බොලීවියාවේ ළමා අභියෝගය

බොලීවියාවේ ළමා අභියෝගය

කලකට ඉහතදී බොලීවියාව ලොව ප්‍රසිද්ධියට පත්වූයේ විමුක්ති අරගලවල ඉතිහාසයේ යම් මතක සටහන් ඉතිරි කර තැබීමෙනි. විශේෂයෙන්ම, සී.අයි.ඒ සංවිධානයේ උපදෙස් හා මඟපෙන්වීම් මත බොලීවියානු රජයේ හමුදා විසින් කළ වැටලීමකදී ලොව විමුක්තිකාමීන් පූජනීයත්වයෙන් සලකන අර්නස්ටෝ චේ ගුවේරා වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වන්නේ ද එහිදී ය. චේ,1967 ඔක්තෝම්බර් මාසය දක්වා බොලීවියානු හමුදා ආඥාදායකත්වයට එරෙහිව ගරිල්ලා මෙහෙයුමක නායකත්වය ගෙන කටයුතු කරමින් සිටියේය.

චේගේ බොලීවියානු අත්දැකීම් පසු කලෙක “බොලීවියානු දිනපොත”නමින් ප්‍රකාශයට පත්විය. මේ අනුව බොලීවියාව, ලොව සටන්කාමී තරුණ තරුණියන්ට උත්තේජනයක් වූ තරමටම එරට තරුණ තරුණියන් ද සටන්කාමීත්වයෙන් ඔද වැඩී සිටියහ.

මේ දිනවල ද බොලීවියාව යළි ලෝකයේ ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත්ව තිබේ. එහෙත් ඒ විමුක්තිකාමී අරගල හෝ රතු දේශපාලනයේ පරමාදර්ශයක් ලෙස නොවේ. ලොව පිළිගත් සමාජ සම්මුතීන්ට එරෙහිව කුඩා ළමුන්ට රැකියා කිරීමේ අයිතිය ඉල්ලා කෙරෙන උද්ඝෝෂණ හේතුවෙනි. බොලීවියානු දරු දැරියන් මේ විරෝධතා ව්‍යාපාර හේතුවෙන් එරට පොලිසිය හා ආරක්ෂක අංශ සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇතිකරගන්නා තත්ත්වයක් උදාවී තිබේ.

මිලියන එකොළහකට ආසන්න බොලීවියානු ජනගහනයෙන් අට ලක්ෂ පනස් දහසක් දෙනා ළමා ශ්‍රමිකයන් බැව් ඇස්තමේන්තු ගත දත්ත මගින් තහවුරු වී ඇත. එහෙත්, ඉකුත් දෙසැම්බරයේදී බොලීවියානු රජය විසින් ළමා ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වන රජයේ ප්‍රතිපත්තිය යම් වෙනසකට ලක්කිරීම සඳහා උත්සාහ ගන්නා ලදී.

ඒ අනුව රැකියා කළ හැකි නීත්‍යානුකූල වයස අවුරුදු 14 දක්වා වැඩි කිරීමට බොලීවියානු රජය පනත් කෙටුම්පතක් සකස් කරන ලදී. ඊට එරෙහිව වීදි බසින ලද දස දහස් ගණන් ළමා ශ්‍රමිකයෝ බොලීවියානු අගනගරය වන ලා පාඛස් හි පිහිටි ජනාධිපති මන්දිරය දක්වා විරෝධතා පා ගමනින් පැමිණියහ.

මෙසේ බොලීවියානු දරු දැරියන්ට රැකියා කිරීම සඳහා අයිතිය ඉල්ලා සිටීමට සිදුව ඇත්තේ මන්ද යන කාරණය කෙරෙහි බොහෝ දෙනකු නිසි අවධානය යොමු නොකරයි. ඒ නිසාම ගැටලුව පිළිබඳ ගැඹුරින් වටහා ගැනීමට උත්සුක වන්නන් ඒ පිළිබඳ වඩාත් සංවේදි ය. දෛනික පාසල් කාල වේලාවෙන් පසුව වඩා ආරක්ෂිත පරිසරයක, වයසට සරිලන නිශ්චිත කාල රාමුවක් තුළ රැකියාවක් කිරීමට මේ දරු දැරියන්ට අවස්ථාව සලසා දිය යුතු බව ඔවුන් පෙන්වාදෙයි.

පහළොස් හැවිරිදි ළමා ශ්‍රමික දැරියක වන වලේරියා නිනහුන්කා තමාට විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට අවශ්‍ය බවත්, ඒ පිළිබඳ තමාට කිසිදු සැකයක් නැති බවත් පවසයි.

“ඒ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට නම් මං රස්සාවක් කළ යුතු වෙනවා. මොකද සල්ලි නැතුව මට එතෙන්ට යන්න බෑ. වැඩිදුර අධ්‍යාපනයට විශාල මුදලක් ඕන වෙනවා” ඇය වැඩිදුරටත් අවධාරණය කරයි.

බොලීවියානු කම්කරු අමාත්‍යංශය ඇස්තමේන්තු කර ඇති අන්දමට මේ වන විට ළමුන් 30,000 ක් පමණ පාසල් නොගොස් අධ්‍යාපනයට සදාකාලිකව තිත තබා සුළු රැකියාවල නිරතවෙති. සපත්තු ඔප දැමීම, බස් රථවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, පුද්ගලික ආරක්ෂක සේවය, සීනි කෑන් කැපීම, මෙන්ම මත්පැන් හා සිගරට් අලෙවි කිරීම ආදී රැකියාවල ඔවුහු නිරත වෙති.

බොලීවියාවේ ලා පාඛස්හි චඔටික් වීදියේ වර්ණ සංඥා අබියස රථ වාහන තදබදයේ කාලය ගෙවන ඕනෑම අයකුට අවුරුදු 6-7 වයස් කාණ්ඩවල දරුවන් චුයින්ගම්, ටොෆි ආදී රසකැවිලි විකුණනු දැකිය හැකි ය. එය සුලබ දසුනකි.

ශිෂ්ට සම්පන්න රටක දරුවන් සම්බන්ධයෙන් පැවතිය යුතු අවධානය මෙන්ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ගයක් ලෙස මේ නව නීතිය ස්ථාපිත කිරීමට රජය පියවර ගන්නා බව පෙන්වාදී ඇත.

එහෙත් එකී නීතිය තහවුරු කොට දරුවන්ට ආරක්ෂාව සැලසීමට රජය අපොහොසත්වී සිටියි. ඊට හේතුව හුදෙක් ළමා ශ්‍රමිකයන්ගේ විරෝධතා පමණක් නොව එකී විරෝධතාවන්ට පදනම් වී ඇති සමාජ-දේශපාලනික-ආර්ථික-සංස්කෘතික සාධක නොතකා තීන්දු තීරණ ගැනීමට නොහැකිවීමයි.

එරට නියෝජ්‍ය විපක්ෂ නායක, එලිසබෙත් රෙයේස් මෙසේ පවසයි.

“දරුවෙක් තනිවම මහ පාරේ සපත්තු ඔප දමමින් හෝ රස කැවිලි විකුණමින් සිටීම, ලිංගික අපචාරවල සිට විවිධ හිංසා පීඩාවන්ට ලක්වීමට පහසු මගක්. නමුත් මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රියා මාර්ගයක් ගැනීමට බොලීවියාවට සම්පත් හෝ ආයතන නෑ. ඉතාමත් සරලව කියනවානම් අපි ළමා ශ්‍රමිකයන් අනුමත නොකළ යුතුයි.”

නියෝජ්‍ය විපක්ෂ නායකවරිය එසේ පැවසුව ද දශක ගණනාවක් තිස්සේ දිග්ගැසී පවත්නා එරට සමාජ-සංස්කෘතිය ශරීරයේ ඇටමිදුළු තුළට තදින් කාවැදී ඇති ගැටලුවක් විසඳීම සරල විය නොහැකිය. එරට ළමා ශ්‍රමිකයන් බොහොමයක් අහම්බයෙන් හෝ ස්වකැමැත්තෙන් රැකියාවල නිරතවනවාට වඩා සිදුවන්නේ ඔවුන්ට එලෙස ක්‍රියා කිරීම හැර අන් විකල්පයක් නොමැති වීමයි.

රොඩ්‍රිගෝ මෙඩර්නෝ එවැනි ළමා ශ්‍රමිකයෙකි. හෙතෙම රැකියාවක් කිරීම ආරම්භ කරන ලද්දේ ඔහුට වයස අවුරුදු අට සම්පූර්ණවීමත් සමඟ ම ය. එදා මෙදාතුර කාලය තුළ හෙතෙම විවිධ රැකියා ගණනාවක් කර තිබේ.

මේවන විට මෙඩර්නෝ, අවන්හල් හා සමාජශාලා පිටත වීදියේ චුයින්ගම් හා රසකැවිලි අලෙවි කරමින් සිටියි. එහෙත් ඒ සති අන්තවල සන්ධ්‍යා කාලයේ ය. ඔහුගේ දකුණු කම්මුල වෙළුම් පටියකින් වෙළා තිබේ. “රාජකාරි අනතුරක්” ඔහු ඒ පිළිබඳ වැඩිදුර විස්තරයක් කතා කිරීමට කැමැත්තක් නොදක්වයි.

“සමහරවිට වගකිවයුත්තන් ද ඇතුළුව බොහෝ දෙනෙක් අපට සලකන්නෙ වෙනස් විදිහටයි. ගෙදර නිදාගන්නෙ නැතුව පාරට වෙලා මොකද කරන්නෙ කියලා පොලිසිය ඇවිත් අහනවා. මගේ අතේ තියෙන සල්ලි ටික ඔක්කොම එයාල අරගෙන මං අපරාධකාරයෙක් කියලා කියනවා” හෙතෙම තම අත්දැකීම් කතා කරන්නේ දැඩි වේදනාවෙනි.

බොලීවියාව යනු දකුණු අමෙරිකාවේ දිළිඳුම රටවලින් එකකි. ඈත පිටිසර බාරෙන් කඳුවලින් නගරයට පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිස් නගරයේ ඉතා සීමිත ඉඩකඩවල ඇහිරෙමින් සිටියි. විශේෂයෙන්ම එල් අල්ටෝ ප්‍රදේශයේ මේ අයුරින් නගරයට සංක්‍රමණය වූ බොලීවියානු දිළින්දන් බොහෝ විසිරී පැතිරී සිටියි.

එවෝ මොරාලස් ජනාධිපතිවරයා ඈත පිටිසර බොලීවියාවේ ඉතා දිළිඳු මවුපියන්ට දාව උපන් එරට බලයට පත්වූ පළමු ස්වදේශික නායකයායි. 2006 දී රටේ නායකත්වයට පත්වූ ඔහු ද කුඩා කල ළමා ශ්‍රමිකයකුව සිටි අයෙකි. ඒ නිසාමදෝ ඔහුට ශක්තිමත් ස්වදේශික ජනපදනමක් පවතින බැව් අවිවාදිත ය.

මේවන විට බොලීවියානු දරු දැරියන්ට වෙනදාට වඩා ශක්තිමක් හඬක් නඟමින් සිටියි. ඔවුන්ගේ සැබෑ තත්ත්වය හඳුනා ගන්නට හා පිළියම් යෙදීමට වත්මන් ජනාධිපතිවරයා හැර වෙනත් කිසිවකු සිටිය නොහැකි ය. කලෙක පවත්නා අර්බුදයේ අවාසනාවන්ත ගොදුරක්ව සිටි ඔහු ළමා ශ්‍රමිකයන්ගේ ගැටලුව විසඳීමට හැකි සෑම උත්සාහයක්ම ගනු ඇති බව ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාස කරයි.

යුරෝපයේ හා උතුරු අමෙරිකාවේ බොහෝ දෙනා ලතින් අමෙරිකානු කලාපයේ කර්මාන්ත ශාලාවල නිපැයුම් මිලට ගැනීම පිළිබඳ දෙවරක් සිතා බැලීමක් සිදුකරයි. පැය 12 ක වැඩමුර ක්‍රමයට සූරා කන “ළමා ශ්‍රමය” පිළිබඳ ඔවුන් සංවේදිවීම හෙවත් දැනෙන වරදකාරී හැඟීම ඊට හේතුවයි.

එහෙත් බොලීවියාවේ තත්ත්වය ඊට තරමක් වෙනස් ය. එහි දරු දැරියන් බොහෝ දෙනා වෙහෙස මහන්සි වෙන්නේ ග්‍රාමීය ආර්ථික තලයේ සුළු රැකියාවන් සඳහා හෝ තමන්ගේ පවුලේ ස්වයං රැකියා සඳහා ය. එය කිසිසේත්ම සම්භාව්‍ය අර්ථයෙන් “ළමා ශ්‍රමය සූරා කෑමක්” ලෙස අර්ථ දැක්විය නොහැකි බව තවත් පිරිසකගේ අදහස ය.

එහෙත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව “මෙයින් කෝක වුවත් ළමා ශ්‍රමය යන්නෙහි පදනම වන්නේ ඔවුන්ගේ වයස් සීමාවයි. වැඩ කරන පැය ගණන, රාජකාරී ආකෘතිය, භූමිකාව ඒ ඒ රටවල තත්ත්වයන්ට අනුරූප විය හැකියි.” එබැවින් බොලීවියාවට වුවද එකී නිරීක්ෂණයෙන් පහසුවෙන් බැහැර විය නොහැකි ය.

එහෙත් බොලීවියාව මෙම අභියෝගය කෙසේ ජයගනී ද ?යන පැනයට ලැබෙන පිළිතුර බොලීවියාවට පමණක් නොව මුළු මහත් ලතින් අමෙරිකානු කලාපයටම වැදගත්ය.