තායිවානයේ අලුත් බුදු දහම

තායිවානයේ අලුත් බුදු දහම

හෂිඕ හසිවු - චූ තායිවාන ජාතික බෞද්ධ කාන්තාවකි. තායිවානයේ බී.බී.සී වාර්තාකරු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් හෂිඕ කියා සිටියේ මෙහෙම දෙයකි.

“මට පන්සලට යන්න වෙලාවක් නැහැ. බුදුන් වැඳීම මට ඒ තරම්ම වැදගත් නැහැ. මෙහාට ඒම බුදුන් වැඳීම හා සමානයි...” ඇය “මෙහාට ඒම” යනුවෙන් අදහස් කළේ ට්සු චී බෞද්ධ මධ්‍යස්්ථානයට පැමිණීම ගැනයි.

අසූ ලක්‍ෂයකට අධික බෞද්ධයෝ පිරිසක් තායිවානයේ ජීවත් වෙති. ඔවුන්ගෙන් වැඩි කොටසක් ට්සු චී බෞද්ධ මධ්‍යස්ථානය හා සමාන බෞද්ධ මධ්‍යස්්ථානවල සාමාජිකයෝ වෙති. මේ මධ්‍යස්ථානවලට බැඳුණු තායිවාන බෞද්ධයන් කරන්නේ මානුෂීය බුදු දහම ය.

මානුෂීය බුදු දහම යනු සමාජයට සහ එහි සිටින සාමාජිකයන්ට උදව් උපකාර කිරීම යි. එහෙම උදව් උපකාර කිරීමෙන් සිදුවන්නේ බුදු දහමේ කියැවෙන සිත, කය සහ වචන සංවර කරගැනීම ම යැයි කියා තායිවාන බෞද්ධයෝ පවසති.

“බුදු දහමට අනුව ඔබ විතරක් ප්‍රතිලාභ ලැබීම ප්‍රමාණවත් නැහැ. ඔබ අනෙක් අය වෙනුවෙනුත් ක්‍රියා කළ යුතුයි. ඔබ අනෙක් අයට උපකාර කළ යුතුයි” කියා කියන්නේ ඇබෝට් හයින් බාඕ ය. ඇබෝට් ප්‍රධාන පෙළේ බෞද්ධ ආයතනයක ප්‍රධානියෙකි. ඔහු නියෝජනය කරන්නේ ෆෝ ගුවැන්ග් ෂාන් නමින් හැඳින්වෙන ආයතනයයි.

හෂිඕ හසිවු - චූ මහත්මිය නියෝජනය කරන ට්සු - චී බෞද්ධ පදනමේ සාමාජිකයන් සංඛ්‍යාව මිලියන 7කට වඩා වැඩි ය. ස්වෙච්ඡාවෙන් සේවය කරන ලක්‍ෂයකට වඩා වැඩි පිරිසක් එහි වෙති. මේ අය අඳින්නේ ස්වකීය සංවිධානයේ ලාංඡනය මුද්‍රණය කළ නිල් පැහැ කමිසය සහ සුදු පැහැ කලිසම යි.

ආයතනයේ නඩත්තුවට වගේ ම සමාජ සත්කාරක වැඩපිළිවෙළට ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතියක් අරඹා ඇත. එහි සේවය කිරීම යටකී ස්වෙච්ඡා සේවක පිරිසගේ වගකීමයි. ඒ විදියට තර කර ගන්නා අරමුදල් භාවිත කරන්නේ මහලු අය රැක බලා ගැනීම සඳහාත්, දිළිඳු අයට උපකාර කිරීමටත් ය.

විවිධ ආකාරයෙන් අපහසුතාවලට ලක්ව සිටින පවුල්වලත් ඒවායේ දරුවන්ටත් උපකාර කෙරෙන අවස්ථා බහුල බව කියැවේ. ස්වභාවික විපත් නිසා විපතට පත් අයට සහන සලසන්නටත් අරමුදලෙන් කොටසක් වැයවන බව සඳහන් ය.

ධර්ම ඩ්‍රම් මවුන්ටන් වශයෙන් හැඳින්වෙන තවත් සංවිධානයක් “බුඩිසම් – 101” යනුවෙන් නම්කර ඇති පංති පවත්වයි. මේ පංතිවලින් ඉගැන්වෙන්නේ බෞද්ධ දර්ශනය මිනිසා එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරගත යුතු ආකාරය ගැනයි. තමන්ගේ දෛනික කටයුතු කරගෙන යන විට ඇතිවන අශුභවාදී සිතුවිලි මනින හැටි පංතිවලදී ඉගැන් වේ. 200 කට අධික පිරිසක් එක් පංතියකට සහභාගී වෙති.

“බුදු දහමේ ඉගැන්වීම් එදිනෙදා ජීවිතයේ දී භාවිතයට ගැනෙනවා. බුදු දහම තමයි භාවිතයට ගත හැකි සුදුසුම දහම” යැයි කියා මේ පංතිවලට සහභාගී වුණු යැන්ග් පෙයි පවසයි.

විවිධ අය වෙනුවෙන් සේවය කරන්නට ඉදිරිපත්වුණු තායිවාන බෞද්ධ සංවිධාන ගැන මහාචාර්ය කුඕ චෙන්ග් ටියාන් තුළ තිබෙන්නේ ප්‍රසන්න සිතුවිල්ලකි. හෙතෙම නැෂනල් චෙන්ග්චි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි.

“මේ සංවිධාන සාම්ප්‍රදායික බෞද්ධ ආගමට වඩා වෙනස්. මේවා ඉදිරියට ගෙන යන්නේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා නොවෙයි. සංවිධාන කරන්නේ, ඒවායේ සාමාජිකයන්ට සමාජ සත්කාරක වැඩපිළිවෙළ වලට යෙදවීමයි.” ඒක හොඳයි.... යනුවෙන් හෙතෙම පවසයි.

මෙවැනි සංවිධානවලට විශාල ධනයක් තිබෙන බව නොරහසකි. ප්‍රධාන පෙළේ සංවිධානවලට ඒවාටම යැයි කියා රූපවාහිනි නාළිකා, මුද්‍රණාල යනාදිය ඇත. සමහර ආයතනවලට ප්‍රවෘත්ති ආයතන, රෝහල් සහ විශ්වවිද්‍යාල තිබෙන බව සඳහන් වේ.

ආයතනවල සිටින ස්වෙච්ඡා සේවකයෝ පාසල්වලට ද පැමිණෙති. ඔවුහු පාසල් දරුවන්ට යහ පුරුදු ගැන කියා දෙති. යහ පුරුදු ගැන උගන්වන්නට මේ අය යොදාගන්නේ කතා කීමේ කලාවයි. ඒත් අබෞද්ධයන්, බෞද්්ධයන් කර ගැනීමේ වැඩකට ඔවුහු කවදාවත් අත නොගසති.

“මිනිසුන් බෞද්ධ ආගමට බලයෙන් හරවාගෙන වැඩක් නැහැ. අපි අන්‍යාගමිකයන් බෞද්ධයන් කරගන්න උත්සාහ කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මුල ඉඳල ම දේශනා කළේ විවිධ හේතු නිසා වේදනාවට පත් අයට උපකාර කරන්න කියලා.

නීති රීති බැඳීම්වලින් තොරව උපකාර කරන්න කියලා. ඒ වගේම ආයෙත් උදව්වක් බලාපොරොත්තුවෙන් උදව් නොකරන්න කියලා...” යනුවෙන් ට්සු චී පදනමේ ප්‍රකාශක චියෙන් ටන්ග් යූ ආන් පවසයි.

තායිවාන බෞද්ධයන් පිහිටුවාගත් මේ බෞද්ධ සංවිධාන හුදෙක් තායිවානයට පමණක් සීමා වූ ඒවා නොවේ. ෆෝ ගුවැන්ග් ෂාන් පදනමේ පන්සල් 200ක් පමණ ලෝකය පුරා තිබේ.

එයින් මධ්‍යස්ථාන 20ක් ම තිබෙන්නේ යුරෝපයේ ය. තවත් මධ්‍යස්ථාන 24ක් අමෙරිකා එක්සත් ජනපදයේ තිබෙන බව කියැවේ. ධර්ම ඩ්‍රම් මවුන්ටන් පදනමේ පන්සල් 125ක් ලෝකය පුරා පිහිටුවා තිබේ. ට්සු චී පදනමේ ආයතන ලෝකයේ රටවල් 48 ක තිබෙන බව එහි ප්‍රධානීහු පවසති.

මේ ආකාරයට පවත්වාගෙන යන තායිවාන බෞද්ධ සංවිධානවලට වුවමනා වී තිබෙන්නේ තායිවානය කේන්ද්‍ර කරගෙන මේ අලුත් ප්‍රවණතාව ලෝකය පුරා පැතිරවීම යි. චීනයටත් එහි බුදු දහම ගැන යළි සිතා බලන්නට පුළුවන් තරමේ බලපෑමක් එල්ල කරන්නට මේ තායිවාන සංවිධාන දැන් නොපසු බසී.

චීන බුදු දහමට වයස අවුරුදු දෙදහස් ගණනකි. බුදු දහමේ වැදගත් අංග අද වන විට චීන සමාජයෙන් ඈත්ව ඇත. එවැනි තත්ත්වයක් මතුව තිබෙන්නේ නූතන නවීකරණය, දේ්ශපාලන තත්ත්ව යනාදිය පදනම් කරගෙන යි. සිය රටේ බුදුදහමෙන් ඈත්වුණු චීන්නු දැන් තායිවාන බුදුදහම ඉගෙන ගනිමින් සිටිති.

සංවිධාන පිහිටුවා ගනිමින් අන්‍යයන්ට උපකාර කිරීමේ තායිවාන පිළිවෙත චීනුන්ට ඉගෙන ගැනීම පහසු ය. ඊට අවශ්‍ය අඩු වැඩිය ඕනෑ තරමටත් වඩා වැඩියෙන් අන්තර් ජාලයේ තිබේ. ඒ හැරුණුවිට ඩී.වී.ඩී ආදිය මගිනුත් ඉගැන්වීමේ ක්‍රමයක් කලඑළි බැස ඇත.

සංවිධාන පිහිටුවාගෙන හෝ නොගෙන හෝ කාට කාටත් උපකාර කිරීම යහපත් දෙයකි. ඒ යහපත ගැන බුදු දහම තුළ ඍජුවම නොකියවෙනවා නොවේ. සමහර විට ඒ වගක් තෝරා බේරාගෙන ගැඹුරින් අධ්‍යයනය කරන්නට තායිවාන ජනයාට බැරි වී ඇතැයි ද කියා සැකයක් මතුවේ.

“මගේ අදහස නම් බුදු දහම විශ්වාස කිරීමෙන් පමණක් නොව අනෙක් අය වෙනුවෙනුත් යමක් කරන්න ඕනෑය කියන එකයි’ කියා හෂිඕ හසිවු - චු මහත්මිය කියන්නේ බුදු දහම ගැන එහෙම හරියට තේරුම් නොගත් නිසා විය යුතුය.