ත්‍රස්තවාදීන්ගේ පොඩිම එකා

ත්‍රස්තවාදීන්ගේ පොඩිම එකා

ළමයින්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ වටිනාකම් පිළිබඳ අවධානය යොමු කරන ජාත්‍යන්තර සංවිධාන කොතෙක් තිබුණ ද ළමා සොල්දාදුවන් ගැන ද නිතරම අසන්නට දකින්නට ලැබෙයි. ත්‍රස්තවාදී සංවිධානවල මෙන්ම සිවිල් යුදමය වාතාවරණ තුළ දුක්ඛිත ජීවිත ගත කරන ළමා සොල්දාදුවන් ඉඳහිට ජනමාධ්‍යයට ද නිරාවරණය වෙයි. වයස අවුරුදු දොළහේදී ‘සියෙරා ලියොන්’වලදී ළමා සොල්දාදුවකු වන ඉස්මායෙල් බේ, පසු කලෙක ඔහුගේ ජීවන චරිතාපදානය ‘අ ලෝන්ග් වේ ගෝන්’ නමින් ප්‍රකාශයට පත්කරන ලදී.

එය ලොව බොහෝ දෙනා වේදනාකාරී අත්දැකීමක් ලෙස බෙදාහදා ගත්හ. මේ අයුරින් අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන් වයස අවුරුදු 12-16 වැනි වයස් කාණ්ඩවල දරු දැරියන් පිළිබඳ අසා ඇති කතන්දර බොහෝ ය.

එහෙත් ඉකුත් මාසයේදී බොහෝ දෙනකු කම්පාවට පත්කරන ලද වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබිණි. එහි දක්නට ලැබුණේ වයස අවුරුදු 4 ක් පමණක් වන, පාසල් අධ්‍යාපනයට පවා වයසක් නොමැති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක සිටිය යුතු දරුවකු ඒ.කේ 47 අවියකින් වෙඩිතබන අයුරු ය.

රයිෆලය ඔසවා ගැනීමට තරම් හෝ ශරීර ශක්තියක් නොමැති මේ දරුවා මාර්ග බාධක රඳවනයක ගිනි අවිය තබා ‘අල්ලාහු අක්බාර්’ නාමයෙන් වතාවන් 5ක් වෙඩිතැබීම කෙතරම් ඛේදවාචකයක් ද? නම සඳහන්ව නොතිබුණ ද මොහු ලොව ළාබාලතම සොල්දාදුවා විය නොහැකිද? හෙතෙම සිරියානු සිවිල් යුද ගැටුමේ ‘ජිහාඩ්’ නම් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානය නියෝජනය කරන බැව් වාර්තා විය.

ඉකුත් සතිය වන විට සිරියානු අර්බුදය නිමා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාම සාකච්ඡා ක්‍රියාදාමය අසාර්ථක වීමත් සමඟ කනගාටුදායක ඉරණමකට මුහුණදී සිටින මේ ජිහාඩ් පෝතකයා පිළිබඳ කතා බහ යළි උණුසුම් වී තිබේ.

ඉකුත් ජනවාරි 21 වැනි දින පළමු වරට මේ සිවු හැවිරිදි සොල්දාදු පෝතකයා වෙඩිතබන අයුරු දැක්වෙන වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරිණි. එය අන්තර්ජාලයේ යූ ටියුබ් වෙබ් මාදිලියට නිකුත් කර තිබුණේ ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වන ‘ජිහාඩ්වරුන්’ ට අයත් ඔවුන් විසින් මෙහෙයවනු ලබන යූ ටියුබ් වෙබ් පිටුවකිනි.

‘ඉරාකයේ හා මධ්‍යධරණී නැගෙනහිර පෙදෙස් ඉස්ලාමීය රාජ්‍යයේ පෝතකයකුගෙන් පණිවිඩයක්’යන්නෙන් එකී වීඩියෝව නම් කර තිබිණි. අමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ‘ජිහාඩ් විරෝධී’සංවිධානයක ක්‍රියාකාරිකයකු විසින් එය මුස්ලිම් අන්තවාදීන්ගේ ළමා අපචාර පිළිබඳ එක් නිදසුනක් පමණක් බවට ඒත්තු ගන්වා ප්‍රචාරයක් ගෙනයාමත් සමඟ එම වීඩියෝ දර්ශනය අදාළ වෙබ් පිටුවෙන් ඉවත් කිරීමට ජිහාඩ්වරුන් කටයුතු කර ඇත.

එහෙත් ඒ වන විටත් ඔවුන් ප්‍රමාද වැඩි ය. මන්ද යත් ඒ වන විට අදාළ වීඩියෝවේ පිටපත් තවත් වෙබ් හා නාළිකා ගණනාවක සංසරණය වී තිබීම ය.

මේ වීඩියෝව අන්තර්ජාලයට නිකුත්වීමත් සමඟ ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්කොයිස් ඔලන්දේ කියා සිටියේ සිරියානු සිවිල් යුද්ධයේ ඉස්ලාමීය අන්තවාදීන් සමඟ බ්‍රිතාන්‍ය යේ තරුණ තරුණියන් 700 ක් පමණ සිටින බවයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් විසින් ද එය පිළිගෙන තිබේ. “අපේ රටින් පමණක් තරුණ ප්‍රජාව 600-700 ක පමණ ප්‍රමාණයක් කැරලිකරුවන්ට එක්වී ඇති බවට තොරතුරු තියෙනවා. මේ තත්ත්වය පිළිබඳ වහා අවධානය යොමුවිය යුතුයි” ඩේවිඩ් කැමරන් පවසා ඇත.

සිරියාවේ යුදමය වාතාවරණයට දායකවී සිටින බ්‍රිතාන්‍ය අල්කයිඩා සටන්කාමීන් විසින් එකතු කරනු ලැබූ ඡායාරූප ගණනාවකින් වයස අවුරුදු 9- 15 වයස් කාණ්ඩවල ළමුන් ජිහාඩ් පුහුණු කඳවුරු තුළ යුද පුහුණුව ලබන අයුරු තහවුරු වී තිබේ.

කළු පැහැති රෙදි මුහුණු ආවරණ සහිතව සටන්කාමීන්ගේ නිල ඇඳුම්වලින් හා ආයුධවලින් සන්නද්ධව ඔවුහු පුහුණුව ලබති. ජය ඝෝෂා පවත්වති. ඒ.කේ 47 රයිෆලය මෙන්ම රොකට් අවි, ග්‍රෙනේඩ් විදින, මැෂින් තුවක්කු ආදී බර අවි සහිතව ද ළමුන් පුහුණුව ලබන අයුරු හා පෙනී සිටින අයුරු ඡායාරූපවල දැක්වෙයි.

සිරියාවේ ගැටුම්කාරී තත්ත්වය සමඟ මුසුවී සිටින බ්‍රිතාන්‍ය ජාතික ළමුන් හා තරුණ තරුණියන් හේතුවෙන් නුදුරු අනාගතයේදී බ්‍රිතාන්‍යයට ද අනිටු ඵල විපාකවලට මුහුණදෙන්නට සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍ය ආරක්ෂක තොරතුරු විශ්ලේෂකයින් හා බුද්ධි අංශ විසින් දැනටමත් අනතුරු අඟවා තිබේ.

සිවු හැවිරිදි පෝතක සොල්දාදුවාගේ වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරීමෙන් පසු දිනයේ ත්‍රස්ත විරෝධී සම්බන්ධීකාරක ගිලෙස් ද කර්චෝව් විසින් සමාජජාල මාධ්‍යයට ද අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ මේ මොහොත් එකී සමාජජාල වෙබ් අඩවි විසින් මෙවැනි වීඩියෝ සංසරණය කිරීමෙන් සිරියාවේ කැරලිකරුවන්ට තව තවත් ළමුන් බඳවා ගැනීමට එය රුකුලක් වනු ඇති බවයි.

සිරියාවේ අන්තවාදී සංවිධානය හා සබඳතා පැවැත්වීම සඳහා ඉකුත් මාසය තුළ සිරියාව හා බ්‍රිතාන්‍ය අතර සංක්‍රමණය වෙමින් සිටි 16 දෙනකු අත්අඩංගුවට පත්වී තිබේ. එය 2013 වසරේ වසර පුරාවටම අත්අඩංගුවට පත්වූ 23 දෙනා සමඟ සසඳා බලන විට වැඩි වර්ධනයක් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.

ආන්දෝලනයට තුඩු දුන් වීඩියෝවේ දැක්වෙන සිවු හැවිරිදි දරුවා තාමත් හය හතර නොදත් කිරි සප්පයෙකි. එහෙව් අයකු ‘අල්ලාහු අක්බාර්’ නාමය හඬ නඟා කියමින් පස් වතාවක් වෙඩි තබනු ලබයි. දෙවියන් පිළිබඳ මෙවන් නොදරුවකු කුමක් අවබෝධ කරගෙන ඇත්දැයි අනුමාන කිරීමකටවත් වැඩිහිටියන් අසමත් ය.

ඒ නිසාම ලොව බොහෝ දෙනා අවිවාදයෙන් යුතුව මේ දරුවා කෙරෙහි අනුකම්පා උපදවයි. ප්‍රතිඵලය විය හැක්කේ දෙවියන් පිළිබඳ විශ්වාසයක් තබන බොහෝ පිරිසකගේ අනුකම්පාවේ ගිනි සිළුව දරුවා කෙරෙහි පමණක් නොව දරුවා නියෝජනය කරන ජිහාඩ් සංවිධානය කෙරේ පවා දැල්වීම ය. ව්‍යාප්තවීම ය. සමාජ මාධ්‍ය වෙබ් අඩවි කෙරෙහි එල්ලවන චෝදනා පහසුවෙන් බැහැර කරලිය නොහැක්කේ ඒ නිසා ය.

‘බ්‍රිතාන්‍යයන්ද ඇතුළු යුරෝපීය තරුණ තරුණියන් ගණනාවක් තවදුරටත් සිරියාවට සංක්‍රමණය වීමට උඩගෙඩිදීමක්’ගිලෙස් ද කර්චෝව්ගේ අවධාරණය සර්ව සාධාරණ බැව් ප්‍රත්‍යක්ෂ වුවද, ඊට විකල්පව ගත හැකි ප්‍රායෝගික ක්‍රියා මාර්ගය කුමක්දැයි පැහැදිලි නැත.