මත්ද්‍රව්‍ය සහ ගණිකාවන්ගෙන් මා ගලවා ගත්තේ සිනමාවයි

මත්ද්‍රව්‍ය සහ ගණිකාවන්ගෙන් මා ගලවා ගත්තේ සිනමාවයි

- ලියනාඩෝ ඩිකැපි‍්‍රයෝ

ඝනාන්ධකාරය පිරුණු සීතල රාත්‍රියක අත්ලාන්තික් සාගරයේ මහා දියරැලි මත ඔහුගේ අවසන් සුසුම් පොද දියව ගියේ ය. ප්‍රාණ සම ආදරණීය පෙම්වතිය තෙරක් නොපෙනෙන සාගරය මධ්‍යයේ තනිකර මඳ සිනහවක් මුවෙහි රඳවාගෙන ඔහු එසේ නිහඬවම නික්ම ගියේ ය. කිසිදා නොගිලෙන, මිහිබට සුරලොවක් බඳු නෞකාවක නැඟී ජීවිතය සොයාගිය “ජැක්” අවසන එම නෞකාව ද සමඟ සාගර පතුලෙහි සදා සැඟව ගත්තේය. ඔහුගේ පෙම්වතිය “රෝස්” සිය දෙනෙත් අබියසම, සිය පෙම්වත් සහකරු කිසිදා නොඑන ගමන් යනු උහුලාගත නොහැකි වියෝ දුකින් බලාහුන්නා ය.

කිසිදා නොගිලෙන “ටයිටැනික්” නෞකාව ද සමඟ “ජැක් - රෝස්” ප්‍රේම වෘතාන්තය අත්ලාන්තික් සයුරු පතුලෙහි ගිලී ගිය ද එය ඔවුන්ගේ ප්‍රේමයෙහි අවසානය නොවූයේ ය. ලෝකවාසී රසික ජන සිත් තුළ එම ප්‍රේමය සදා නොමැකෙන ලෙස සනිටුහන් වූයේ ය.

ටයිටැනික් මුහුදුබත් වුව ද, ජැක් මරණය වැලඳගත්ත ද, ජැක්ට ජීවය දුන් අළු පැහැ දෙනෙත් හිමි කඩවසම් තරුණයාගේ ජීවිතයට එම මුහුදුබත් නෞකාව සදා වාසනාව ගෙන ආවේය.

“ලියනාඩෝ ඩිකැපි‍්‍රයෝ” ලොව වෙසෙන කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත තරුණියන්ගේ සිහින කුමරු බවට පත්වූයේ එසේ ය. අසාර්ථක රංගන ශිල්පියකුට ඇකඩමි සම්මාන උළෙල දක්වා මංපෙත් විවර වූයේ එසේ ය.

අද වන විට මෙම 39 හැවිරිදි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා “ගෝල්ඩන් ග්ලෝබ්” සම්මානයෙන් ද පිදුම් ලද රංගධරයෙකි. එපමණක් නොව අවස්ථා 05 කදී ඇකඩමි සම්මාන සඳහා ද, අවස්ථා 10 ක දී ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය සඳහා ද ඔහුගේ නම යෝජනා විය.

එමෙන්ම ලියනාඩෝ ඩිකැපි‍්‍රයෝ වත්මන් හොලිවුඩයේ සිටින, ඉහළම ගරු බුහුමන් ලබන රංගන ශිල්පීන් අතරින් අයෙකි. නැවතත් ලියනාඩෝගේ නම පුවත් මවන නාමයක් බවට පත්ව තිබෙන්නේ 2014 වසරේ ඇඩකමි සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය සඳහා ඔහුගේ නම ද යෝජනා වී ඇති බැවිනි. ඒ “ද වුල්ෆ් ඔෆ් වෝල් ස්ට්‍රීට්” චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. හොඳම චිත්‍රපටය වෙනුවෙන් ද “ද වුල්ෆ් ඔෆ් වෝල් ස්ට්‍රීට්” යෝජනා වී තිබේ.

ලොවක් වෙතින් පිදුම් ලබන මේ රංගන ශිල්පියා මෑතක දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී හෙළිදරව් කර ඇත්තේ මත්ද්‍රව්‍ය හා ගණිකා වෘත්තිය මධ්‍යයේ ගෙවුණු දුක්ඛිත ළමා අවධියක් තමන් සතු වූ බව ය. රංගනය එම අවාසනාවන්ත දිවියෙන් තමා මුදා ලූ බවට ද ඔහු හෙළිදරව් කර තිබේ. කුඩා දරුවකු ලෙස සිය දෙපා අබියසම දුටු මත්ද්‍රව්‍ය භාවිතයේ මහා විනාශය නිසාම තමන් කිසිදිනෙක මත්ද්‍රව්‍ය භාවිත නොකළ බව ද ලියනාඩෝ එම සම්මුඛ සාකච්ඡාවේ දී සඳහන් කර ඇත.

“ලොස් ඇන්ජලීස් නගරයේ දැඩි දිළිඳු බව මධ්‍යයේ මා ඇතිදැඩි වුණා. ජීවිතයේ කඨෝර බව මා අත්වින්දා. කුලී රථ රියදුරකුට විවිධ චරිත හමුවන්නාක් මෙන් මට ද ජීවිතයේ විවිධ පැති දැකගැනීමට හැකිවුණා.

මා ජීවත් වූ වීදිය පුරා දැවැන්ත ගණිකා වෘත්තීය ජාලයක් ක්‍රියාත්මක වුණා. සෑම දෙසම පැතිරුණු අපරාධ හා ප්‍රචණ්ඩත්වයෙන් මගේ තරුණවිය ගෙවීගියා.”ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත වෙත ලියනාඩෝ අනාවරණය කළ පුවත එවැන්නක් විය.

සිය ළමා අවධිය ගතකළ නිවෙස පිහිටි පටුමඟ එම අවධියේ කොකේන් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සඳහා කුප්‍රකටව පැවති බව ද ළමාවියේ මතක අවදිකරමින් ඔහු ප්‍රකාශ කර තිබේ.

ලියනාඩෝ පවසන්නේ බහතෝරන අවධියේ සිටම ලද මේ අමිහිරි අත්දැකීම්, මත්ද්‍රව්‍ය පිළිබඳ සිය සිතෙහි ඇතිකළ බියමුසු හැඟීම් නිසා ජීවිත කාලය තුළම තමන් මත්ද්‍රව්‍ය වෙතින් ඈත් කර තැබූ බව ය.

“කිසිදු දිනෙක මත්ද්‍රව්‍ය භාවිත කරන්න එපා.” ලියනාඩෝ ඩිකැපි‍්‍රයෝ සිය රසික ජනතාව වෙතින් ඉල්ලා සිටියි.

“මන්දයත් වයස අවුරුදු තුන හෝ හතර තරම් ඉතා ළාබාල අවධියේ සිටම එහි ප්‍රතිවිපාක මා සියැසින්ම අත්දුටුවා.”හෙතෙම කරුණු පැහැදිලි කරයි.

“සැබැවින්ම මා වෙත හොලිවුඩය යනු උද්‍යානයක ඇවිදයාමක් බඳු අත්දැකීමක් වුණා. මම සාදවලට සහභාගිවීමට කැමැතියි. ඒ සඳහා මට මෙහිදීම අවස්ථාව ලැබෙනවා” හොලිවුඩය තමන් වෙත උරුම කරදුන් භාග්‍යය පිළිබඳ ලියනාඩෝ පවසන්නේ එසේය. එමෙන්ම හොලිවුඩය සිය ජීවිතය සෘජු, ස්ථිර මාවතක් වෙත යොමු කළ බව ද ඔහු අභිමානයෙන් සඳහන් කරයි.

පොදු පාසල්වල දඩබ්බරව ගෙවුණු කාල සීමාවෙන් පසුව තමන් රංගනය පිළිබඳ අධ්‍යාපනයට යොමුකරන ලෙස මේ කඩවසම් සුපිරි තරුව සිය මවගෙන් ඉල්ලීමක් කර තිබේ.

“එය මට මගේ ජීවිතය තුළ සිදුවූ අතිශය තීරණාත්මක සිදුවීම වුණා. ඒ වන විට මට වයස අවුරුදු 15 සම්පූර්ණ වී තිබුණා. මට නළුවකු වීමට අවශ්‍ය බවත්, හා කුසලතා පරීක්ෂණ සඳහා යොමුකරන ලෙසත් මම මගේ මවගෙන් ඉල්ලා සිටියා. ඒ වන විට පොදු පාසල් පද්ධතියෙන් මා පිටමංකර තිබුණා.”

විනාශය පිරුණු වීදියක සිට සුපිරි සිනමා ලොව දක්වා ලියනාඩෝට මංපෙත් විවරව තිබුණේ එසේය. වෘත්තීය ජීවිතයෙහි හිණි පෙත්තටම නැග හිඳීන මේ සුපිරි නළුවා අබියස තවත් ශේෂව ඇත්තේ ඇකඩමි සිහිනය පමණි. “ද වුල්ෆ් ඔෆ් වෝල් ස්ට්‍රීට්” ඔහුගේ එම සිහිනය ද සැබෑකරනු ඇති බව බොහෝ දෙනකු විශ්වාසය පළකරයි.