වොඩ්කා හෙවත් මරුවා සමඟ වාසේ

වොඩ්කා හෙවත් මරුවා සමඟ වාසේ

ඔබේ පරම සතුරා හට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද? ලොව අන් රටවල මෙන් නොව, රුසියානුවන් තම පරම සතුරා හට ප්‍රතිචාර දක්වන්නේ අමුතුම ආකාරයට ය.

“වොඩ්කා, අපේ පරම හතුරායි. අපි එයින් ඇති තරම් පදම් වී සැනසෙමු.” ආප්තෝපදේශයට අනුව යමින්, රුසියානු පිරිමි සතුරා නැසීමේ කාර්යයට උර දෙති. එහෙත්, මෙකී කර්තව්‍ය තුළ, ඔවුන් කර ගන්නේ පර පණ නැසීම නොව, සියදිවි නසා ගැනීමකි. නවතම සමීක්‍ෂණ වාර්තාවකට අනුව, සෑම රුසියානු පිරිමින් හතරදෙනකුගෙන් එක් අයකු, අධික මත්පැන් පානය නිසා, වයස අවුරුදු 55ට පෙර මිය යන බව අනාවරණය වී තිබේ.

‘ලැන්සෙට්’ ජාත්‍යන්තර සඟරාව කළ ඉහත අනාවරණයට අනුව, රුසියාවේ පිරිමින්ගෙන් 25%ක ප්‍රතිශතයක් වයස අවුරුදු 55ට පෙර, මත්පැන්වලට ලොල්වීම නිසා ජීවිත හැර යන බව සඳහන් වේ. එක්සත් රාජධානියේ මේ අවදානම පවතින්නේ 7%ක ප්‍රතිශතයක යි.

අක්මාවේ ආසාදන, මත්පැන් විෂවීම් බොහෝ මරණවලට හේතුන් ය. ඇතැම්හු මත්පැන් පානය නිසා කරගන්නා රිය අනතුරුවලින්, ඒ හරහා ඇති කරගන්නා ආරවුල්, කලබැගෑනි හේතුවෙන් ජීවිතක්‍ෂයට පත් වෙති.

මෙතෙක් මත්පැන් සම්බන්ධව රුසියාව කේන්ද්‍ර කර ගනිමින් කළ දැවැන්තම සමීක්‍ෂණය මෙයයි. මොස්කව් හි පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානය, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ඒජන්සිය යන ආයතනයන් හි සහයෝගිතාවෙන් සමීක්‍ෂණය සිදු කෙරිණි.

රුසියාවේ බාර්නාවූල්, බික්ස්, ටොම්ස්ක් නගර තුනෙහි මත්පැන් වලට ලොල් වූ 151,000 කගේ මත්පැන් පානීය රටා විමසිල්ලට ගනිමින් සමීක්‍ෂණ වාර්තාව සකස් වී ඇත. 1999 ත් 2010 ත් අතර, කාලසිමාව තුළ මෙකී සමීක්‍ෂණය ක්‍රියාත්මක වන කාලයේ 8000ක් දෙනා, මත්පැන් පානයේ අහිතකර විපාකවලට ජීවිතයෙන් වන්දි ගෙවූ බව වාර්තා වෙයි.

රුසියාවේ නිල සංඛ්‍යා ලේ්ඛන අනුව, එරට මත්පැන්වලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව මිලියන 5 කි. මේ අතරින් ප්‍රතිශතයක් ලෙස 31%ක පිරිසක් පානය කරන්නේ වොඩ්කා යි. බීර, අරක්කු, වයින් හා සැසදිමේ දී වොඩ්කා මිලෙන් අඩු ය.

ග්‍රාමීය ප්‍රදේශවල මේවා සුලබව නිෂ්පාදනය වේ. ලීටර භාගයක වොඩ්කා බෝතලයක් රූබල් 180 කට (ඩොලර් 5යි) මිලදී ගතහැකි ය. මාසිකව රූබල් 21,193 ක (ඩොලර් 698) ඒක පුද්ගල ආදායමක් උපයන්නකුට එය එතරම් දෙයක් ද නොවේ.

“රුසියානුවන් කවදත් මත්පැන් පානයෙහි සූරයන්. මත්පැන්වලට අධිකව ලොල්වීම එයාලා අර්ථ දක්වන්නේ සීත උහුලගන්න බැරි හින්දා, ඒකට පිළියමක් විදියට මත්පැන් පානය කරනවා කියලයි. ඒත් ඒක වාසියට හදාගත්ත හේතුවක් විතරයි. අපේ සමීක්‍ෂණයෙන් කළ අනාවරණයෙන් එයාලගෙ ඇඟ සීතල වෙලා යන එක නම් නිසැකයි.” රුසියානු පිළිකා පර්යේ්ෂණ මධ්‍යස්ථානයේ, ආචාර්ය ඩේවිඩ් සැරිඩ් සේ කියා සිටියේ ය.

‘වොඩ්කා’ පානය, රුසියානු පිරිමියකුගේ ආත්මාභිමානය බබළවන්නේ යැයි ඔවුන් තුළ දැඩි විශ්වාසයක් පවතී. එක හුස්මට වතුර වීදුරුවක් බීගෙන යන්නා සේ ‘වොඩ්කා’ ඔවුන් පානය කරන්නේ අඩි (ෂොට්) වශයෙනි. ‘අච්චාරු’ (බයිට් එක) සමඟ සතියකට වොඩ්කා ලීටර භාගයේ බෝතල් 3ක් හෝ ඊට වැඩියෙන් පානය කරන බොනපාට්ලා, ප්‍රතිශතයක් ලෙස 35% ක් බවත් සමීක්‍ෂණයෙන් හෙළි කරයි.

රුසියානු පිරිමියකුගේ ආයු අපේක්‍ෂා කාලය අවුරුදු 64 කි. මේ සමඟ ලොව පිරිමින්ගේ ආයු අපේක්‍ෂාව එකී කාණ්ඩයෙන් අවම මට්ටමක පවතින රටවල් 50 අතරට රුසියාව අයත් ය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ, සර් රිචඩ් පෙටෝට අනුව, වැඩිහිටි රුසියානු පිරිමියකු වාර්ෂිකව වොඩ්කා ලීටර 20 ක් පානය කරයි. මේ හා සැසදීමේ දී බ්‍රිතාන්‍යයේ පිරිමියකු වාර්ෂිකව පානය කරන්නේ ස්පී‍්‍රතු ලීටර 3 කි.

“යුරෝපයේ අන් රටවල් හා සන්සන්දනය කරද්දී, රුසියානු පිරිමින් අකාලයේ මිය යන අවදානම හුඟක් ඉහළ මට්ටමක යි පවතින්නෙ. මේක කිසිසේත්ම ඉවත දැමිය නොහැකි කාරණයක්” සර් රිචඩ් පෙටෝ ප්‍රකාශ කළේය.

වොඩ්කා සම්බන්ධයෙන් සඳහන් කළ හැකි භයානකම කරුණ, ලාගර් මෙන් නොව එහි අඩංගු එතනෝල් තරමක ඉහළ අගයක් ගැනීම බව පෙටෝ වැඩිදුරටත් කීය.

“ඔබ නියම පිරිමියෙක් නම්, ඇති තරම් මත්පැන් පානය කිරීමේ සමතකු විය යුතුයි, යන්න රුසියානු සංස්කෘතිය තුළ මුල් බැස ගත් මතය, වෙනස් කරන්න කාලය ඇවිත්” සර් පෙටෝ, රුසියාවේ තිතට මත පිළිවෙතට තිත තැබීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරවයි.

ගෙවුණු වසර 30 ක කාලය තුළ රුසියානු මරණ අනුපාතයේ සැලකිය යුතු වෙනස්කම්, රැසක් සිදුව තිබේ. 1985 දී සෝවියට් නායක, මිඛායෙල් ගොර්බචොව් වොඩ්කා නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධයෙන් සීමා පැනවීය. සැබැවින් ම මේ කාලසීමාව තුළ, රටේ මත්පැන් පානය හතරෙන් එකක මට්ටමක් දක්වා පහත වැටිණ. මරණ අනුපාතයේ ද සැලකිය යුතු අඩුවීමක් සිදු විය. වොඩ්කා නිෂ්පාදනය 25% කින් අඩුවිය.

නමුත්, කොමියුනිස්ට් පාලනයේ බිඳවැටීමත් සමඟ, නැවතත් පිරිමින් සුපුරුදු ජීවන රටාවට හුරු වූහ. “ජනාධිපති ගොර්බචොව්ගේ අනුප්‍රාප්තිකයා බවට පත්වූ බොරිස් යෙල්ට්සින් ගේ පාලනයෙන්, මත්පැන් නිසා සිදුවූ මරණ දෙගුණයකින් ඉහළ ගියා. වත්මන් ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් 2006 දී මත්පැන් සම්බන්ධව දැඩි සිමා සිදු කළා” රුසියානු පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය ඩේවිඩ් සැරිඩ්ස් සිහිපත් කළේ ය.

2011 දී නැවතත් මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් දැඩි සිමා පැනවීමක් සිදු වූ අතර, 2012 දී මත්පැන් පිළිබඳ රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාල හා දැන්වීම් ආශි‍්‍රත ප්‍රචාරණය සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.

පාවිච්චියක් තිබුණ ද, නොතිබුණ ද, රුසියානු පිරිමින්ගෙන් බහුතරයකගේ නිවෙස් තුළ. වොඩ්කා බෝතලයක් අනිවාර්යයෙන් තිබෙන බව සමික්‍ෂණයෙන් හෙළිව තිබේ. ඔවුන්ගේ සතුටු සාමිචි, පි‍්‍රය සම්භාෂණවලට වොඩ්කා නැතිවම බැරිය.

මේ සාදවලදී, ඔවුන් අමුත්තන් වෙත පොඩි වොඩ්කා අඩියක් පිළිගැන්වූ අවස්ථාවක, අමුත්තා යම් හෙයකින් එය පානය කිරීම ප්‍රතික්ෂේප කළහොත්, රුසියානුවා දැඩිව කෝපයට පත්වෙන බව කියමනක් පවතී.

නමුත් මෙහි සත්‍ය අසත්‍යභාවය හරි හැටි පැහැදිලි නැත. එක දෙයක් පැහැදිලි ය. වොඩ්කා මතින් සූර් වී සදහටම සැනසෙනවා ද? නිරෝගී බව උතුම්ම ලාබය යැයි සිතා, සැනසෙනවා දැයි? කල්පනා කිරීමට රුසියාවේ නියම පිරිමින් හට කාලය එළඹ ඇති බවයි.