සුපිරි පොල්

සුපිරි පොල්

පොල් ගස අපට කප්රුකකි. මේ ආහාර විද්‍යඥයන් සහ විවිධ ක්ෂත්‍රයන්හි ප්‍රවීණයන් කියන්නේ පොල් ගසේ ඵලය ලොව සුපිරිම ආහාරය බවයි. ඇත්තටම පොල් ලොව සුපිරිම ආහාරය වුණේ කොහොමද ?

පෝෂණවේදී සෝ හාර්කොම්බේ පවසන ආකාරයට පොල් අංග සම්පූර්ණ ම ස්වභාවික ආහාරයකි. එහි සියලු පෝෂණ කොටස් අඩංගුව ඇත. කාබෝහයිඩ්‍රේට්, මේදය, ප්‍රෝටීන් මූලික වශයෙන් ම අඩංගු ය. පොල්වල ලවණ වර්ගත් අන්තර්ගත බව පැවැසේ.

තඹ, සින්ක්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සහ සෙලිනියම් යන මූලද්‍රව්‍ය පොල්වල තිබෙන බව තහවුරුව ඇත. පොල්වල තිබෙන මේදයෙන් 87% ක්ම සංතෘප්ත මේදයයි.

එවැනි තත්ත්වයක පවතින මේදය මිනිස් සිරුරට හානියක් නොකරන බව බටහිර ලෝකය පිළිගන්නා දෙයකි. කීර්තිමත් පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන බොඩිස්ට් ජේම්ස් ඩුයිගන් පොල්වල මේදය ගැන කියන්නේ මෙහෙම කතාවකි.

“හුඟක් නිරූපණ ශිල්පීන් තමන්ගේ ආහාරවලට පොල් ඇතුළු කරගන්නවා. එයට හේතුව මේද පරිවෘත්තීය කෙරෙහි පොල් වැදගත් වන නිසයි. එමගින් වැඩි කැලරි දහනය කිරීමකුත් වෙනවා...”

ග්‍රන්ථ කර්තෘවරියක වන සාරා විල්සන් පවසන්නේ පොල්වල කෙටි හා මධ්‍ය දාම සහිත සංතෘප්ත මේදය තිබෙන බවකි. පොල්වල ඇති මධ්‍ය ප්‍රමාණයේ දාම සහිත මේද අම්ල යොදාගෙන සකස් කරගන්නා පොල්තෙල් මිනිස් සිරුරට හිතකර බව ඈ කියන්නී ය.

මධ්‍යම ප්‍රමාණයේ දාම සහිත මේද අම්ල ආහාරයට ගත්විට ඒවා ඍජුව ම ගමන් කරන්නේ අක්මාවට යි. එහිදී ඒවා ඉක්මනින්ම ශක්තිය බවට පෙරැළේ. තැන්පත්ව පැවතීමක් සිදුවන්නේ නැත. මේ නිසා ඒ මේද අම්ල ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාව උත්තේජනය කරයි.

මේද අම්ලවල අඩංගු රසායනික ද්‍රව්‍යයවල බලපෑමෙන් තයිරොයිඩයේ ක්‍රියාකාරීත්වයත් වැඩිවන බව පැවැසේ. මෙය ශරීරයේ බර අඩුවීමට ඍජුවම බලපාන්නකි. මේ සියලු යහපත් දේවල් සිදුවනවාට අමතරව පොල් පරිහරණයෙන් ලැබෙන අතිරේක වාසිය ස්වභාවික රසයයි. පොල් තෙල්වල ෆ්රුක්ටෝස් අඩංගු නැත. එහි ඇත්තේ සරල සීනි ය. එය මිනිස් සිරුරට ඉක්මනින් අවශෝෂණය වේ.

ආහාර පිසීමේදීත්, අනෙකුත් පිලිස්සීමේ කටයුතුවලදීත්, පොල්තෙල් යොදාගැනීමට තීරණය කිරීම ඉතා හොඳ ය. මේ කටයුතුවලට බටර් යොදාගැනීමට අවහිරයක් නැත. එහෙත් පොල් තෙල් තාපයේ දී ඔක්සිකරණය වන්නේ නැත.

තාපයේදී ඔක්සිකරණය නොවන තෙල් වර්ග ඇත්තේ අල්ප ප්‍රමාණයකි. එවැනි ගුණයකින් යුතු පොල් සෞඛ්‍යයට හිතකර ය. බොඩිස්ට් කියන්නේ සෑම දවසකම පොල් තෙල් තේ හැඳි 4 ක් ආහාරයට ගැනීම සුදුසු බවයි. මේ තෙල් ප්‍රමාණය තමන් පානය කරන පලතුරු බීමකට හෝ තේවලට හෝ යොදාගන්නට පුළුවනි.

පොල්තෙල්වල ලෝරික් අම්ලය ඇත. මේ අම්ලය නිසා මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වඩාත් හොඳින් සිදුවේ. ලෝරික් අම්ලයේ අඩංගු ප්‍රති වෛරස සහ ප්‍රති බැක්ටීරියා ක්‍රියාකාරීත්වයත් එහිලා විශේෂ කාර්යක් ඉටුකරන බව තහවුරු වී තිබේ.

එක්සීමා සහ සොරයිසීස් යන චර්ම රෝගවලින් පෙළෙන අයට සම මත ඍජුවම පොල්තෙල් ආලේප කිරීම ගුණදායී වන්නේ පොල්තෙල්වල තිබෙන ඒ ගුණය නිසයි. සමෙහි ආසාදන තත්ත්ව තිබෙන රෝගීන් පොල් සහිත ආහාර වේලක් ගැනීම යහපත් වන්නේත් එකී කාරණය හේතුවෙනි.

ග්රේන් බ්‍රේන් කෘතිය ලියූ වෛද්‍ය ඩේවිඩ් පර්ල්මටර් වරක් ප්‍රකාශ කළේ සුපිරි ආහාරයක් හැටියට පොල් මොළයේ වැඩීමටත් හොඳ බවකි. එමගින් මොළයේ සෛලවල වර්ධනයක් සිදුවන බවත් ඔහු පවසා සිටී.

කුරුම්බාවල හෝ තැඹිලිවල හෝ වතුර වැදගත් පානයක් බව විද්‍යාඥයෝ පවසති. මැඩෝනා, ඩෙමී මුවර් සහ රිහානා වැනි කීර්තිමත් පුද්ගලයෝත් නිතර නිතර ඒවායෙහි රසය බලති. මේ පානය පොටෑසියම්, විටමින් සී සහ තවත් පෝෂ්‍ය පදාර්ථවලින් අනූන බව කියැවේ.

ශාරීරික ව්‍යායාම්වලින් පසුව සිරුරට නැවත අවශ්‍ය වන ජලය ලබාගැනීමේ දී එවැනි ස්වභාවික පානයක් ඉතාමත් ප්‍රයෝජනවත් වන බව තහවුරු වී තිබේ. ව්‍යායාම කිරීමේ දී පිටවන දහදිය සමඟ ශරීරයේ තිබෙන ලවණ වර්ග සහ ලුණුත් බැහැර වේ. රුධිරයට මේ සංඝටක ලබාගන්නටත් සීනි සහිත ස්වභාවික පානයක් භාවිතයෙන් ශක්තිය ලබාගන්නටත් අවශ්‍ය වූ විට කුරුම්බා වතුර හෝ තැඹිලි වතුර හෝ පානය කළ හැකිය.

දවසේ කොයි වෙලාවක ගන්නා ආහාර වේලකට වුවත් පොල් එකතු කර ගත්තාට වරදක් නැත. උදෑසන ආහාර වේලට පොල් ටිකක් එකතුකර ගැනීම හොඳ ය. සැඳෑකාලයේ දී අනුභව කරන සුළු කෑම වේලකටත් පොල් යොදා ගත හැකිය.

කර කරගත් පොල් මද පෙති හෝ කර කරගත් පොල් කැබලි එවැනි වෙලාවකට රසවත් ආහාරයකි. ඒ වගේ ආහාරයක අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ ඉතා සෙමෙන් සිරුරට අවශෝෂණය වන බව පෝෂණවේදීහු සඳහන් කරති.

පොල් වගේම පොල් කිරි සහ පොල්වලින් සකසා ගත් ක්‍රීම් ද ශරීරයට සංතෘප්ත මේදය එකතු කරයි. සත්ව කිරි වර්ග භාවිතයට නොගන්නා අයට ඒවා නිසා හොඳ පෝෂණයක් ලබාගත හැකිය. ඒ වගේම ස්වභාවික රසය ඒ හැමදෙයකට වඩාත් සැබෑ රසයකි.