නයි ඉගිලෙති

නයි ඉගිලෙති

“නයින්ටත් ඉගිල්ලෙන්න පුළුවන් ලු”. මෙය උරගයන්ට අසීමිත බියක් දක්වන අය නම්, අසන්නට පවා බියක් දක්වන පුවතක් වනු නොඅනුමාන ය. එහෙත්, එහි යම් තරමක සත්‍යයක් ඇති බව නම් නොකියාම බැරි ය. අමෙරිකාවේ, බ්ලැක්ස්බරි හි වර්ජින්ස් ටෙක් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් සිදු කළ නවතම පර්යේෂණයේ අනාවරණය එයයි. පුවත සත්‍යයක් වන්නේ, ආසියාතික වැසි වනාන්තරවල වෙසෙන නයි සම්බන්ධයෙන් පමණි.

“ඉගිලෙන්නට හැකි නයින් තුළ දක්නට ඇති විශේෂත්වය වන්නේ, ඒ හැකියාව තුළින් වායුගති විද්‍යාවේ සුවිශේෂ ලක්‍ෂණ උන් ප්‍රකට කරවන නිසයි.” පර්යේෂණ කණ්ඩායම මෙහෙය වූ ආචාර්ය ජේම්ස් සෝචා කියා සිටී. ඔහු එම විශ්වවිද්‍යාලයේ වායුගති විද්‍යාව සම්බන්ධ විශේෂඥයෙකි.

ඉගිලීමේදී, වායුගති විද්‍යාවට අදාළව නයින්ගේ ශරීරය හැඩගැසෙන ආකාරයත්, එකී ක්‍රියාවලිය සිදුවන ආකාරයත් නිවැරදිව අවබෝධ කරගැනීම සඳහා ප්ලාස්ටික් අනුරුවක් තනා, ජල උමඟක එය රඳවා ආකෘතිය ජලයේ ගලා යන රටාව ලේසර් කිරණ ආධාරයෙන් පිටපත් කරවා ගැනිණි.

මේ පර්යේෂණයට අනුව, ඉගිලිය හැකි නයි විශේෂ 5 ක් වේ. ඉන් “පැරඩයිස් ට්‍රී” නයි විශේෂ ය. උන් “කයිසොජීලියා” වර්ගයට අයත් ය. කොළ හා කළු පැහැයෙන්, ඇතැම්විට තැඹිලි හා කළු වර්ණයෙන් යුත් මේ උරගයන්ට ඉඟිලෙන්නට හැක්කේ සැහැල්ලු ගුවන් යානා මෙනි.

කුරුල්ලන් මෙන් ප්‍රබල බලයක් හා ආයාසයක් යෙදවීම වැනි නියම ඉගිලීමක් ලෙස එය ගිනිය නොහැකි ය. මිනිසකු ගේ ඇඟිල්ලක තරම් හිසක් ඇති පැරඩයිස් ට්‍රී නයා වැඩි වශයෙන්ම දැකිය හැකි වන්නේ ගිණිකොණදිග ආසියාවේ තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව හා පිලිපීනයේයි.

ඉහත නයි විශේෂය ඉහළ අවකාශයට නැගෙන්නේ ගස් මත ලිස්සා යමිනි. උන්ට අඩි 100 ක් දක්වා ගස් මත ලිස්සා යාමේ හැකියාවක් පවතියි. මේ ලිස්සායාමේ හැකියාව සත්වයාගේ ම වාසියට හේතු පිණිස ලැබුනකි.

අනතුරුදායක තත්ත්වයකින් ගැලවීම සඳහා එක් ස්ථානයකින් තවත් ස්ථානයකට සංක්‍රමණය වීම සඳහා එය ඉවහල් වේ. විශේෂඥ සේවා සඳහන් කරන්නේ, උස ගස්වල සිට සත්වයා තවත් ගස් වෙතට ඉපිලෙමින් ලිස්සා යන්නේ, වෙනත් සතුන් දඩයම් කිරීමට ද යන කාරණය පැහැදිලි නොවන බවයි.

නයි ඉගිලෙන්නේ කෙසේද?

“ඉංගී‍්‍රසි හෝඩියේ “ඉ” අකුරේ හැඩය ගනිමින් නයින් තම ඉලඇට කූඩුව නම්‍යශීලි ආකාරයට හසුරුවා ගැනීමක් සිදු කරන බව විශේෂඥ සේවා පැහැදිලි කරයි. වෘත්තාකාර හැඩයක් ගනිමින්, එය වෙනස් කර අව සඳක හැඩය ක්ෂණිකව ගැනීමේ හැකියාව නයින්ට ඇත.

“මෙය පැහැදිලිව නිරීක්‍ෂණය කරන විට පෙනෙන්නේ , හඳුනා නොගත් යානයක්, එහෙමත් නැත්නම් පිටසක්වල ජීවීන් ගමන් ගන්නා පියාඹන පීරිසියක් වගෙයි.” විශේෂඥ සේවා සඳහන් කළේ ය. නයින් ඉගිලෙන්නට තම සිරුරේ හැඩය වෙනස් කරගන්නේ ඒ ආකාරයටයි.

නයින් ගේ සිරුර, එක් ගසක අත්තකින් වෙනත් ගසකට මාරුවීමේදී සිදුවන ඉපිලීම හරහා වායුවේ උන් ඉගිලෙනවා මෙන් පෙනෙන්නේ ශරීරයේ හැඩය “ඉ” අකුරේ හැඩයට වෙනස් කර ගත හැකිවිමේ නම්‍යශීලි බව නිසයි.

නයින්ගේ ඉගිලීමේ හැකියාව සම්බන්ධයෙන් පර්යේෂණ කණ්ඩායම කරන තවත් හෙළිදරව්වක් වේ. එක් ගසකින් තවත් ගසකට ඉපිලෙද්දී වායු ගති විද්‍යාවට අනුව, ගුවන්යානයක තටු මගින් නිපදවෙන බලය සමාන බලයක් උරගයාගේ සිරුර තුළින් ජනනය වන බවයි. මෙය පියවි ඇසට දිස්වන්නේ ‘වාතයේ පිහිනන’ ස්වරූපයක් ලෙසින් යැයි විශේෂඥ සේවා අවධාරණය කරයි.

නයින්ට බියක් දක්වන අය, බියවිය යුතු කිසිම කරුණක් නව අනාවරණය තුළ නොමැති බව ආචාර්ය ජේම්ස් සෝචා අවසානයේ මතක් කළේ ය.

“ඔබ මේ උරගයන්ට බියක් දක්වනවා වෙන්න පුළුවන්. ඒත් සත්‍යවශයෙන්ම ඔබ උන්ට දක්වනවාට වඩා වැඩි බියක් උන් ඔබට දක්වනවා. ඔබ උන්ගේ ඇස ගැටෙන මොහොතේ උන් කෙකතරම් බියක් දක්වනවාදැයි කියනවා නම්, ඔබ ඇසිපිය හෙලන වේගයෙන් උන් ඔබේ නෙත් මානයෙන් අතුරුදන් වේවි.”