කෙල්ලෝ එපා! පියා; මවත්, දියණියත් තබා මරයි

කෙල්ලෝ එපා! පියා; මවත්, දියණියත් තබා මරයි

විසි දෙහැවිරිදි අනූ දේවී ජීවත්වුණේ නැෙඟනහිර ඉන්දියාවේ ජර්කන්ද් ප්‍රදේශයෙහි ය. පළමු දරු ප්‍රසූතියට සූදානම් ව සිටි අනූගේ සිත තුළ අපමණ බලාපොරොත්තු තිබිණ. ඕනෑම ඉන්දීය ගැහැනියක නිරන්තරයෙන්ම සිතන්නාක් මෙන් අනූත් සිතුවේ තමන්ට පුතකු ලැබෙනවා නම් කියා ය. මේ අවිනිශ්චිතතාව මතුවුණේ, අනූට කල් ඇතිවම දරුවා ගැන කිසිදු හෝඩුවාවක් දැනගන්නට මඟක් නොතිබූ බැවිනි. කුලුඳුලේ ම තම පවුලට එකතුවන්නට යන දරුවා පිරිමි ළමයකු විය යුතුමැයි කියා අනුගේ සැමියා ගුජන් මසාට් තීරණය කර තිබුණේ ඒ අතරවාරයේ ය.

ඉන්දීය අම්මලා තාත්තලාට තමන්ගේ දුවලා දීග දීම අසීරු වැඩකි. ඇතෙක් බරට දායාද සොයන්නට මවුපියන්ට සිදුවේ. කොපමණ දායාද දුන්නත් සැමියාගේ පැත්තේ ඥාතීන්ට සෑහෙන්නේ නැත. සන්තෝෂ වන්නේ නැත.

කිසිදාක තෘප්තිමත් නොවන ඥාතීන් සමූහයක් සමඟ පොර බැදීම කෙතරම් අමාරු දෙයක් දැයි කියන කාරණය සෑම ඉන්දියානුවෙක් ම දනී. වෙනසක් නැතිව මේ යථාර්ථය තමන් සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක විය හැකි බව අනු ද, ගුජන්ද තේරුම්ගෙන සිටියහ.

පිටු පෑ නොහැකි යථාර්ථයේ වේදනාව අනූ - ගුජන් යුවළට තදින්ම දැනෙන්නට පටන් ගත්තේ අනූ දියණියක ප්‍රසූත කළ දිනයේ ය. තමන් ට ඉපදෙන්නේ දියණියක බව දරු ප්‍රසූතියට පෙර අනූ දැන ගත්තා නම් බොහෝ දේ වෙනස් වන්නට ඉඩ තිබිණ.

ඒත් ඉපැදුණු පසු ඇය ව භාරගන්නවා හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත. පුංචි දුවත් කැටුව අනු සිය සැමියාගේ නිවෙසට යළිත් පැමිණියේ බොහෝ දුක් ගිනි දරාගෙන ය. ඒ දුක් ගිනි කන්දරාවට මැදිව අලුතින් ලද මවු පදවිය ගැන සිහිකර කර සිහින මවන්නට අනූට ඉඩක් නොලැබිණ.

දුවගේ උපතත් සමඟ ගුජන් මසාත් බොහෝ වෙනස්ව සිටියේ ය. ඔහු හැම වෙලාවකම අනූගේ ඇඟට කඩාගෙන පැන්නේ ය. එහෙම කඩාගෙන පනින්නට ගුජන් හොඳ නිමිත්තක් සොයාගෙන තිබිණි.

ගුජන්ට අනූගෙන් තවත් අලුත් දායාදයක් වුවමනා වී තිබුණේ ය. එය ගන්නට විවිධ මං කල්පනා කිරීමෙන් උමතු වැටී සිටි ඔහුට විටෙක බිරිය නොපෙනිණ. තවත් විටෙක දියණියව නොපෙනිණි.

“සැමියාගේ පැත්තේ ඥාතීන්ට පුතෙක් වුවමනා වුණා. ඒත් ඉපැදුනේ දුවක්, ඒක අනූ දේවීගේ වරදින් සිද්ධවෙච්ච දෙයක් නොවෙයි. ඒගොල්ලන් මගේ දුවට හිරිහැර කරන්න පටන් ගත්තා.

ඊළඟට ඔවුන් මගේ දුවට හුඟක් දරුණු වධහිංසා පැමිණුවා. රූපවාහිනී යන්ත්‍රයක් ඕනෑය කියලා කරදර කළා. ඊට පස්සේ මෝටර් බයිසිකලයක් ඕනෑය කියලා කියන්න පටන් ගත්තා. මේ වෙනකොට මම අක්කර එකයි දශම 6ක ඉඩමක් දුවට දෑවැදි වශයෙන් ඔවුන්ට දීලා තිබුණේ....” යැයි කියා අනූ දේවීගේ පියා පවසයි.

අනූගේ පියාගෙන් යතුරුපැදියක්වත් රූපවාහිනී යන්ත්‍රයක්වත් දිනාගන්නට ගුජන් මසන්ට බැරි විය. ඉහ වහා ගිය කෝපයෙන් පසු වුණු හෙතෙම පසුගිය දිනෙක දී සිය බිරියට භූමිතෙල් වත් කළේ ය. මේ කෲර අපරාධය කරන්නට ඔහු තෝරාගත්තේ අනූ සිය බිලිඳීයට මවුකිරි දෙමින් සිටි මොහොතකි.

ඒ නිසා අම්මා වගේ බිලිඳියත් භූමිතෙලෙන් නැහැ වී ගියේ ය. ගුජන් මසාත් ඊළඟට කළේ අම්මාත් දුවත් මත ඇවිලෙන ගිනිකූරක් තැබීම යි. දෙදෙනාටම ගිනිි ඇවිලිණි. ඔවුන්ව බේරාගන්නට කව්රුවත් සිටියේ නැත.

ඇවිලෙන අම්මාවත් දුවවත් මිදුලේ තිබුණු ගිනි මැලයක් ආසන්නයට ගෙනයන්නට ගුජන් මසාත් පියවර ගත්තේ ය. වතුර බඳුනකුත් ඔහු ඒ ගිනි මැළය ආසන්නයේ තැබුවේ වඩාත් හොඳ කතාවක් නිර්මාණය කරන්නට පුළුවන් වටපිටාවක් හදන්නටයි. ඔහු කිසි අඩුපාඩුවක් නැතිව කතාවට වුවමනා පරිසරය සැකසුවේ ය.

ජනවාරි 30 වැනිදා උදෑසන අනූ දේවී ජීවත්වුණු ගමේ නරක ආරංචියක් පැතිර ගියේ ය. ආරංචියෙන් කියැවුණේ මිදුලේ ගිනිමැලයක් ආසන්නයේ බිලිඳු දියණියට කිරිදෙමින් සිටි අනූ බිලිඳියත් සමඟම ගින්නට ගොදුරුව ඇති බවකි. ජලය ඉස ගින්න මඩින්නට කොතෙක් උත්සාහ දැරුවත් එයිල් ඵලක් නොවුණ බවත් කියැවිණි.

අනූත් බිලිඳීයත් ළඟම තිබෙන රෝහලකට ගෙන ආවේ ඒ ජරමර අතරේ ය. ගිනි නිවා අනූගේත් බිලිඳීයගේත් දේහ රථයකට පටවා ගනිද්දී ඔවුන් දෙදෙනාටම පණ තිබිණ.

ඒත් රථය රෝහලට ළඟාවන විට අනූට පණක් තිබුණේ නැත. පුංචි දුව යාන්තමට හුස්මක් කටක් ගත්තත් ඇයටත් වැඩි වේලාවක් මෙලොව රැෙඳන්නට වාසනාව නොතිබිණි. අම්මා ගිය පාරේ ම යමින් ඇයත් නිහඬ වූවාය.

රෝහල් බලධාරීන් කියන ආකාරයට අනූගේත්, බිලිඳියගේත් සිරුරුවලින් 90% කට ආසන්න ප්‍රමාණයක් බැගින් දැවී තිබී ඇත. ඔවුන් දැවී ගිය ආකාරය අනුව පැහැදිලිව පෙනෙන්නට තිබුණේ එය ද්විත්ව මනුෂ්‍යය ඝාතනයක් බවයි.

අපරාධයට වරදකරු යැයි කියා සැකපිට පළමුව අත්අඩංගුවට ගත්තේ ගුජන් මසාත් ය. දෙවනුව, ඔහුගේ සොහොයුරා ගේ දෑතටත් මාංචු වැටිණි. දැන් අයියා - මලෝ දෙදෙනාම නීතිය යුක්තිය ඉටුවී තමන්ගේ ඉරණමත් විසෙඳන තුරු බලා සිටිති.

මේ වගේ දුක්බර කතා ඉන්දියාව පුරා ඕනෑ තරම් ය. එරට අපරාධ අංශය භාර පොලිස් නිලධාරීන් කියන්නේ වසරකට කාන්තාවන් 9000 කට ආසන්න ප්‍රමාණයක් දෑවැදි ප්‍රශ්න නිසා මරා දැමෙන බවයි. අනෙක් අතට විනාශ කෙරෙන කලල ප්‍රමාණය ද සීමාවක් නැති බවකි.