ඒ මගේ අවසන් තීරණයයි

ඒ මගේ අවසන් තීරණයයි

ජීවිතයේ එක් නිමේෂයකදී බොහෝ දෑ හිමි කර ගන්නටත් තවත් බොහෝ දෑ අහිමි වන්නටත් ඉඩ තිබේ. හිමි වීමට වඩා අහිමිවීම ඇයට පුරුදුය. ජීවිතයේ සුන්දර කාල වකවානුව සිපිරිගෙයකට වී ගත කරන්නට ජීවිතය ඇයට මඟ පෙන්නුවාය. එහෙත් චංචල වූ සිත තාමත් වංචලමය. ආදරය, විරහව, මාතෘ සෙනෙහස අතරේ කතරක සැරිසැරූ ඈ “දිල්හානි” නමින් හඳුන්වමු.

“වයස කීයක් විතරද ?” මා ඇගෙන් විමසුවේ ඇය තාමත් තරුණ හෙයිනි.

“අවුරුදු විසි නමයයි”

“කොහොමද ඔයා මෙතැනට ආවේ ?”

“ඒක දිග කතාවක්. මං දන්නවා මේ කතාව මං මතක් කරන්නවත් කැමති නැහැ. ඒ වුණත්....”

දිල්හානි දෙනෙත් කෙවෙනි මත කඳුළු රුවමින් අතීතයට මදක් යොමු වූවාය.

“මට පවුලේ සහෝදර සහෝදරියෝ 9 දෙනෙක් හිටියා. මම 9 වසර වෙනකම් ඒ අයත් එක්ක පාසල් ගියා. ඔය අතරේ ඒ කාලේ මට අවුරුදු 13 ක් විතර ඇති. දවසක් මම ඉස්කෝලේ ගිහින් එද්දි අපේ පාරේ කැළෑවක් තිබුණා. මං එනකම් කවුදෝ කට්ටියක් මඟ රැකගෙන හිටියා. එතැන අවුරුදු 23 ක විතර මිනිහෙක් හිටියා. එක පාරටම ඒ මිනිහා මාව බදාගත්තා. තව එයාගේ යාළුවෝ ටිකකුත් හිටියා. මට එකපාරටම සිහි නැති වුණා. සිහිය ඇවිත් බදද්දී මං විනාශ වෙලා. ඌ එතැන හිටගෙන හිටියා.

ං ඊට පස්සේ අඬ අඬා ගෙදර ආවා. ගෙදර ඇවිත් අම්මට සම්පූර්ණ විස්තරය කිව්වා. මං කිව්වා මං ඒ මිනිහව අඳුනන්නෙ නෑ කියලා. ඒත් මං කියපු විස්තර අනුව අම්මා එයාව අඳුරගත්තා.

“අර අරහේ ඉන්න හොරාද ?” අම්මා මගෙන් ඇහුවා. අපි පොලිසි යන්න ලැහැස්ති වුණා. ඒත් පොලිසි යන්න ලැබුණේ නැහැ. ඒ කොල්ලගේ අම්මයි තාත්තයි අපේ ගෙදර ආවා”

දිල්හානි ව දූෂණය කළ තරුණයාට ඈ පිළිබඳ ආදර සිතක් පහළ විණි. එහි ප්‍රතිඵලය වූයේ ඔහු නිවසට ගොස් සිදු වූ සත්‍ය සිදුවීම තම මවට හා පියාට පැවැසීමයි. වරද තමන් අතේ නිසා දිල්හානි ව බාර ගන්නට ඔහු කැමති විය. දූෂණය වූ තරුණියක බරක් කරනවාට වඩා ඇය දූෂණය කළ පුද්ගලයාටම විවාහ කරදීමට මාපියෝ කැමති වුහ. එහි ප්‍රතිඵලය වූයේ දහතුන් හැවිරිදි දිල්හානි විසිතුන් හැවිරිදි කමල් සමඟ විවාහ වීමයි.

වසරක් ගතවද්දි පුංචි කැදැල්ලට තවත් අමුත්තියක් එක් වූවාය.

“මට බබා හම්බ වුණාට කිසිම තේරුමක් තිබුණෙ නැහැ. ඔහේ මම අම්මා කෙනෙක් වුණා විතරයි” ඇය කීවාය.

කමල්ට තේ කඩයක් තිබුණි. දිල්හානිි දරුවාත් සමග තේ කඩයට ආවේ ගියේ ඔහුට උපකාර කරන්නටය.

දිවා කලත්, රාත්‍රියේදීත් කමල්ව දිල්හානිට මුණ ගැසුණේ යහනේ දී පමණි. ඔහු බීමතින් මහ රෑ නිවසට පැමිණ දිල්හානිටත් දරුවාටත් දස වද දෙයි. රාත්‍රින් කිහිපයදීම කමල් සොයා පොලිස් ජීප් රිය නිවසට ආවේය. මට ඒ කාලෙදි ආරංචි වුණා කමල් හොරකම් කරනවා කියලා. එයා හොරකම් කරපු බඩු තමයි කඩේ විකුණන්නේ කියලා. අනේ මට පව්කාරියක් වෙන්න බෑ. ඒ හින්දා මං කඩෙන් අයින්වෙලා කුලී වැඩ කරන්න ගියා”

මේ වකවානුව වන විට දිල්හානි වසරින් වසර දරුවන් වදන්නියක් බවට පත් වූවාය. ඇය අකමැති වුවද අකමැත්තෙන් හෝ තම ආශාව සන්සිදුවා ගන්නටත්, එලෙසම ඇයට අඩත්තේට්ටම් කරන්නටත් කමල්ට අවැසි විය. ඒ කාලවකවානුව තුළ කමල්ට නඩුකීපයක්ද තිබිණි. කමල් කසිප්පු පෙරන්නට ද හුරු විය. ඔහු නිවසේදීම කසිප්පු පෙරූ අතර සල්ලි ඉල්ලා දිල්හානිට කරදර කළාය. දරුවන්ට තැලුවේ සිත් පිත් නැති පියෙකු මෙනි.

“ඒ කාලේ මට මතකයි එක දවසක් පුංචි දේකට ලොකු දුවගේ ඔළුවට කමල් ගහලා හත් පොළකින් පැලුණා. ඒ විතරක් නෙමෙයි පුංචි පුතාටත් හරියට ගහනවා. මේ ජීවිතේ් ඉන්න බැහැ. අක්කා ලොකු දුවව අරන් ගියා. මං පුංචි පුතයි අනිත් දරුවෝයි එක්ක හේනක පැළකට ගියා. ඒත් කමල් මාව හොයා ගෙන ආවා.

ඔය අතරෙදි දරුවට වලිප්පුව හැදිලා අමාරු වුණා. අනික පාරේ හරියට වල් අලි ජීවිත ගාණක් අනතුරේ හින්දා මං ආයෙත් කමල්ගේ ගෙදරටම ආවා.

ඒ අතරේ මං කුලී වැඩ අයින් කරලා ගාමන්ට් ගියා. ඔය කාලෙදි ගෙදර හිටපු පුංචි පුතාට කමල් හරියට ගහලා දිමි ගොටු දාලා පුතාට වද දුන්නා. මේ වද හිංසා ඉවසන්නම බැරිව මගේ පොඩි එකා මහණ වුණා”

ලොකු දුවද පාසල් යන්නටත් අම්මා ළඟ ඉන්නටත් ආසයි කියා යළිත් ඔවුන්ගේ නිවසටම එයි. කමල් මේ වන විට ණය කාරයෙකි. අන් අයට සේම ඇයට ද නිවසක අවශ්‍යතාවයන්, දරුවන්ට සැප දෙන්නටත් අවශ්‍ය විය.

ඒ නිසා දිල්හානි ළමයින්ව මල්ලි ළඟ තියා විදෙස් ගත වුවාය. නමුත් මල්ලී ළඟ දරුවන් තියන්නට අකමැති වූ කමල් බලෙන්ම ඔවුන් යළිත් ඔහු සමීපයට ගෙන ආවේය.

කාලය ගෙවී ගියේ ඉතා ඉක්මනින්ය. දිනක් දිල්හානිගේ නමට ආ ලිපියකින් ඈ සසල වූවාය. ඒ ලියුම එවා තිබුණේ ඇගේ වැඩිමහල් දියණියයි.

“අම්මේ අනේ අම්මේ පුළුවන් තරම් ඉක්මනට එන්නකෝ. මට ගෙදර ඉන්න බෑ. තාත්තා රෑට මාව වඩාගෙන තාත්තගේ ඇඳට ගෙනියනවා. මට නිදාගන්න දෙන්නේ නෑ. තාත්තා ළඟ ඉන්න කියනවා”

දියණියගේ ලිපිය ඈට මෙරටට එන්නට පාර කියුවාය. ඈ ලංකාවට පැමිණ සිය සැමියා ගැන සෙවිල්ලෙන් සිටියාය. ඒ කාල වකවානුව තුළ ලොකු දුව වැඩිවියට පැමිණියාය.

ඒ දියණියගේ හිස නාවන්නට තිබූ දිනයයි.

දිල්හානි රටට ණය වී ජයට මගුලක් ගත්තාය. ඇගේ උකුසු ඇස් කමල් දෙස යොමුවී තිබිණි.

දිනක්,

“එදා මං ගොඩක් සෝදිසියෙන් හිටියේ. රෑ ජාමේ කමල් බීලා ගෙදර ආවා. ඒත් එයා මං හිටපු කාමරේට ආවේ නැහැ. ඉස්සරහා දුව ඉන්න කාමරයේ “චරස්” ගාලා දොර ඇරෙන ශබ්දය ඇසුණා. මං හෙමින් හෙමින් එතැනට ගියා. කමල් දුවගේ ඇඳේ ඉඳගෙන. දුවට හොඳටම නින්ද ගිහින්.

“කමල් ඇයි ඔයා ඔතැන ?” මම ඇසුවා. ඒත් කමල් උත්තරය නොදී ආපසු මගේ කාමරයට ආවා. එදාට පහුවෙනිදත් ඒ දේම වුණා. මගේ ජීවිතේ විනාශ කරපු මිනිසා අතින් මගේ දුවටත් කරදරයක් වෙයි කියලා මට බය හිතුණා. එදා ආයෙත් දුව ළඟට කමල් ගියා. ඒ විතරක් නෙමෙයි එයා මා එක්ක රණ්ඩු කළා.

අපේ ගෙදර කඩු තුනක් තිබුණා. මං දන්නවා කමල් තව ටිකකින් කඩුවක් හොයාගෙන මාව මරන්න එනවා කියලා. මං කමල් කුස්සියට යනකම් ඉදලා එයාට කෙටුවා. බිත්තියේ එයා වැදුණා. ඊට පස්සෙ මං එයාට පොරවෙන් එක පාරක් ගහලා එයාව මැරුවා”

ඈ එකදිගට කියාගෙන ගියාය. “ඔයාට දුක නැද්ද ?” මා එසේ ඇසුවේ ඈ මරණීය දණ්ඩනයට නියම වූ කතක හෙයිනි.

“අනේ නෑ. ලොකු දුව එහෙම දැන් හොඳට හැදෙනවා. ඔය මිනිහව එදා නොමැරුවා නම් මගේ කෙල්ලගේ ජීවිතෙත් ඉවරයි”

ඈ හිස සලමින් එතැනින් නැගිට්ටාය.

අතීතය දෙස පශ්චත්තාප වෙමින් වුවද ඈ අනාගතය දෙස සුබවාදීව බලන්නේ අතීතය අමිහිරි අතීතයක්ම වූ හෙයිනි.


සංවේදී පාඨක අදහස්