදර කළා. මැරිලත් කරදර කරනවා. මත්පැන් පානයෙන් ලබන තාවකාලික මෝඩ ආස්වාදයේ ආදීනවය නිසා තමයි සිහිය විකල් වෙලා වාහනයක හැපිලා තමන් මැරුණේ. දැන් ඉන්නේ ඒ පෙරේරා නෙමෙයි. පෙරේතයෙක්. තමුන් මැරුණට පස්සේ මොකද වුණේ?”

“මහත්මයා මාව බස් එකේ හැපුණාම වෙරි හිඳුණා. පුදුම වේදනාවක් දැනුණා. ඒ වේදනාවෙන් මැරුණා. මැරිලා දැන් අවුරුදු විසි පහක් විතර වුණා. ඒ වේදනාවෙන් දැවි දැවී එක එක තැන සැරිසැරුවා. වේදනාවම මිසක් වෙන කිසිදෙයක් මතක් වුණේ නෑ. මෙහෙම ඉන්න කොට මට හිටිහැටියේ එදා මගෙන් මේ දුවට සිදු වුණ වැරැද්දක් මතක් වුණා. මාව දුව ළඟට ඇදිලා ආවා ඒ වරදට සමාව ගන්න. දුව මට සමාව දෙන තුරු මට ඉවත්වෙලා යන්න බැහැ.”

“මොකක්ද ඔබෙන් දුවට සිදු වුණ වරද?”

“මේ මගේ හිච්චි දුව. එදා මම දුවගෙ කැටේ හොරකම් කරගෙන ගිහින් කඩලා ඒ සල්ලිවලින් තමයි කසිප්පු බිව්වේ. කැටේ හොරකම් කරපු වැරැද්දට තමයි සමාව ගන්න ඕනෑ. මම මගේ නෝනටත් ගැහුවා බැන්නා ඒවටත් සමාව ගන්න ඕනෑ.”

භූතයා ගවේෂකවරයා ඉදිරියේ කියන්නට විය.

ගමේ පන්සලට හීන් දානයක් පිරිනමා පියාට පින් අනුමෝදන් කොට ඊළඟ දිනයේ මෑණියන් ද සමඟ පැමිණෙන්නැයි ගවේෂකවරයා සුදීපාටත් සමන්තටත් උපදෙස් දුන්නේය.

ඊළඟ දිනයේ ඔවුන් මෑණියන් ද කැටුව පැමිණියහ. එදින සුදීපාට ආවිශ්ට වූ භූතාත්මය බිරිය ඉදිරියේ වරදට සමාව ඉල්ලමින් කන්නලව් කරන්නට විය.

“තමුන්ට සමාව ලැබෙනවා. මේ නෝනා ඇවිත් ඉන්නේ තමුන් කෙරෙහි අනුකම්පාවෙන් තමයි, දුව දානයක් දී පින් දුන්නේ මෛත්‍රී කරුණාවෙන්. දැන් තමුන් නිදහස් කියලා හිතාගන්න. කැටේ කඩලා සල්ලි ගත්තාට දුව තුළ තරහක් නෑ කියලා මේ බෑණත් කියනවා.”

එසේ කී ගවේෂකවරයා පළතුරු වට්ටියකට භූතයා සම්බන්ධ කොට කැළණියට යැව්වේය.