වඩාත් අහිතකර ගංජාද? මත්පැන්ද? බාමාගෙන් අහමු

වඩාත් අහිතකර ගංජාද? මත්පැන්ද? බාමාගෙන් අහමු

පැරණි ප්‍රශ්නයක් නව සංදර්භයක යළිත් කරළියට පැමිණ තිබේ. එය නම් ශරීර සෞඛ්‍යට වඩාත් අහිතකර වන්නේ මත්පැන් ද, එසේත් නැතිනම් ගංජා නම් මත් ද්‍රව්‍යය ද, යන්නයි? අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා, පසුගියදා “ද නිව්යෝක්” සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පැවසූ දෙයක් මෙහිලා වඩාත් ආන්දෝලනයට තුඩු දී තිබේ.

“වඩාත් විස්තර සහිතව කියනවානම් මමත් පුංචි කාලෙ ගංජා පානය කරලා තියෙනවා. මං පිළිගන්නවා, ඒක නරක පුරුද්දක් වගේම දුසිරිතක්. යොවුන් වයසේ සිගරට් පාවිච්චි කිරීම එක්ක සසඳද්දිත් ඒකෙ ලොකු වෙනසක් නෑ. ඒත් මත්පැන්වලට වඩා ගංජා භයානක යයි මං හිතන්නේ නෑ” ඔබාමා ස්වකීය සම්මුඛ සාකච්ඡාව අතරතුරදී පවසා තිබේ.

මේ දෙවර්ගයම මත් ද්‍රව්‍යයන් ය. දෙවර්ගයම බොහෝ දෙනකු විසින් භාවිත කරනු ලබන්නේ යම් තෘප්තියක් සෙවීම සඳහා ය. දීර්ඝ කාලීන වශයෙන් ශරීර සෞඛ්‍යයට අහිතකර ප්‍රතිවිපාක අත්කර දෙන ගංජා සහ මත්පැන් සංසන්දනය කර වඩාත් භයානක දේ කුමක්ද යන්න තීරණය කිරීම බෙහෙවින් අසීරුවී තිබේ.

ඊට හේතුවී ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණවල පවා පවත්නා යම් යම් වෙනස්කම් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. එක්සත් ජනපදයේ ව්‍යාධි පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව වසරකට මත්පැන් භාවිතය හා එය හේතුසාධක වන රෝගාබාධ හේතුවෙන් එරට වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 88,000 කි.

2012 පෙබරවාරි මාසයේ පළ කළ ‘ජර්නල් නේචර්“16 වැනි කලාපයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති විශ්ෂඥයකු තර්ක කරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත්වී ගෝලීය වශයෙන් මත්පැන් නියාමනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

මත්පැන් භාවිතයෙන් ලොව පුරා ජීවිතවලට විනාශය සුළුපටු නොවන බව ඔහුගේ අදහසයි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඩේවි ශිඩාර් පවසා සිටියේ මත්පැන් හේතුවෙන් වාර්ෂිකව මිලියන 2.5 ට වඩා මරණ සංඛ්‍යාවක් සිදුවන බවයි. එය ඒඩ්ස්, මැලේරියා, ක්ෂය රෝගයෙන් ජීවිතක්ෂයට පත්වන සංඛ්‍යාවට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා බව ඇය පෙන්වා දෙයි.

බියර්, වයින්, ස්ප්‍රීතු වැනි වැඩි ඇල්කොහොල් ප්‍රතිශතයක් අඩු (10%) මත්පැන් විශේෂ මෙන්ම ඇල්කොහොල් වැඩි ප්‍රතිශතයක් ඇති මත්පැන් ද භේදයකින් තොරව අඩු වැඩි වශයෙන් සෞඛ්‍යයට හිතකර නොවන බැව් පොදු පිළිගැනීම ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව අමෙරිකානුවකු වසරකට මත්පැන් බෝතල් 94 ක් පමණ භාවිත කරයි.

සුළු වශයෙන් මත් පැන් භාවිත කිරීමෙන් රුධිර පීඩනය අඩුවීම ආදී ශරීර සෞඛ්‍යයට වාසි සහගත දේද වැඩියෙන් පානය කිරීමෙන් එහි ප්‍රතිවිරුද්ධ දේද සිදුවේ. ධමනිවල මේද තැන්පත්වීම තුරන් කිරීමට, රුධිරය කැටි ගැසීමට ඇති නැමියාව අවම කිරීම ආදී වශයෙන් මත්පැන් භාවිතයෙන් වාසි සහගත තත්ත්ව පවතින බව වෛද්‍ය සෑම් සකාරි පවසයි.

ඇය ඇල්කොහොල් අපහරණය කිරීමේ ජාතික ආයතනයේ ‘පරිවෘත්තික හා සෞඛ්‍ය බලපෑම් අංශයේ’ අධ්‍යක්ෂවරියයි. මත්පැන් විසින් හෘදයාබාධ, අඝාතමය තත්ත්ව පිළිබඳ අවදානම අවම කරයි. අවුළුවන සුලු ධමනි විසින් හෘදයට රුධිරය මාර්ග අවහිර කරනු ලබයි.

එසේම එහිදී අවශ්‍ය පරිදි හෘදයට ඔක්සිජන් නොලැබෙයි. බොහෝ විට හෘදයාබාධ වලට හේතුවන්නේ මෙවැනි තත්ත්වයකි. ඒ අනුව මත්පැන් භාවිතයෙන් සුමට ලෙස රුධිර වහනයට ධෛර්යය සැපයෙන බවත් හෘදයාබාධ අවදානම අඩු කරන බවත් පැහැදිලි ය.

මත්පැන් භාවිතයෙන් වහා සිදුවන අනිසි බලපෑම නම් විජලනයයි. ශරීරයේ ජලය වහා වියළන තත්ත්වයක් උද්ගත වන බැවින් ද, මත්පැන් පානය කළවුන්ට නිතර මුත්‍රා කිරීමට සිදුවන බැවින් ජල මට්ටම අඩුවීමක් දක්නට ලැබෙයි. එය දැඩි වුවහොත් විජලන තත්ත්වය උග්‍රවී රෝගාතුරවිය හැකිය. එහෙත් මත්පැන් භාවිත කරන්නන් වැඩි සමාජශීලි බවක් පෙන්නුම් කරයි. එයින් සමාජ අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කරන බව සකාරි පෙන්වා දෙයි.

“ගොඩාක් අය හිතාගෙන ඉන්නෙ මත්පැන් භාවිතයෙන් මනස විකෘති වෙමින් පුද්ගලයො වෙනස් වෙනවා කියලා. ඒක පුද්ගලයන් අනුව වෙනස් වෙනවා”වෛද්‍ය රොබ්ටර් ගිෂ් පවසයි. ඔහු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට අනුබද්ධ සැන් දියාගෝ වෛද්‍ය විද්‍යාලයේ සේවය කරයි. මත්පැන් භාවිතයේ සාධනීය දේ උකහා ගැනීමට හැකියාවක් ඇතත් එය මුළුමනින්ම පුද්ගල ස්වරූපය, දෛනික ක්‍රියාකාරකම් හා මත්පැන් විශේෂය මත පදනම් වන බව ගිෂ් අවධාරණය කරයි.

“මත් පැන් පානයක්, පානයක් විදිහට.” ඔහු තහවුරු කරයි. එහෙත් පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම, බොහෝ දෙනා දන්නා පරිදි රෝගාබාධ ගණනාවකට හේතුවේ. විශේෂයෙන්ම අක්මාව ඉරිතැළීමට ලක්වීම හා විනාශවීම එහි භයංකරම අත්දැකීමකි. එය කෙටිකාලීනව අත්දැකිය හැකි තත්ත්වයක් නොවන නිසා බොහෝ දෙනකුට තමන්ගේ අක්මාව විනාශ වී ඇති බව දැන ගැනීමට ලැබෙන්නේ බොහෝ කල් ඉකුත්වීමෙන් පසුව ය. එවිට එය පාලනය කිරීමට හෝ ඇතැම්විට ඖෂධ මගින් සුව කිරීමට නොහැකි තරම් ය. මීට අමතරව දියවැඩියාව, උදරාබාධ, වකුගඩු දියවීම්, ස්නායු රෝග ගණනාවකට මත්පැන් පානය හේතුවේ.

ගංජා, දුම්වැටියක් ලෙස සකස් කර භාවිත කිරීම හැරුණු විට එය ආහාර සමග මුසු කොට ආහාරයට ගැනීමත්, තේ හෝ කෝපි වැනි පානයක් සමඟ මුසු කොට පානය කිරීමත් දැකිය හැකිය. ඒ කුමන ආකාරයට භාවිතයට ගන්නා ලද නමුත් මිනිත්තු 30-60 ත් අතර කාලයක් තුළ එහි මානසික බලපෑමක් අත්විඳීය හැකි ය.

මානසික ක්‍රියාකාරී ටෙට්‍රාහයිඩ්‍රොකැනාබිනෝල් රසායනය හෙවත් ටී.එච්.සී රුධිරය තුළට මුසුවී පළමුව පෙණහලු තුළටත් එතැනින් සමස්ත ශරීරය පුරාමත් බල පවත්වයි. ගංජා ආහාරයට මුසු කොට ගත්තේනම් පැය 4ක කාලයක්ද, සාමාන්‍ය පරිදි දුම්වැටියක් ලෙසින් භාවිතයට ගත්තේ නම් පැය 2-3 ක කාලයක්ද එහි අධිග්‍රහණය බලපවත්වනු ලබයි.

කෙසේ වෙතත් භාවිතයෙන් සති ගණනාවකට පසු මතකය, සිතීම හා අධ්‍යාපනික ගුණය අඩුකරයි. එය පූර්වයෙන් කිව නොහැකි මානසික හා භෞතික බලපෑම් ගණනාවක් ඇති කරන බවද කිව හැකිය. එහෙත් වාසි සහගත තත්ත්ව ද නැතිවා නොවේ. වේදනා සමනය කිරීම, ඔක්කාරය නැති කිරීම, අභිරුචිය වැඩීම එමගින් සිදුකරයි.

ගංජා විසින් හොඳ හෝ උසස් සංජානනයක් තිළිණ කළද, එය දුෂ්කෘත්‍යයක් ලෙස සලකන්නේ මන්ද යන කාරණය වලංගුව පවතී. ඒ මක් නිසාද යත් ඒවාට තියුණු ලෙස මනෝ විකාර උත්පාදනය කිරීමට හෝ යථාර්ථය තාවකාලිකව ඛණ්ඩනය කිරීමට හැකි බවද පිළිගත යුතුය. දීර්ඝකාලීනව එය මානසික ව්‍යාධි වලට මූලබීජ සැපයීමක් විය හැකිය.

ඖෂධයක් ලෙස ගංජා භාවිත කිරීමේ පවත්නා වාසි සහගත තත්ත්ව පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ විවාද පවතී. 2004 දී එක්සත් ජනපද ‘ආහාර හා මත්ද්‍රව්‍ය පරිපාලන‘සංගමය නියෝජනය කරමින් වෛද්‍යවරයකු කියා සිටියේ කෘෂි නිෂ්පාදනයක් ලෙස කංසා පැළෑටියේ බලය හා ශක්තිය පිළිබඳ පර්යයේෂණ කිරීම අසීරු බවයි.

පැළෑටියෙන් පැළෑටියට එහි රසායනික සංයෝගයන් වෙනස්වනසුලු බැවින් ඒවා භාවිත කරන්නන්ට දක්වන බලපෑම ද විවිධාකාර බවට වෛද්‍යවරයා කියා සිටියේය. කෙසේ වුවත් විද්‍යාඥයින් විසින් මේවන විට අවිවාදිතව හඳුනාගෙන ඇති පරිදි ගංජාවල රසායනික ද්‍රව්‍ය 400 ට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත ය. එයින් සංයෝග 66 ක් පමණ පොදුවේ සෑම කංසා පැළෑටියකම දක්නට ලැබෙන බව ඔවුන්ගේ අදහසයි. එහෙත් මේ සියල්ල ශරීරයේ ස්නායු සෛල දැඩි ලෙස ග්‍රහණයට ගන්නා බවද සත්‍යයකි.

ඒවා ක්‍රමයෙන් ස්නායු සෛලවල ක්‍රියාකාරිත්වය වෙනස් කරන බව විද්‍යාඥයන් පිළිගනු ලබයි. ටෙට්‍රාහයිඩ්‍රොකැනාබිනෝල් රසායනයට ඇසේ පීඩනය අඩු කළ හැකිය. එහෙත් කාංසාව හා පීඩනෝන්මාදය වර්ධනය කළහැකිය.

භාවිතයෙන් මිනිත්තු කිහිපයක් තුළ හෘද ස්පන්දන වේගය වැඩිවේ. සමහර අවස්ථාවන්හිදී හෘද ස්පන්දන වේගය දෙගුණයක් ද විය හැකිය. මේ හේතුවෙන් හෘද රෝගී තත්ත්වයන් සහිත පුද්ගලයින්ට දැඩි ජීවිත අවදානමක් පවතින බැව් අමුතුවෙන් කිවයුතු නොවේ.

සමහර පුද්ගලයින් ගංජා භාවිත කිරීමෙන් අනතුරුව සැහැල්ලුවට පත්වෙනු දැකිය හැකිය. කෙසේ වෙතත් ගනු ලබන ගංජාවල මාත්‍රාව, එහි ගුණාත්මක තත්ත්වය, පුද්ගල ශාරීරික තත්ත්වය හා භාවිත හැකියාව, කාලගුණය ඒවා භාවිතයට ගනු ලබන්නේ දුම් ලෙසද, නැතිනම් පානයක් හෝ ආහාරයක් ලෙසද යන්න පවා එහි සාධනීය හෝ නිෂේධනීය ප්‍රතිඵලවලට බලපෑම් කරනු ලබයි.