බොස්ටන් බෝම්බකරුට මරණ දඬුවම ?

බොස්ටන් බෝම්බකරුට මරණ දඬුවම ?

බොස්ටන් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ෂෝකාර් සර්නායෙව් ට මරණීය දණ්ඩනය ලබාදිය යුතුª බව අමෙරිකා නීතිපති එරික් හෝල්ඩර් අධිකරණයට දැනුම් දී තිබේ. නීතිපතිවරයා මේ දැනුම් දීම කර ඇත්තේ බොස්ටන් හි දිස්ත්‍රික් විනිසුරුවරයා විසින් නීතිපතිවරයාගේ මතය දැනුම්දීම සඳහා ලබාදුන් අවසන් කාලසීමාව ඉකුත් වීමට දිනයක් තිබියදී ය. ඉකුත් සිකුරාදායින් එම කාලසීමාව අවසන් විය.

අධිකරණය වෙත සිය මතය දැනුම් දීමට පෙර සෙනෙට් අධිකරණ කමිටුව හමුවේ නීතිපතිවරයා මේ පිළිබඳ කරුණු දක්වා තිබිණි. ලෝ පතළ බොස්ටන් මැරතන් තරගයේ අවසන් සීමාව අබියස දී පීඩන උදුන්වල ඇටවූ බෝම්බ දෙකක් පුපුරවා හැරීම පිළිබඳ ෂෝකාර් ට චෝදනා එල්ල වී ඇත.

ගෘහමය වශයෙන් නිෂ්පාදනය කරන ලද බෝම්බ දෙකක් පුපුරවා හරිමින් එම විනාශය සිදු කළේ ෂෝකාර් සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන තමර්ලාන් බවට සැක කෙරේ. බෝම්බ පිපිරීමට පසු දිනම එහි සැකකරුවන් සොයා පොලිසිය කළ මෙහෙයුමේ දී ෂෝකාර් ගේ සොහොයුරා මරණයට පත් විය. ෂෝකාර් තුවාල ලබා සිටිය දී අත්අඩංගුවට ගැනිණි.

2013 අප්‍රේල් 15 වැනිදා සිදුවූ බොස්ටන් බෝම්බ ප්‍රහාරයෙන් 8 හැවිරිදි පිරිමි ළමයකු ද ඇතුළු තිදෙනෙක් මරණයට පත් විය. 264 දෙනකු දරුණු ලෙස තුවාල ලැබී ය. ඉන් බහුතරයකට අත් – පා ආදී ශරීරාංග අහිමි විය. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අනතුරුව අමෙරිකාවේ සිදු වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය වූයේ ද මෙය යි.

ත්‍රස්තවාදයට එරෙහිව නීතිමය වශයෙන් දැඩිව ක්‍රියා කරන බවට කියා සිටි අමෙරිකා නීතිපති දෙපාර්තමේන්තුවට බොස්ටන් බෝම්බ ප්‍රහාරය පිළිබඳ නඩු විභාගය විශේෂිත එකකි. එහෙත්, මැසචුසෙට්ස් ප්‍රාන්තයේ මරණීය දණ්ඩනය අහෝසි කර ඇති තත්ත්වයක් යටතේ මේ පිළිබඳ මතය අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

මැසචුසෙට්ස් හි ඇම්නදුස්ට් කොලීජියේ නීති විද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිළිබද මහාචාර්ය ඔස්ටින් සාරත් පවසන පරිදි, මෙය සංකීර්ණ තීරණයක් වනු ඇත. “සංස්කෘතික, දේශපාලන සහ නීතිමය වශයෙනුත් මෙය සංකීර්ණ කාර්යයක්....” ඔහු පවසයි.

තරමක් මවිතයකින් යුතුව ඔහු කියා සිටින්නේ මරණ දඬුවම පිළිබඳ තීරණය නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉවත් කර නොගතහොත් එම මතය අවධානයට ලක්වනු ඇත්තේ මරණ දඬුවමට අමෙරිකා ජනාධිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව එරෙහි නොවන බව දක්වමින් බවයි. මෙය බරපතළ නඩු විභාගයක් ලෙස සලකා ක්‍රියා කිරීමට සාධාරණ පසුබිමක් ඇතැයි ද ඔහු පෙන්වා දී ඇත.

බොස්ටන් ග්ලෝබ් මගින් ඉකුත් වසරේ කළ මත විමසුමකට අනුව බොස්ටන් වැසියන්ගෙන් 57% ක් ෂෝකාර් වරදකරු වුවහොත් ඔහුට ජීවිතාන්ත සිර දඬුවමක් පැනවීම ගැන එකඟ විය. 33% කීවේ ඔහුට මරණ දඬුවම පැනවිය යුතු බවයි.

මැසචුසෙට්ස් ප්‍රාන්තය මරණ දඬුවම අහෝසි කරනු ලැබුවේ 1984 දී ය. අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මකකර දශක 4 කට ආසන්න වී ඇත. එහෙත් ඇතැම් තත්ත්වයන් යටතේ එය ක්‍රියාවට නැංවීමේ හැකියාව පවතී.

ෂෝකාර් ට මරණ දඬුවම පැනවීමට එරෙහිව කරුණු දක්වන ඔහුගේ නීතිවේදීහු කියා සිටින්නේ ෂොකාර් ක්‍රියාත්මක වී ඇත්තේ ඔහුගේ වැඩිමහල් සොහොයුරාගේ මෙහෙයවීම මත නිසා බැවින් මේ දඬුවම අසාධාරණ බවයි. එමෙන්ම නඩු විභාගය ඇරැඹීම පමා කිරීම, වැදගත් සාක්‍ෂි හුවමාරු කර නොගැනීම ආදී කාරණා මගින් තම සේවාදායකයාට අසාධාරණයක් සිදුවී ඇති බවට ද ඔවුහු රජයට චෝදනා කරති.

මැරතන් බෝම්බ ප්‍රහාරයට අමතරව ඊට පසුදින මැසචුසෙට්ස් තාක්‍ෂණික ආයතනය අසල දී පොලිස් නිලධාරියකුට වෙඩි තබා ඔහුගේ මරණය සිදු කිරීම ගැන ද ෂෝකාර් ට චෝදනා එල්ල වී තිබේ.

ෂෝකාර් සර්නායෙව් ට එරෙහි නඩු විභාගය මේ සිද්ධියට වසරක් පමණ ගතවී ඇතත් තවමත් ඇරැඹී නැත. තමන්ට එරෙහි චෝදනාවලට තමන් නිවැරදිකරු බව ෂෝකාර් දන්වා ඇත.

ෂෝකාර් ට මරණ දඬුවම ලබාදිය යුතු බවට අධිකරණයට දැන්වීමෙන් පසු මේ පුවත පිළිබඳ ඔහුගේ මවගෙන් ඒඕඛ් පුවත් සේවය විමසා සිටියේ ය. එහිදී ඇය කියා සිටියේ තමාට ඒ ගැන හැඟීමක් නැති බවයි. “කොහොමද මට මේ ගැන හැඟෙන්නෙ? මට කිසිවක් හැඟෙන්නේ නෑ...” යනුවෙන් ඇය පවසා ඇත.

ෂුබෙයිදාන් සර්නායෙවා තවදුරටත් මෙසේ ප්‍රකාශ කර තිබිණි. “මා ඔබට එක් දෙයක් කිව යුතුයි. මං මගේ පුතාට ආදරෙයි. මට හැමදාමත් ඔහු ගැන ඇත්තේ ආඩම්බරයක්: මට ඔහු හැමදාමත් ආදරණීයයි...”

බොස්ටන් බෝම්බ ප්‍රහාරයෙන් 08 හැවිරිදි පිරිමි දරුවකු ඇතුළු තිදෙනෙකු මරා දැමීම, 260 දෙනකු පමණ තුවාල ලැබීම, පොලිස් නිලධාරියකුගේ මරණය සිදු කිරීම ආදී චෝදනා 30 ක් ෂෝකාර් ට එරෙහිව ඉදිරිපත් වී තිබේ. මේ චෝදනාවලට තමා නිවැරදිකරු බව ඔහු ප්‍රකාශ කිරීම නිසා නඩු විභාගයක් පැවැත්වීමට නියමිතව පවතී.

බොස්ටන් ප්‍රහාරය පිළිබඳ සර්නායෙව් සොහොයුරන්ට චෝදනා එල්ල වූ විට, මීට පෙර ඔවුන් ගේ මව තම පුතුන් ඊට වගකිව යුතු නැති බව කියා සිටියාය. මේ චෝදනාවට තම පුතුන් කොටු කිරීමට ක්‍රියාකර ඇතැයි කියමින් ඇය අමෙරිකා ආණ්ඩුවට චෝදනා කළාය.

ඒ සමඟ ම ඇය කීවේ සිය බාල පුතු අයියා ගේ වචනයට සෑම විටම අවනත වූවකු වූ බවයි. බොස්ටන් ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ඒඕඛ් පුවත් සේවයට අදහස් දක්වමින් ෂුබෙයිදාත් සර්නායෙවා පවසා තිබුණේ ෂෝකාර් ට මරණ දඬුවම පැන වෙතැයි තමා බියෙන් සිටින බවයි. එසේ වුවහොත් තමාට පුතුන් දෙදෙනාම අහිමි වන බව ද ඇය කියා තිබිණි.