අම්මා, අක්කා මාරුවුණු ඕබරෝන්

අම්මා, අක්කා මාරුවුණු ඕබරෝන්

1930-1940 දශක ඇගේ සිනමා දිවියේ ස්වර්ණමය අවධිය වී තිබිණි. 1935 වසරේදී “ඩාර්ක් ඒන්ජල්” චිත්‍රපටය වෙනුවෙන් හොඳ ම නිළිය සඳහා වන ඔස්කාර් සම්මානයට නිර්දේශ වීම සහ 1939 දී “වදරිං හයිට්ස්” චිත්‍රපටයේ කැතී ගේ චරිතයට පණ පෙවීම මගින් එකල ඇය හොලිවුඩ් පුරවරයේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ගෙන ඒමට සමත් විය. “අ වෝර්ම් කෝනර්”, “ෆො ද ලව් ඔෆ් මයික්”, “නෙවර් ට්‍රබල් ට්‍රබල්”, “නයිට් ඉන් පැරඩයිස්” ආදිය ඇය රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයකි.

වත්මන් තරුණ සිනමා ලෝලීන්ට ඇගේ නම තරමක් නුහුරු වුවත් හතළිහ දශකයේ සිනමා ලෝලීන් නම් ඇය රඟපෑ චිත්‍රපට කිසිවක් මඟ හරින්නට නැත. නමින් මර්ල් ඕබරෝන් නම් වූ ඇය ජීවිතයෙන් සමුගෙන 35 වසරක් ගෙවී ගොස් තිබුණ ද ඇය සම්බන්ධ සොයා බැලීම් නම් නතර වී නැත. ඒ ඉතිහාසය හාරා ඇවිස්සීමේ ප්‍රතිඵලයක් ලෙස ඇය සම්බන්ධ සැක සහිතව තිබු කරුණු සනාථ කර ගැනීමට හැකි වී තිබේ.

මේ අපූරු සුන්දර නිළියගේ ආගිය තොරතුරු පිළිබඳ 1970දී තැබූ සටහනකින් කියැවී තිබුණේ ඇය ඔස්ට්‍රේලියාවට ආසන්නයේ පිහිටි තස්මේනියාවේ උපත ලැබූ බවකි. උපතෙන් පසුව ඇය ඉන්දියාවට පැමිණ විශ්වාසවන්ත වැඩිහිටි යුවළක් යටතේ හැදුණු වැඩුණු බවද එහි සඳහන්ව තිබිණි.

ඇගේ බෞතීස්මය අවස්ථාවේ නම් කෙරෙන යුවළ සෙවණට මෙලෙස පැමිණීමට හේතුව ලෙස එහි ඇතුළත්ව තිබුණේ ප්‍රභූ වරයකු ලෙස පිළිගැනීමක් තිබූ බ්‍රිතාන්‍ය යුද හමුදාවේ සේවය කළ ඇගේ පියා දඩයම් කෙළියකදී සිදු වූ අනතුරකින් මිය යාම බවයි. ඒ අනුව ඇය පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී හඳුන්වා දී තිබුනේ “තස්මේනියානු කෙල්ලක” වශයෙනි.

එහෙත් ඇය පිළිබඳ මේ තොරතුරු සැක සහිත බවත් ඇයගේ උපත සැබැවින්ම සිදුව ඇත්තේ තස්මේනියාවේ නොවන බවටත් පසු කාලීනව වාර්තා පළවිය. එහෙත් එය සනාථ කරන්නට සාධක නොතිබුණු බැවින් සැකයේ වාසිය ඇයට ලබා දෙමින් සිද්ධිය යටපත් විය.

එහෙත් ඇගේ මරණයෙන් වසර 35ක් ගෙවී යද්දී, ඇගේ උපතට අදාළ සියලු සත්‍ය තොරතුරු හෙළි කර ගන්නට කුල පරම්පරා පිළිබඳ තොරතුරු රැස් කරන බ්‍රිතාන්‍ය වෙබ් අඩවියක් සමත් වී තිබේ. ඕබරෝන් ගේ උපත සැබවින්ම සිදුව ඇත්තේ ඉන්දියාවේ දී බව ඇගේ උප්පැන්න සහතිකය ද සමගින් සනාථ කරන්නට ඔවුන් සමත් වී තිබේ. එවැනි හෙළිදරව් කිරීමක් සිදු වන්නේ ප්‍රථම වරට බැවින් බොහෝ දෙනාගේ අවධානය ඊට යොමු වී තිබේ.

එම හෙළිදරව්ව මගින් පෙන්වා දෙන්නේ ඕබරෝන් සැබවින්ම උපත ලබා ඇත්තේ වර්තමානයේ මුම්බායි ලෙස හඳුන්වන ඉන්දියාවේ බොම්බායේදී බව ය. ඇගේ පියා වන ආතර් තොම්සන් එරට දුම්රිය සේවයේ ඉංජිනේරුවකු ලෙස සේවය කර ඇති බවත් හෙළි වී තිබේ.

වඩාත් තැති ගන්වන සුලු කරුණක් ද මේ හෙළිදරව්වෙන් සොයා ගෙන ඇත. එනම් ඕබරෝන් ගේ සහෝදරිය ලෙසින් හඳුන්වා දී තිබු කොන්ස්ටන්ස් සෙල්බි ඇගේ සොහොයුරිය නොව සැබවින්ම ඇගේ මව බවයි. ඕබරෝන් 1911 දී උපදින විට කොන්ස්ටන්ස් පසු වන්නේ දොළොස් හැවිරිදි වියේ ය.

කොන්ස්ටන්ස්ගේ මව වන චාර්ලට් සෙල්බි ඒ වන විට 26 වැනි වියේ පසු වන බැවින් කොන්ස්ටන්ස් මෙන් ම ඕබ්රෝන් ද තම දරුවකු ලෙස චාර්ලට් විසින් ලොකු මහත් කර තිබේ. ඒ අනුව ඕබරෝන් සිතා සිටින්නේ කොන්ස්ටන්ස් තම සොහොයුරිය බවයි. චාර්ලට් යනු ආතර් තොම්සන් ගේ පෙම්වතියයි.

එහෙත් කොන්ස්ටන්ස් උපත ලබන්නේ තොම්සන්ට දාව නොවේ. යුරෝපා - ආසියා සම්භවයක් සහිත චාර්ලට් එවක සිලෝන් ලෙස හැඳීන්වුණු ශ්‍රී ලංකාවේ ජීවත් වූ සමයේ අයර්ලන්ත ජාතික තේ වැවිලිකරුවකුට දාව කොන්ස්ටන්ස් බිහි කරන්නේ 14වැනි වියේදී ය. කොන්ස්ටන්ස් සමඟ ඉන්දියාවට පැමිණෙන චාර්ලට් පසුව තොම්සන්ගේ පෙම්වතිය බවට පත්වේ. කොන්ස්ටන්ස්, ආතර් තොම්සන්ට දාව බිහිකරන දරුවා ඕබරෝන් ය.

කෙසේවෙතත් කොන්ස්ටන්ස් පසුකාලීන ඇලෙක්සැන්ඩර් සෝරස් නම් පුද්ගලයකු සමඟ විවාහ වී තවත් දරුවන් සිවු දෙනකු ලැබුවා ය. ඔවුන් ඕබරෝන් සලකනු ලැබුවේ පුංචි අම්මා ලෙස ය. එහෙත් සැබවින්ම එම දරුවන් සහ ඕබරෝන් සහෝදර සහෝදරියන් ය. එය ඔවුන් කිසිවකුත් නොදැන සිටි කාරණයක් ය.

සැබවින්ම පටලැවිලි සහගත මේ ඥාති සම්බන්ධතා මුල් කාලීනව ඕබරෝන් දැන නොසිටි බව වෙබ් අඩවිය ද කියයි. එහෙත් පසු කාලීනව සත්‍යය සොයා ගන්නා කොන්ස්ටන්ස් ගේ දරුවන් සිවු දෙනාගෙන් එක් අයකු ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පවුලේ හමුවක් කැඳ වුව ද ඕබරෝන් ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ බව අදාළ වෙබ් අඩවිය අනාවරණ කරගෙන ඇත.

ඒ අනුව ගැටලුව මතු වන්නේ ඕබරෝන් අවට ලෝකයාට සත්‍යය වසන් කළේ මන්ද යන්නයි. ඊට පිළිතුරු සැපයීමට ඕබරෝන් මෙලොව නොමැත. එහෙත් එළැඹෙන 19වැනිදා ඕබරෝන් ගේ 103වැනි ජන්ම සංවත්සරය සැමරීමට ඇගේ ඥාතීන් නොවැරදීම එක් වනු ඇත.