සඳ පාර පෙන්නාවි

සඳ පාර පෙන්නාවි

කලාපයේ යුවතියන්ගේ හද කකියන ජීවිත සිත්තමෙන් බිඳක් දිග හැරෙන මේ කතා පෙළ කලාපයේ ඔබ වෙනුවෙන්මයි

මද නළත් එක්ක දැවටිච්ච සිල් සුවඳ නාස් පුඩුවලට ගෙන එන්නේ නිරාමිස සුවයක්. බුදු පාමුල තියලා පුදන ලද මල් සුවඳ ඒ නිරාමිස සුවය තවත් තීව්‍ර කරනවා. තිලොවටම තිලකයක් වූ ඒ අසම සම සම්බුදු හිමියන්ගේ තෙමඟුල නිසා හැමෝගේම සිත් සතන් සුවපත් වෙලා.

ඒත්, ඒ අතර සිත් සතන් සසලවෙලා දුකම උහුලන කී දෙනෙක් නම් මේ මිහිතලය මත දිවි ගෙවනවද කියලා බලන්න නම් ඔවුන්ගේ ජීවිතේ පතුලටම එබී බලන්න වෙනවා. එහෙම කෙනෙක් පසුගිය දිනෙක පින් බිමක දී හමුවුණා. ඒ සිත සමඟ දොඩමළු වුණාම සිතට ගෙන ආවේ මහ දුකක්.

කතා කරන ඇස් මොහොතකට නතර කරන රෝස පාට දෙතොල් ඇය විවර කළා. ‘මගේ ගම බිබිල. මම කොළඹට ඇවිල්ලා අවුරුදු හතරක් විතර වෙනවා, ඒත් මට අවුරුදු හතරකට පස්සේ ආපසු ගමට යන්න වෙන්න මහ හිස්ම හිස් අපුල බවක් අරගෙන. පන්සලක් වගේ තිබිච්ච මගේ හිත අද වල් බිහිවෙලා පාළුවට ගිහිල්ලා අයියේ.

මල් යායක් වගේ සුවඳ හමපු මගේ ජීවිතෙන් හමන්නේ මටවත් විඳ ගන්න බැරි තරම් දුඟදක්. මගේ ඇස් දෙක හෝදගෙන මේ ගලාගෙන වැටෙන්නේ් හිත අතුළේ තෙරපිලා තියෙන මහ දුක් ගොඩක් අයියේ. මගේ මුවින් කියන වචනවලට වඩා ලොකු දුකම දුක හිතෙන කතාවක් මේ කඳුළුත් එක්ක මුසුවෙලා තියෙනවා.

මගේ මේ පුංචි හිත ඇතුළට සතුට අරන් ආව ඒ ආදරේ, මුළු ජීවිතේ පුරාම වෙලා ගත්ත කවමදාවත් අමතක කරන්න බැරි තරමට ළං වුණු ඒ ආදරේ ටික කලක් යනකොට මට අහිමි වුණා.

ඉස්සරහ දොරින් මගේ ජීවිතේ කුල්මත් කරපු ඒ ආදරේ, මම ගාමන්ට් කෙල්ලක් නිසා පෑල දොරින් ඒ ආදරේ පැනලා ගියා. ඒත්.... ඒත්... ආදරේ මාව දාල ගියේ තවදුරටත් මට කෙල්ලෙක් විදියට මේ ලෝකෙ ඉන්න දීලා නොවෙයි. ඒකයි හිතට මේ තරම් දුකක් දැනෙන්නේ.

මට තාමත් මතකයි එයා මගේ ලෝකයට ආදරේ අරගෙන ආපු මුල්ම මුල් දවස.

‘අංජු... මම ඔයාට ගොඩක් ආදරෙයි කෙල්ලේ. මම හුස්ම ගන්නේ ඔයා නිසා. මගේ හැම හීනයකම ඉන්නේ ඔයා.’

එයාගේ හැම වචනයක්ම මම විශ්වාස කළා. කතා කරන ඒ නිල්පාට ඇස් දෙකට මම මුල්ම දවසෙ වසී වුණා. ආදරෙන් උණුසුම් වෙච්ච එයාගේ ඇඟිලි තුඩුවලින් මගේ ඇඟිලි තුඩු පිරිමදින කොට මට දරාගන්න බැරි තරම් මිහිරියාවක් දැනුණා. ජීවිතේ පළමු වතාවට කොල්ලෙක්ගේ පපුවට මුහුණ හොවාගෙන උණුසුම් වෙනකොට මුළු ලෝකයම අමතක වෙලා ගියා.

මං නොවින්ද සුන්දරත්වයක් ලේ, ඇට, මස්, නහර හරහා ගලා ගියා. ඒ මිහිරියාවෙන් මගේ ඇඟ හිරිවැටුණා. ආසාවට දාසියක් වෙලා මම මගේ හැම දෙයක්ම එයාගේ පාමුල තියලා පිදුවා. එයත් කිසි ලෝභකමක් නැතිව මගේ උණුසුමට තුරුල් වුණා.

‘හැඟීම්වලින් ගිනියම් වුණු ජීවිතේ ටිකෙන් ටික සීතල වෙද්දි තමයි මට තේරුණේ මම ජීවිතේ වරද්දගෙන කියලා. ඒ වෙනකොට මට ජීවිතේ ගොඩක් වැරැදිලා.’ ආශාවන්ට වහල්වෙලා ඒ පස්සෙ දිව්වා. අන්තිමට ඉතිරි වෙන්නෙ මහ දුකක් විතරයි නංගී. ජීවිතේට අප ළංකර ගන්න බොහෝ දේවල් සැඟවිලා තියෙන්නේ දුක.

‘මට ගොඩක් දුක දැනුණෙ මම ගෑනියෙක් වෙච්ච එක ම නොවෙයි අයියේ. එයා ටිකෙන් ටික මගෙන් ඈත්වෙලා යනවා දැක්කහම. මාස ගණනක් මගේ උණුසුමේ වෙලිලා හිටපු එයා මගේ ඇස් මායිමෙන් නොපෙනී යන්න ගියා. මම එයා පස්සෙන් ගියා. එයා මාව එළව ගත්තා. මම එයාගේ පාමුල වැටිලා ඇඬුවා මාව තනිකරන්න එපා කියලා. ඒත් මගේ වචන, මගේ දුක් ගැනවිල්ල එයාට ඇෙඟ් වදින සුළඟක් තරම්වත් දැනුණෙ නැහැ. ආදරෙන් දග කරපු එයාගේ ඇස් යකෙක් ගේ වගේ රතුවෙලා මා දිහා තරහෙන් බලන්නට පටන් ගත්තා. පුංචිම පුංචි හිතකින් කොහොමද අයියේ මම ඒ දුක උහුල ගන්නේ. අනේ් මට බැහැ අයියේ. මම මහ ගිනි ගොඩක දැවෙනවා අයියේ’ මම මේ ගින්නෙන්ම පිච්චිලා අඟුරු වෙලා යාවි.

කාලයක් යන කොටයි මට දැනුණේ එයා කසාද බැඳපු කෙනෙක් කියලා. එයා පුංචි දුවෙකුගේ තාත්තා කෙනෙක් කියලා දැනගන්න කොට මගේ ජීවිතේ හපයක් වෙලා ඉවරයි. මට දුක දුවෙකුගේ තාත්තා කෙනෙක් වෙලත් ඇයි මට මෙහෙම දෙයක් කළේ කියලා. මුලින්ම ආදරේ අරගෙන මගේ ලෝකයට එයා එනකොට මම පිළිඅරගත්තේ කුමාරයෙක් වගේ. මගේ හිතත් ඇදිලා තබ්බ සිහින කුමාරයා මගේ ළඟට ආවහම මට දැනුණා දරාගන්න බැරි සතුටක්. ඒත්, ඒ සතුට අද දරාගන්න බැරි තරම් දුකක් බවට පරිවර්තනය වෙලා. ඒ ආදරේ අද පාරාවළල්ලක් වෙලා මගේ ජීවිතේ විෙඳීවනවා.

‘ගොඩක්ම මගේ ජීවිතේට ළං වෙලා ජීවිතේ ඇතුළෙම දොරගුලුවලට තට්ටු කරලා මගේ පුංචි හිත ඇතුළෙ සැතපුණු එයා මාව දාලා ගියා. සතුට සොයාගෙන ඇවිල්ල මාව නැති කරලා, මාව ගිනි ගොඩකට ඇදලා දාලා එයා යන්න ගියා. ඒ යන්න ගියේ මගේ හිතට දරා ගන්න බැරි තරම් දරුණු වචනවලින් පහරදීලා. මට තාමත් මතකයි එයා අන්තිමට කියපු වචන. තාමත් මගේ පුංචි හිත හිරිවට්ටනවා. ගාමන්ට් කෙල්ලො ඉන්නෙ මහන්න විතරක් නොවෙයි මේවටත් එක්කයි. ඇයි අයියේ ගාමන්ට් කෙල්ලෝ කියලා අපට මෙහෙම කරන්නේ. අපි තරම් දුක් විඳින, අපි තරම් සංවේදී අහිංසක කෙල්ලෝ තවත් කොතනකවත් නැතිව ඇති. ඒ තරම් අපේ හිත් අහිංසකයි. ඒත්, මේ නපුරු ලෝකෙ ඉන්න නපුරු මිනිස්සු අපේ ජීවිත අපායකට ඇදලා දානවා. ඒ අය හිතාගෙන ඉන්නේ අපේ ජීවිත අපායකට ඇදලා දාල සුරලෝකයකට යන්න. ඒත් ඒ මිනිස්සු නොදැනුවත්වම වැටෙන්න සතර අපායට අයියේ.

මට ආදරේ තිත්ත වුණා. ආදරේට වඩා වෛරයට මම ආදරේ කරනවා අයියේ. ආදරේ කියන්නෙ මේ තරම් දුක හිතෙන කතාවක් කියලා මට මුලදී දැනුණා නම් මම කවදාවත් ආදරේ කරන්නේ නැහැ. ගාමන්ට් රැකියාවකින් ජීවිතේ කාලකණ්ණිවෙලා ඉහිරිලා යනවා කියලා දන්නවා නම් කවමදාවත් ගාමන්ට් එන්නේ නැහැ. ඒත්... ඒත්... හැමදේම සිද්ධවෙලා ඉවරයි. මට මාව විතරක් නෙවෙයි මගේ පවුලේ අයටත් මාව නැති වුණා.

මේ පව්කාර ජීවිතේට මම තවත් ආදරේ කරන්නෙ නැහැ අයියේ. වටිනාකමක් දෙන්න බැරි මේ ජීවිතේ තවත් ජීවත් කරවලා වැඩක් නැහැ අයියේ. ආයේ කවමදාවත් දුක නොහිතෙන, දුක් දෙන ජීවිතයකට පණ දෙන මේ සසර ගමන කෙටි කර ගන්න මම මහණ දම් පුරනවා අයියේ, පෙරදිගින් පායලා එන අර පිරුණු හඳ මට ඒ ගමන යන්න පාර පෙන්නාවි. මේ සිල් සුවඳ, මේ මල් සුවඳ දිගේ මම ඒ ගමන යනවා අයියේ.

අතු ඉති නැවිලා බිමට බරවෙලා තියෙන මේ බෝ සෙවණෙ සිසිල ගිණියම් වෙච්ච මගේ හිත සිසිල් කරාවි අයියේ. ‘එහෙම කියාගෙන ඇය බෝ මළුවෙන් නැගිටලා විහාරගෙයි ඇතුළට යන්න ගියා.’

ජීවිතය සීතලයි

මම කොහොමද මේ සීත

දරාගන්නේ..

නුඹ මගෙන් සමුගත් දා සිට

මේ සීතල මා වෙලා ගෙන

මට වද දෙන බව

නුඹ දන්නේ නම්

මල් පෙති මැද ලැව් ගිනි

ගීතා කුමාරි මුණසිංහ

සංවේදී පාඨක අදහස්