සාතන්ගේ ගෙම්බා

සාතන්ගේ ගෙම්බා

ඌ සන්නාහ සන්නද්ධ ව සිටියේය. අඟල් 10 ක් පමණ දිගට වැඩුණේය. සිතන්නට ද බැරි තරමේ සැහැසිකමකින් හැසිරුණේය. පැරැන්නන් ඌට ප්‍රදානය කර තිබූ නම ‘සාතන්ගේ මැඩියා’ විය. ඒ නම, උගේ කල්ක්‍රියාවට මනා ලෙස ගැළපුණේ ය.

දශක දෙකකටත් අධික කාලයක සිට පොසිල විද්‍යාඥයෝ ‘සාතන්ගේ සගයා’ගේ ඇට කැබලිති එක් රැස් කරමින් සිටියහ. අවසානයේ දැන්, වසර මිලියන 70 ක් පැරණි පොසිලයක් ලැබීමෙන් පසු ඔවුන් එළඹ තිබෙන නිගමනය නම්, එදා මෙදාතුර පෘථිවිය මත විසූ වඩාත්ම සාහසික ගෙඹි හෝ මැඩි විශේෂය සාතන්ගේ මැඩියා නොහොත් බීල්සිබෆෝ ඇම්පින්ගා බව ය.

“ඌ විලෝපිකයකු බව අප දැන සිටියා. නමුත් ඌ මේ තරම් දරුණු විලෝපිකයකු යැයි කියා අප දැන සිටියේ නෑ.” එසේ කියන්නේ පර්යේෂණය සඳහා දායක වූ ලන්ඩන් සරසවියේ විද්‍යාඥ සූසන් එවන්ස් ය. ‘බීල්ස්’ යන්න ගී‍්‍රක වදනකි. එහි අරුත සාතන් හෙවත් යක්ෂයා යන්නයි.

‘බෆෝ’ යනු ලතින් බසින් මැඩියා ය. මේ අතර ‘ඇම්පින්ගා’ යනු ලතින් බසින් ‘පලිහ’ යන්නයි. එනම්, සාතන්ගේ මැඩියාගේ සම, දර්ශීය ඇම්ෆීබියානු සමකින් වෙනස්ව පලිහ දරා සිටියි. ඒ පලිහ සැබවින්ම අපිචර්මීය ඵලකයන් ය. ඒවා අඟලක පමණ ගණකමකින් යුතු විය.

උගේ ගොදුරු හෝ ඌ සමඟ සටනට එන සතුරාට ඒවා සමඟ හැප්පීම කොහෙත්ම කළ නොහැකි විය. ඌ සතුරන් සමඟ නොබියව හැප්පුණේය. උන්ට තුවාළ සිදුකළේය. අවසානයේ ගිල දැමුවේය. සතර අතට නෙරා ගිය උදරය, නිරන්තර කුසගින්නකින් හා කෑදර කමකින් පෙළුණේය.

කෘමීන් පමණක් නොව, මීයන් වැනි කුඩා ක්ෂීරපායීන් ද ගිල දැමුවේය. ප්‍රමාණයෙන් කුඩා සර්පයන් පවා ගිල දැමුවේය. මුව තුළ පිහිටි විශේෂ අස්ථි සැලසුම නිසා, කොතරම් පෙරළි කළ ද මුව තුළට ගත් ගොදුර නැවත පිටතට දැමිය නොහැකි විය.

පණ පිටින් ගිල දැමීම මෙන් ම ගොදුරේ හුස්ම හිරවෙන තෙක් සිය තියුණු දත් යොදාගෙන ගෙල සිර කිරීම ද කළේය. දේහ බර රාත්තල් 10 ක් හෙවත් කිලෝ හතර හමාරක් පමණ වීම ද උන්ගේ සැහැසි කම තීව්‍ර කරන්නක් විය.

මේ යක්ෂ මැඩියාගේ චර්යාවන්ගේ දරුණු කම අනුව ඌ බිත්තර වලින් පිටතට එන කුඩා ඩයිනසෝර පැටවුන් පවා බුදින්නට ඇතැයි විශ්වාස කරයි. ඊට අමතරව ස්වජාති භක්ෂණය හෙවත් තමන්ගේ ම ජාතියේ උන් ව ආහාරයට ගැනීම ද උන් අතර දැකගත හැකි විය.

ඒ අනුව වෙනත් විශේෂවල කුඩා ගෙම්බන් හා මැඩියන් ගිල දැමීම සිදුවිය. පිරිමි සතුන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වූ ගැහැනු සතුන්, සංසර්ගයෙන් පසු පිරිමි සතුන් ව ගිල දමන්නට ඇති බව ද චර්යා විද්‍යාඥයෝ පවසති.

සාතන්ගේ මැඩියාගේ සම, දඩයමට අමතරව ඌට තවත් ආකාරයක මෙහෙයක් කරන්නට ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි. එනම්, එම රළු ඵලක, වියළි සමයේ පොළොව තුළ සීතල බිල සෑරීමට ඌට උදව් කරන්නට ඇත. කෙසේ වෙතත් ක්‍රිටේසීය යුගයේ සම්භවය වූ මේ ජීවියා, ඩයිනසෝරයන් සමඟම මිහිමත සැරිසරා උන් වඳ වී යන විට ම සිය පරිණාම කතාව අවසන් කළේය.

සාතන්ගේ මැඩියාට පෙනුමෙන් හෝ සමාන කම් දක්වන මැඩි විශේෂ අද ද සිටිති. එයින් එක් විශේෂයක් නම් අපි‍්‍රකානු බුල්ෆ්රොග් ය. ඌ ද පෙනුමෙන් පාපන්දුවක් මෙනි. සෙන්ටිමීටර 25 ක් වත් විශාල වෙයි. එහෙත් සාමාන්‍ය මැඩියෙක් හෝ ගෙම්බෙක් ඌ අබියස සිටියදී අඟුටු මිට්ටකුට වැනි ය.

දකුණු අමෙරිකානු වැසි වනාන්තරවල ජීවත් වන ‘පැක් මෑන්’ ලෙස හඳුන්වන ගෙඹි විශේෂය ද සාතන්ගේ මැඩියාගේ ඥාතීන් ය. නිතර විවර කරගෙන සිටින විසල් මුව නිසා උන්ට ඒ නම ලැබී තිබේ. ඊට අමතරව මේ ඥාතියාගේ හිස මුදුනේ කුඩා අං සිහි ගන්වන කණ්ටක ද තිබේ. එනිසා ‘අං ගෙම්බන්’ ලෙස ද හඳුන්වයි.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සාතන්ගේ මැඩියාගේ ද මේ ආකාරයේ කණ්ටක තිබෙන්නට ඇති බව ය. මේ වන විට උගේ පොසිල සාක්ෂි රැස්කර ගැනීම සිදුකරන්නේ මැඩගස්කරයේ මහජන්ගා ද්‍රෝණිය ආශි‍්‍රත ප්‍රදේශයෙනි. එහෙත් මැඩගස්කරයේ අද වෙසෙන උගේ ඥාතීන්ට සාපේක්ෂව සාතන්ගේ මැඩියා පරිසමාප්ත යෝධයකු විය.

කුඩා දෙයටත් වහා කුපිත වන අති කලහකාරියකු ද විය. කෙසේ නමුත් උන්ගේ මැඩගස්කර් වාසිකත්වය ද ජීව විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවකි. සාතන්ගේ මැඩියා ඩයිනසෝරයන් සමඟ ම දකුණු අමෙරිකාවේ සැරිසැරූ බව මීට පෙර පැවසුවෙමු.

එසේ නම් උන් පසුකාලීන ව ලෝකයෙන් බාගයක් දුර ගෙවා මැඩගස්කර් දූපත වෙත පැමිණියේ කෙසේද? මෙය පැහැදිලි කිරීම සඳහා යොදාගන්නේ දුරාතීතයේ මුළු පෘථිවි තලයම එකම ගොඩබිමක් ව පැවත, පසුව බිඳීයන්නට ඇත යන කල්පිතයයි.

එම තනි ගොඩබිම ‘ගොන්ඩ්වානාලන්තය’ විය. අදට වසර මිලියන 160කට පෙර එම සුපිරි මහාද්වීපය කැබලි වලට බිඳී යන විට මැඩගස්කරය අපි‍්‍රකාවෙන් වෙන් වූ බවත් ඉන්පසු වසර මිලියන 88 කට පෙර මැඩගස්කරය ඉන්දියාවෙන් වෙන් වූ බවත් විශ්වාස කෙරෙයි. මේ අනුව මැඩගස්කරය හුදෙකලා දූවක් බවට පත්විය. ඒ වන විටත් එහි විසූ සාතන්ගේ මැඩියෝ, සිය අනන්‍යතාව රැක ගනිමින් සිය සාතන් ගති සමඟ හුදෙකලා ගමනාන්තයක් වෙත ඇදී ගියහ.