නටඹුන් අතර සැරිසැරීමි

නටඹුන් අතර සැරිසැරීමි

මගේ හොඳම මිතුරා ජිමී. ඔහායෝ ප්‍රාන්තයේ අපේ කුඩා නගරයට එපිටින් වූ ගොවිපළක ඔහු ජීවත් විය. ඔහුගේ පියා, පැළ කරන ඕනෑම දෙයක් වැවීමට සමත් ගොවියෙකි. මගේ පියා ගවයින් හා අශ්වයන් කිහිප දෙනෙක් ඇති කළේය. අප වගා කළ එකම දෙය අපේ සතුන්ට අවශ්‍ය තණකොළ, පිදුරු පමණි. එනිසා ජිමීට පියාගේ ගොවිපොළේ වෙහෙස වී වැඩ කිරීමට සිදුව තිබෙන අතර මට පැය දෙකක් ඇතුළත මාගේ වැඩ කොටස නිම කිරීමට පුළුවන්කම තිබුණේ ය.

පාසල ඇරුණු පසු සැතැපුම් දෙකකට අධික දුර ප්‍රමාණයක් ගෙවා අපි නිතරම ඔහුගේ නිවස වෙත පා ගමනින් යන්නෙමු. එම ගම්බද මාවතේ දොළොස් වැනි සැතැපුම පුළුල් කළ පාලමක් විය. මාවත පිහිටියේ ජල මට්ටමට අඩි පහළොවක් පමණ ඉහලිනි. අපි ගෙදර යන ගමන් වරක් හෝ දෙවරක් ඇඳුම් උනා දමා පාලමෙන් ගඟට පනින්නෙමු.

එය තරමක් බිය ජනක සහ අප සිතු ආකාරයට නිර්භීත දෙයක් ද විය. පාලම අසල කිමිදීම තහනම් බව දැක්වෙන පුවරුවක් ඒ අසල තිබුණ ද, දියට පැනීම පිළිබඳ කිසිදු සඳහනක් එහි නොවූයෙන් නීතිය කඩ නොවේ යැයි අපි උදක්ම විශ්වාස කලෙමු. මෙසේ නොකරන කොල්ලෝ ඕනෑ තරම් අපේ පාසලේ සිටිති. අපට අප වීරයන් යැයි හැඟුණේ ඒ නිසාය.

දියට පැනීමෙන් අනතුරුව හිරු එළියේ නැහැවෙමින් තෙත ඇඳුම් වියැළෙන තෙක් අපට ගලක් මත වාඩි වී සිටිය හැකි විය. අප දොඩමලු වූයේ ඒ වේලාවන් හිදී ය. පියා හා සීයා වැනි ගොවියෙකු වීමට ජිමි හට ඇවැසි විය. ඔහු ඒ සඳහා ජන්ම හැකියාව ලද්දෙක් වූයෙන් අනිවාර්යයෙන්ම එය ඉටුකරගනු ඇත. මේ අතර මට අවශ්‍ය වූයේ උපන් ගමෙන් ඈතට යන්නට ය. ලොව පුරා මිනිසුන් කෙසේ ජීවත්වන්නේ ද යන්නත්, ඔවුන් කරන දේ සහ ඔවුන් සිතන පතන ආකාරය දැනගැනීමට මා හට අවශ්‍ය විය.

පවුල හා සබැඳි ජීවිත ඉලක්කයක් ඇති අය බොහෝ විට කරන ආකාරයට ජිමි සිය අනාගත අපේක්ෂාවන් පිළිබඳ කතා කළේ දුර්මුඛව නොවේ. සාමාන්‍යයෙන් මාපියන්ට ගොවිපොලක් තිබේ නම් ඔවුන් සිතන්නේ පුත්‍රයා ද ගොවියෙකු විය යුතු බවයි. ඔවුන් ව්‍යාපාරිකයන් නම් පුතුද හොඳ ව්‍යාපාරිකයෙකු විය යුතු යැයි හැගීමක් තිබේ. නමුත් ජිමි මේ මැසිවිලි කිසිවක් නොකීවේ ය.

ජීවිතය අප දෙදෙනාව වෙන් කිරීමට සැරසෙන බවද, අප දෙදෙනා, දිනපතා එකිනෙකාව නොදකින වැඩුණු මිනිසුන් බවට පත්වීමට යන බව ද ජිමි සරල ලෙස පිළිගත්තේ ය. නමුත් මට නම් මගේ අනාගතය පිළිබඳ නොවිය යුතු දෙය වූයේ එයයි. නගරයෙන් නික්ම යාමට තීරණය කරගෙන සිටියද, මිතුරා හැර නොයාමට මම තීරණය කරගෙන සිටින්නෙමි. එය අප නිතර දෙවේලේ කතා බහ කළ උනන්දු සහගත උභතෝකෝටිකයක් විය.

“හොඳයි කොල්ලෝ....” ඔහු දිනක් කීය. “මේක තමයි ජීවිතේ හැටි. දෙවිදිහකින්ම ඔබට යමක් ලබන්න බෑ. ඒක තමයි හැටි.

“මම ඒක දන්නවා” යැයි මම කීවෙමි. ඒක ස්වභාවය වුණු පලියට මට ඒක ඕන නැති වෙන්නෙ නෑ නේද...?

එවිට ඔහු කොක්සන් දෙමින් සිනාසුණේ ය. කුඩා කොල්ලෙකු වුවද ඔහුට තිබුණේ විසල් සිනහවකි. මා ඔහුට වඩා අඟල් හයක් උස් වූ අතර ඔහු මට වඩා අඟල් හයක් බුහුටි විය!! එසේ කියනවාට ඔහු ඉතාම කැමැති ය. “හොඳයි... ගුඩ් ලක්...! ඔහු ඉන්පසු මෙසේ ද කියයි. අපි තව එක සැරයක් පනිමු. එක සැරයක්.

ඉතින් අපි ගල මතින් නැගිට, පාලම වෙත දිව ගොස්, පාලම ඇන්ද මතට නැග, මොහොතක් සිරුර සමතුලිත කර ගත්තෙමු. හිරු ඔහු මත වැදී ඔහුව රත් පැහැ කරවයි. ඊළඟට, පනිනවා වෙනුවට ඔහු කිමිදෙයි.

පාලම් ඇන්දෙන් බිමට නැමී, පිටකොන්ද දුන්නක් සේ වකුටුකර, දෑත් විදහා මා දැත තිබෙන දර්ශනයට හංස කිමිදුමක ඔහු යෙදෙයි. හිස ජලය තුළ නිමග්න වන්නට පෙර ඔහු වා තලය තුළ කැරකැවෙන්නාක් මෙන් පෙනේ. ඉන් පසුව ශරීරය ඍජු කරගන්නා ඔහු ජලය කපාගෙන ඒ තුළට වදියි.

අප ඔහුගේ නිවසට යන්නේ ඉන් පසුව ය. මට අනුව නම් මෙලොව සිටිනා දක්ෂතම බේකර්වරිය ඔහුගේ මව යි. ඈ දිනපතාම පාන් පිළිස්සූයෙන් මුළුතැන් ගෙය නිරන්තරව මා ඉතා ආශා කළ යීස්ට් සුවඳින් පිරී ගොස් තිබිණි. වසන්ත ඍතුවල දී ඈ නට්මෙග් කුකීස් තනයි. ලොකු, රවුම්, කිරි රසැති, ඔබට සිතින් මවා ගන්නට පුළුවන් රසවත්ම කුකීස්වලටත් වඩා ඒ කුකීස් රසවත් ය. එවැනි දිනවලදී අප රස බැලුවේ මේවායේ ය. ඈ මුළුතැන්කෙයි වැඩ කරන අතර අපි ඇය සමඟ කතා කරමින් කුකීස් රස බැලුවෙමු. මට ඈ පෙනුණේ සියලු දෙයම – පැරගුවේ හි අගනුවර ගැන පවා සියල්ල දත් තැනැත්තියක ලෙසිනි. ජිමි ඇයට මේසා ආදරය කිරීම පුදුමයක් නොවේ.

ඊළඟ දිනයේ ජිමි පාසලට නොආවිට මා සිතුවේ වසන්ත ඍතුව ගොවිපල පවුලකට අතිශය කාර්ය බහුල හෙයින් ජිමි ගේ පියා ඔහුව ගෙදර තබා ගන්නට ඇති බවකි. නමුත් ඊළඟ දිනයේ ද ඔහු නො ආවිට මම යින් කරදර වීමට පටන් ගතිමි. මගේ පියා නිවසේ සිට මා අමතා පාසලින් මා වේලාසන රැගෙන යාමට එන බව කියන විට මා සිටියේ ඔහුට ඇමතුමක් දිය යුතු යැයි සිතමිනි. බියපත් බවක් මසිතට දැනිණි.

ඉඳහිට මා පාසල ඇරී ඔහු සමඟ ගියද මෙවර මගේ සිතට අමුත්තක් දැනිණ.

නිවසට මඳ දුරක් තිබියදී ඔහු මට කීවේ ජිමි අසනීප වී සිටින බවයි. ජිමිට වෛරස් නියුමෝනියාව වැළඳී තිබූ අතර, බලා හිඳීමත් යාඥා කිරීමත් හැර වෙන කළ හැකි දෙයක් නොවීය.

අප ගොවිපළ නිවෙසට ගියෙමු. ජිමි ගේ පියා පැමිණ දොර විවෘත කළේ ය. අපි ඔහු පසුපස දෙවැනි මහලට ගියෙමු. කාමරයේ වූයේ එක් තනි ආලෝකයකි. එය ට පසෙකින් වූ ඇඳෙහි, ඇඳ ඇතිරිලි පොරවා ගෙන ජිමි, ආයාසයෙන් හුස්ම ගනිමින් වැතිර සිටියේ ය. ඔහුගේ මව ඒ අසල සිටි අතර, අප කාමරයට ඇතුළු වන විට ඇය යාඥා කරමින් සිටියා විය යුතු ය.

ජීවිතයේ අන් කවරදාකටත් වඩා මම බිය වී සිටියෙමි. මගේ පියා මිතුරාව පරීක්ෂා කර බලා, ඔහුට කෘතිම ශ්වසනය දීමට උත්සාහ කළේ ය. ඔහු එය දීර්ඝ වෙලාවක් කළේ ය. ජිමිගේ පෙණහළුවලින් හදිසියේ ම ගොරහැඬි ශබ්දයක් නිකුත්වන තෙක්, ඊළඟට නිශ්ශබ්දතාවයක්. නමුත් ජිමිගේ් මව පියා වෙතට පැමිණ ඔහුගේ උර මත අතක් තබා මෙසේ කියන තෙක්ම පියා තවදුරටත් ජිමිට කෘතිම ශ්වසනය ලබා දුන්නේ ය.

“මගෙ පුතා ගිහින් ඩොක්ටර්...” එසේ කී ඇය පුතුට පසෙකින් සයනයෙහි වාඩි වූවාය. ජිමිගේ පියා කාමරයෙන් පිටතට අපව කැඳවාගෙන ආ අතර, අපි බියකරු දීර්ඝ නිශ්ශබ්දතාවයක ගැලී නිවස වෙත පැමිණියෙමු.

කළ යුත්තේ කුමක්දැයි මම නොදැන සිටියෙමි. හැඟීම් කෙසේ උහුලාගෙන සිටින්න දැයි මම නොදන්නෙමි. මා දවසෙන් වැඩි කාලයක් ගත කලේ හඬමිනි. ඉතිරි කාලය ගත කළේ නොහඬවා සිටීමට උත්සාහ කරමිනි. මේ කුඩා නගරයේ බොහෝ අය මෙන්ම ජිමිගේ මාපියෝ ද ඔහු වෙනුවෙන් කුඩා අවමංගල්‍ය උත්සවයක් පැවැත් වූහ. සියල්ලෝ ම සුසාන භූමියට ආහ. සියල්ලෝම දුක්බර වූහ.

සති කිහිපයකට පසු මම නැවතත් ජීවිතයට මුහුණ දෙමින් සිටියෙමි. මගේ මව සහ පියා මට උදව් කිරීමට උත්සාහ කළ හ. නමුත් මට ඒ කිසිවක් ඇසුණේ නැත. මා පාසලට ගිය ද ඉගැනීමේ වැඩවල උනන්දුවෙන් යෙදුණේ හෝ කිසිවෙකු සමඟ වැඩිපුර කතා කළේ නැත. මම හැම කෙනෙකුවම පිට මං කර සිටියෙමි.

ගිම්හානය ළඟා වෙමින් තිබුණේ ය. සිකුරාදා දිනයෙක බොරළු ඇතිරූ පාර දිගේ මා පියමං කරමින් සිටියේ මගේ මිතුරා අවසාන වශයෙන් සජීවීව සිටිනු මා දුටු පාලම වෙතට ය.

වඩ වඩා ඒ සමීපයට යටත්ම අප වාඩිවන ගල මත වාඩි වී සිටින යමෙකු දැක මම මහත් විමතියට පත්වීමි. සැර හිරු කිරණින් දෑස මුවා කරගෙන බැලූ විට ඒ සිටින්නේ ජිමිගේ මව බව මට සැණින් හඳුනාගත හැකි විය. මා එනු දුටු ඈ, පසෙකින් හිද ගත්තැයි මට කීවාය. එසේ කිරීමට අවැසි නුවුව ද එසේ කළ යුතුව තිබෙන බව මම වටහා ගතිමි. අපි කිසිවක්ම කතා නොකර එසේ බොහෝ වේලා හිඳගෙන සිටියෙමු. ඈ බිඳී ගොස් සිටින බවද කතා කර ගැනීමට තරම් දුක්බරව සිටින බවද හැඟිණි. අවසානයේ මම ඇගේ උරහිස මතට හිස වාරු කර ගතිමි. ඈ සිය අතක් මගේ හිස මත තැබුවා ය. මට මහ හඬින් හැඩිණි.

එවේලේ අවසන් කඳුළ ද මා හෙළන තෙක් ඈ කිසිවක් නො කීවාය. සුපුරුදු පරිදි ඇගේ ඒප්‍රණයෙන් පාන් සුවඳ හැමුවේ ය. එය මට මඳ අස්වැසිල්ලක් විය. අවසානයේ කතා කර ගත හැකි වූ විට මම මෙසේ කීවෙමි. “මට ඒක දරාගන්න බෑ... මට දරාගන්න බෑ...”

“ඇයි ඔයා ට එහෙම කරන්න ඕනෙ?” එවිට ඇය මෘදු මිහිරි හඬකින් විමසුවා ය. “ඔයාටත් කරන්න තියෙන්නෙ ඒක තමයි” මම කීවෙමි. “ඒක දරාගන්න, ඒ දුකෙන් ගොඩ එන්න මිනිස්සු කියන්නෙ එහෙමයි.” “පුතේ, ඔයා මේ දැන් නේද මට කිව්වෙ ඔයාට එහෙම කරන්න බෑ කියලා ඔයා හරි. අපිට කරන්න තියෙන්නෙ ජිමීගේ මරණය අපේ ජීවිතවල කොටසක් බවට පත්කරගන්න එකයි. ඔයා ඒක ඔයා තුළට ගන්න ඕනෙ. ඇතුළටම ආත්මයට ම කාවද්දාගෙන ඒක මතකයෙ තියාගන්න ඕනෙ. තමන්ගේ හොඳම මිතුරා අහිමි වුණු ගැටවරයෙක් සාමාන්‍ය ගැටවරයෙකුට වඩා හරිම විශේෂයි. වෙනස්.”

ඇය එතරම් පැහැදිලිව කියූ දේ විසින් මට හුන් තැනින් නැඟිට විණි. හිරු එළිය අපට පහතින් වූ ජල තලය මත වැදී දිලිසුණේ ය. දින ගණනාවකට පසු ප්‍රථම වතාවට මට නැවත වරක් මගේ මිතුරා දැකය හැකි විය. මගේ ජීවිතය හැඩගස්වා ගැනීමට ඔහු දායක වූ ආකාරය ද ඔහු එහි සදාකාලික කොටසක් බවට පත් වී සිටින ආකාරය ද මට දැකිය හැකි විය. අපි දිගු වේලාවක් හිඳගෙන සිටියෙමු. ඊළඟට ජිමිගේ මව මගේ අතකින් අල්ලා ගත්තාය. ඈ මෙසේ ඇසුවාය. “ඔබට කූකීස් ඕනෙද?” ඉන් පසු අපි දෙවැට සහ හිස ඔසවන තිරිඟු යාය මැදින් එක්තරා කලෙක මා ආදරය ගැන බොහෝ දේ උගත් ගොවිපොළ වෙත පිය මැන්නෙමු.

වෝකර් මීඩ් වයස අවුරුදු දාහතරේ දී ලේඛන කලාවට පිිවිසියේ ය. කොස්මොපොලිටන්, රීඩර්ස් ඩයිජස්ට් හා රෙඩ්බුක් ආදී වාර ප්‍රකාශනවලට සත්‍ය කතා ලිවීම ඇරැඹු ඔහු, පසුව කොස්මොපොලිටන් සඟරාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා බවට පත් විය. රීඩර්ස් ඩයිජස්ට් සංක්ෂිප්ත පොත් සමාජයේ ද කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ ඔහු, ඇවෝන් බුක් සමාගමේ ප්‍රධානියා බවට පත්ව විශ්‍රාමික ලේඛකයෙකු ලෙස තෘප්තිමත් ජීවිතයක් ගත කරයි.

වෝකර් මීඩ්

සංවේදී පාඨක අදහස්