පුත් කුමරු රැක ගන්නට සටන් කළ සුනේත්‍රා දේවි

පුත් කුමරු රැක ගන්නට සටන් කළ සුනේත්‍රා දේවි

සතර දිගත යස හර ලම්බා පුරුදු
ළතර රුපුන් ජය ගෙන පුම්බා විරුදු
නොහැර වෙත ම කැර දෙරණම්බා සිරිදු
නිතොර වැජැඹි සිරි පැරැකුම්බා නිරිඳු

(හංස සන්දේශය)

කෝට්ටේ හෙවත් ජයවර්ධනපුරය පළමු වැනි වරට සිංහල නරපතියකුගේ රාජ්‍යය බවට පත්කරන ලද්දේ පහළොස් වැනි සියවසේ දෙවැනි දශකය තුළ රජ බවට පත් හය වැනි පරාක්‍රමබාහු රජු විසිනි. වීදාගම හිමියන් ඉහත සඳහන් කවියෙන් වර්ණනා කොට ඇත්තේ ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ය. එහෙත් හය වැනි පරාක්‍රමබාහු රජු එවැනි තත්ත්වයකට පත් කිරීමෙහි ලා බොහෝදුරට උපයෝගී වූයේ ඒ රජුගේ මෑණියන් වූ සුනේත්‍රා දේවියගේ ස්ථානෝචිත ප්‍රඥාව, තීක්ෂණ බුද්ධිය හා එඩිතර භාවය බව වැඩි දෙනෙකු නොදන්නා කරුණකි. සුනේත්‍රා දේවිය තුළ වූ මේ විශේෂ දක්ෂකම් නිසා නො වේ නම් පැරැකුම් කුමරු රජකමට පත්වන්නට පළමුව, කෝට්ටේ රයිගම ආදී ප්‍රදේශ අල්ලාගෙන පාලනය කළ අලකේශ්වරගේ ඔත්තුකරුවන් අතට පත්වන්නට ඉඩ තිබුණි.

දහසය හැවිරිදි වියේ දී රජ බවට පත් පැරැකුම්බා කුමරුවන් සතුරන්ගෙන් සඟවාගෙන මහත් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් පුරා අවුරුදු හතක් තිස්සේ ආරක්ෂා කරන ලද්දේ සුනේත්‍රා දේවිය විසිනි.

සිරිපා වන්දනා ගමනක දී හටගත් පේ‍්‍රම සම්බන්ධතාවක ප්‍රතිඵලයක් වශයෙන් ගම්පොළ රජුගේ පුත් වූ ගම්පොළ කුමරු හෙවත් ජයමහලේනාවන් සමරා සුනේත්‍රා දේවිය විවාහ වූ නමුත් ඇය තුරුණු වියෙහි පසුවෙද්දී ම ස්වාමියා මිය ගියේ ය. එවිට සුනේත්‍රා දේවිය තිස් දෙහැවිරිදි වූ අතර පැරැකුම්බා කුමරුගේ වයස අවුරුදු නවයකි. මුලින්ම කෝට්ටේ බළකොටුවක් ඉදිකිරීමෙන් පසු යාපනේ ආර්යචක්‍රවර්තිගේ සේනා පරාජයට පත් කළ අලකේශ්වරගේ ඊළඟ බලාපොරොත්තුව වූයේ කෝට්ටේ රජකම ලබාගැනීම ය.

එහෙත් ඊට නීත්‍යානුකූල හිමිකරු වූයේ පැරැකුම්බා කුමරුය. අලකේශ්වරගේ අභිලාෂය වූයේ සිහසුනට නිත්‍යානුකූල උරුමක්කාරයා විනාශ කොට බලය අල්ලා ගැනීම ය. සිංහාසනයට උරුමකම් කී තවත් සතර දෙනෙකු මරණයට පත්කළ හෙතෙම පැරැකුම්බා කුමරු ඝාතනය කිරීමට ද ඔත්තුකරුවන් යෙදවූයේ ය. ඔවුන්ගෙන් සිය පුතු ආරක්ෂා කැර ගැනීමේ බැරෑරුම් කාර්යයට තරුණ සුනේත්‍රා දේවි එඩිතර ව මුහුණ දුන්නාය.

පුත් කුමරු සතුරන්ගෙන් ආරක්ෂා කැර ගැනීම පිණිස ජීවිත සටනේ දී වරක් ඔවුන් දෙදෙනාගේ ක්ෂේමස්ථානය වූයේ මුල්ලේරියාව ය. මෙහෙකාර ස්ත්‍රියක ලෙස වෙස්වළාගත් සුනේත්‍රා දේවියගේ සහ පැරැකුම්බා කුමරුගේ වාසස්ථානය වූයේ එහි සිටි විදානේ කෙනෙකුගේ නිවෙස ය. ඇය එහි මෙහෙකාරිය වූ අතර ළමා කුමාරයා විදානේගේ ගවයන් බලාගත් ගොපලු කොල්ලා බවට පත්විය. නිවෙස හිමි විදානේ අලකේශ්වරට පක්ෂපාති වූවෙකි. සුනේත්‍රා දේවි එවැන්නකුගේ නිවෙසෙහි මෙහෙකාරියක වූයේ එවැනි තැනෙක විසීමෙන් අලකේශ්වරගේ සැලැසුම් පිළිබඳ තොරතුරු සොයා ගැනීම පහසු නිසා ය. මේ ක්‍රියාවට ඇගේ වීරෝදාරත්වය හා අන්තරායනට මුහුණදීමේ දැඩි ශක්තිය ප්‍රකට කරයි.

ඔවුන් දෙදෙනා අප්‍රසිද්ධ වේශයෙන් මුල්ලේරියාවේ ජීවත්වන බව කෙසේ හෝ අලකේශ්වරට සැළවීම නිසා එක් සවස් යාමයක හිටිහැටියේ ම රාජ පුරුෂයෝ කිහිප දෙනෙක් විදානේගේ නිවෙසට පිටත් කැර යවනු ලැබූ හ. ඔවුන් සඳහන් කළ විස්තර ගළපා බැලූ විදානේට සිය නිවෙසෙහි ජීවත්වන මේ දෙදෙනා වෙස් වළාගත් සුනේත්‍රා දේවිය හා පැරැකුම් කුමරු හැර අන්කිසිවකු නොවන බව අවබෝධ විය. ලංකාවේ අනාගත රජකුගේ හා රාජ මාතාවකගේ ජීවිත රැඳී ඇත්තේ තමා අත බව ඔහුට පෙනුණි. ඔවුන් පාවාදීම ඔහුට කිසිසේත් සිතට එකඟව කළ නොහැකිය. විදානේ සිය අඹු දරුවන් ගැන කල්පනා කළේ ය. ඔවුන්ට මෙවැනි තත්ත්වයක් උදාවුවහොත් මුහුණදීමට සිදුවනු ඇත්තේ කෙබඳු ඉරණමකට ද? රාජ පුරුෂයන් සමඟ කතාබහේ යෙදෙන අතර ම සුනේත්‍රා දේවියගේ හා පැරැකුම් කුමරුගේ ආරක්ෂාව සලසන්නට හෙතෙම අධිෂ්ඨානය කැර ගත්තේය.

“ඔය කියන විදිහේ කිසිකෙනෙක් මගේ ගෙදර නම් නෑ. ඒ වුණත් රාජකාරිය හරිහැටි ඉෂ්ට වෙන්න ඕනෑ නිසා මගේ ගේ් දොර පරීක්ෂා කරලා ම යන එකයි සුදුසු. ඊට ඉස්සර වෙලා ආගන්තුක සත්කාරය කෙරෙන්න අවශ්‍යයි නොවැ” යි රාජ පුරුෂයන්ට කී විදානේ් සිය බිරිය ගෙන්වා ඒ සඳහා කටයුතු සකස් කැරැවීය.

සංග්‍රහය පටන්ගත් පසු ලද අවසරයකින් වහා මුළුතැන්ගෙය දෙසට ගිය විදානේ මෙහෙකරු වෙසින් සිටි සුනේත්‍රා දේවියට හා කුමරුට සියලු තොරතුරු හෙළිකොට ප්‍රධාන ගෘහයෙන් බාහිරව තිබූ අනෙක් අටු ගෙයක උඩ තට්ටුවෙහි සැඟවී සිටින ලෙස උපදෙස් දුන්නේ් ය. මෙසේ ඔවුන්ගේ ආරක්ෂා සලසා ආපසු පැමිණි විදානේ ආගන්තුක සත්කාරය අවසානයේ රාජපුරුෂයන්ට ප්‍රධාන ගෘහය රිසි සේ පරීක්ෂා කිරීමට ඉඩ සැලැසීය.

අටු උඩට නැඟීම අවදානම්. ඒවායේ මී පැණි, කුරක්කන් පැහි එක පිට එක ඒවා අස්සේ සර්පයෝ ගැවසෙනවා. ඒ හින්දා අටු උඩට නැගිල්ල හෙට උදේට කල්දාමු ද?”යි විදානේ රාජ පුරුෂයන්ගෙන් විමැසී ය.

“එහෙනම් හෙට ම බලමු. දැන් රෑත් වුණා. ඊටත් වඩා විදානේ අපට අවිස්වාසයක් යැ. සෝදිසි කරන්නේ රාජකාරිය කෙරෙන්න ඕනෑ නිසා නොවැ”යි රාජපුරුෂයෝ විදානේගේ යෝජනාවට එකඟ වුහ. විදානේ සමඟ සතුටු සාමිචියෙන් සවස් කල ගෙවූ ඔවුහු රාත්‍රි භෝජනය ද භුක්ති විඳ ඔහුගේ ආගන්තුකයන් ලෙස රාත්‍රිය එහිම ගත කළ හ.

ඔවුන්ට ඇසුණු කණකොක් හඬ සැබෑ කණකොක් හඬක් නො වී ය. කවර සතකුගේ වූව ද හඬ උසුරුවීමෙහි දක්ෂ මෙහෙකරුවෙක් විදානේගේ නිවසෙහි සිටියේ ය. ඔහුට ගසක සැඟැවී කණකොක් හඬින් හඬන්නට විදානේ නියම කළේ බමුණු මත ඇදැහූ රාජපුරුෂයන් එමඟින් බියගන්වා සුනේත්‍රා දේවියගේ හා පරාක්‍රමබාහු කුමරුගේ ආරක්ෂාව සලසනු පිණිස ය.

රාජ පුරුෂයන් රාත්‍රි නින්දට වැටුණු පසු අටුගෙය තුළින් සුනේත්‍රා දේවිය හා කුමරු බිමට බස්වා ගත් විදානේ විශ්වාසදායක තවත් දෙදෙනකු ද එක්කොටගෙන දේවියත් කුමරුවත් කැටුව ඒ රාත්‍රියේ ම කැලණිය බලා පිටත් විය. තද වැසි හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ නිසා ඔහුට ඔරුවක් ගෙන්වාගත හැකි වූයේ බොහෝ පෙරැත්ත කිරීමෙන් පසුව ය. ගඟ තරණය කොට ගොස් දේවිය හා කුමරු සිය ඥාතියකුගේ නිවෙසෙහි රැඳවූ විදානේ රාත්‍රියේ ම ආපසු සිය නිවෙසට පැමිණියේ ය.

එදා රාත්‍රී කැලණියේ ආරක්ෂාව ලැබූ සුනේත්‍රා දේවිය පසු දින උදෑසන කුමරු කැටුව වීදාගම බලා යන්නට අදහස් කළ නමුත් අතරමඟ ඔවුන් පිළිබඳ ඔත්තු ගෙනයන රාජ පුරුෂයන් ඇති බවත් සැළ වූ නිසා ඇගේ මාමා කෙනෙකු වූ නාගසේන තෙරුන් වැඩ සිටි වත්තල වෙහෙර වෙත යන්නට පිටත් වූවා ය.

“අතරමඟ අවන්හලක දේවිය හා කුමරුවා ආහාර ගනිමින් සිටින අතර ඔවුන් පිළිබඳ ඔත්තු සෙවීමේ යෙදී සිටි රාජ පුරුෂයෝ කිහිපදෙනෙක් එහි පැමිණිය හ. එහි අසුන්ගත් ඔවුන් සාකච්ඡා කළේ සොයාගත යුතුව ඇති සුනේත්‍රා දේවියගේ් හා කුමරුවාගේ හැඩරුව පිළිබඳ ව ය. දේවිය හා කුමරු අල්ලා දුනහොත් ලැබෙන වටිනා වස්තුව ගැන ද ඔවුහු කතා කළ හ. ඔවුන් තුළ තමා හා පුතු කුමරු ගැන අවිශ්වාසයක් ඇතිවීම වළක්වන පරිද්දෙන් ඕ අන්තරායකාරී එහෙත් එඩිතර පියවරක් ගත්තා ය.

“එහෙනම් ඔය කතාවෙන් මට පෙනෙන්නේ ඔය කියන සුනේත්‍රා දේවියත් මගේ මේ හැඩරුව තියෙන කෙනෙක් වගෙයි. නරකද මායි, මගේ පුතායි අලකේශ්වරතුමා ළඟට ගෙනිහිල්ලා තෑග්ග ලබා ගත්තොත් ? ඊට පස්සේ දුප්පත් මටත් ඒ තෑග්ගෙන් කොටසක් දෙන්න”යි ආහාර ගනිමින් ඔවුන් දෙසට හැරුණු සුනේත්‍රා දේවිය කීවා ය.

“උඹේ කතාවත් හරි ! උඹත් ගෑනියක් නිසා සුනේත්‍රා දේවිගේ හැඩරුවත් ටිකක් ඇති! ඒ වුණත් මේ අවස්ථාවේ සුනේත්‍රා දේවි ඇත්තේ කොහේ හරි හැංගිලා. උඹ වගේ ඔය විදිහට රාජපුරුෂයෝ හොයාගෙන ඇවිත් බාරවෙන්න නෑ’යි රාජ පුරුෂයන්ගේ නායකයා පිළිතුරු දුන්නේ ඇය ගැන කිසිදු තැකීමක් නැතිව ය. ඇගේ මුඛරි කතාව නිසා ඔවුන් කිසිවෙකුගේ ඇය හා දරුවා දෙස උනන්දුවෙන් බැලුවේ නැත. සිය ගණදෙවි නුවණට පින් සිදුවන්නට සුනේත්‍රා දේවියට පුතු කුමරා කැටුව නිරුපද්‍රිතව එතැනින් පිටවන්නට ඉඩ ලැබුණි.

වත්තල වෙහෙරට පැමිණි ඔවුන්ට නාගසේත හිමියෝ අසල්වාසි නිවෙසක ආරක්ෂාව සැලැසූහ. ඉන් පසු වීදාගමට යනු පිණිස ඇය මඟට බැස්සේ කුමරු කෙල්ලක සේ වෙස් ගන්වා ගෙන ය. අතරමඟ සමණබැද්දේ තොටුපළෙන් ඔවුන් එතෙර වූයේ ඔරුවකිනි. ඔරුව එගොඩට ළඟාවෙද්දි කුමාරයා ඔරුවෙන් ගං ඉවුරට පැන්නේ ය. පනින ලද දුර හා විලාසය දුටු සෙස්සෝ ඒ කෙල්ලකැයි විශ්වාස නොකළ හ. උපන් කුතුහලය නිසා ඔවුහු ඒ ගැන හාරා අවුස්සන්ට වූහ.

“මේ කොලුවට බාරයක් වෙලා තියෙන හින්දයි මේ විදිහට එක්ක යන්නේ. බාරේ ඔප්පු කරන්න යන්න නියම වෙලා තියෙන්නේ මේ ඇඳුමෙන්. ඒක කපු මහත්තයාගේ නියමෙ. අපි මේ යන්නේ බාර ඔප්පු කරන්න”යි එතැන්හි දී පුරුදු ගණදෙවි නුවණ පහළ වූ සුනේත්‍රා දේවිය කීවා ය. ඔවුහු ඇගේ වචන ඇදැහූ හ.

මේ අයුරින් සමණබැද්ද තොටුපළෙන් බේරී ගිය ඔවුන්ට එදින රැය ලැගුම් ගන්නට සිදුවූයේ හොරණ ප්‍රදේශයේ අම්බලමක ය. එහි දී ඔවුන්ට සොරු කණ්ඩායමකට මුහුණ දෙන්නට සිදුවූව ද සොරුන් අලකේශ්වර විරෝධීන් නිසා කරදරයක් සිදුනොවුණි. අලකේශ්වරට පක්ෂපාත රටේ රාළකෙනෙකුගේ ගෙයක් කොල්ලකා පැමිණ සිටි සොරු අම්බලමේ වූ එකම කාමරය ඔවුන්ට ඉඩ දුන් හ.

කාමරය තුළ සිටි ඔවුන්ට ටික වේලාවකින් පිටත කෝලාහලයක හඬ ඇසුණි. පිටත බැලූ සුනේත්‍රා දේවියට හා කුමරුවාට දකින්නට ලැබුණේ සොරු කණ්ඩායම හා තවත් පිරිසක් අතර සිදුවන කඩු සටනකි. ඒ පිරිසේ වූයේ සොරුන් විසින් කොල්ල කන ලද නිවෙස හිමි රටේ රාල හා ඔහුගේ ආධාරකරුවෝය. දෙපක්ෂය අතර සිදු වූ වචන හුවමාරුවෙන් ඒ අලකේශ්වර හිතවාදී රටේ රාල බව සුනේත්‍රා දේවියට හා කුමරුට වැටහුණි. සටනට පැමිණි බිම වැටී සිටි එකකුගේ කඩුව අසුලාගත් කුමරු වහා රටේ රාළ ඉදිරියට පැන්නේය.

රටේ රාළගේ් විලාසය අතිශයින් බිහිසුණු විය. පාංශු දේහධාරී ඔහු කඩු සරඹයෙහි ශූරයකු බව පෙනුණි. සිය ළාබාල පුතු එවැන්නකු සමඟ සටන් කොට අන්තරායකට ගොදුරු වුවහොත් මෙතෙක් කල් තමා ගත් උත්සාහයන් නිෂ්ඵල වන බව සුනේත්‍රා දේවිය සිතුවා ය. මේ අවාසනාවන්ත තත්ත්වයෙන් පුත් කුමරු බේරාගැනීමට ඇති එකම උපක්‍රමය නම් තමා ද සටනට එළැඹීම බව තීරණය කළ ඕ වැටී සිටියකුගේ කඩුවක් උදුරාගෙන ක්ෂණයකින් රටේ රාළ ඉදිරියට පැන්නා ය. ඒ සමඟම රටේරාළ කුමරු වෙත එල්ල කළ ප්‍රහාරයකින් කුමරු බිම ඇද වැටුණි. මුළු ලොව ම සටන්කාමී බලය සිය බාහුවට එක් කැරගත් කලෙක මෙන් සුනේත්‍රා දේවිය රටේරාළ වෙත ප්‍රහාරයක් එල්ල කළාය. ළය පසා කැරගෙන ගිය ඒ කඩු පහරින් රටේ රාළ යළිත් නොගැටින්නටම ඇදවැටුණි. ඔහුගේ මරණයෙන් සොරු කණ්ඩායමේ ජය තහවුරු විය.

කුමරුවාට සිදු වී තිබුණේ් සුළු තුවාලයක් වූ අතර සොරු ඊට අවශ්‍ය පිළියම් කළහ. පසු දින ඔවුහු සුනේත්‍රා දේවිය හා පරාක්‍රමබාහු කුමරු වීදාගම විහාරය වෙත කැඳවාගෙන ගියහ. වීදාගම තෙර ස්වාමින් ඒ කුමාරයාගේ ජාතකය බලා මහ පින් ඇති බව දැකලා පින් කෙත් වූ වෘක්ෂයෙකැ යි කියා මතු ශ්‍රී ලංකාවට රජ කරන බව දැන ඒ කුමාරයා වීදාගම ස්වාමින් ගණ පන්තියේ ලා ගෙන උන්නාහ”යි කුමාරයාගේ ආරක්ෂාව පිළිබඳව වීදාගම තෙරුන් ගත් ක්‍රියාමාර්ගය ගැන රාජාවලිය සඳහන් කරයි. එහෙත් කල් යත් ම ඒ තොරතුරු අලකේශ්වරට සැළවීමෙන් පසු කුමරුගේ ආරක්ෂාව උදෙසා යොදන ලද උපක්‍රමය රාජාවලියේ සඳහන් වනුයේ මෙසේ ය.

එකල අලකේශ්වරයාට සැළ ව ගිය විට සතර කෝරළේ රුකුල්පොල්වත්තට එනම ගමයාවත් ආචාරියාටත් භාර කර ඇරියාහ. රාත්‍රියේ ගම ගෙදරට ගොසින් ඉන්නා හ. දාවල් දවස ආචාරියාගේ පැටියත් එක්ක කෙළින්නා හ. එවග අලකේශ්වරයාට සැළ ව පණිවිඩකාරයින් ආචාරියාගේ ගෙදර විමසා බලන්ඩ ඇරියා හ. ආචාරියාගේ ගෙදරට ආ පණිවිඩකාරයින් දැකලා පතුවැල ගෙන තමාගේ පුතුටත් ගසා හරක් බලන්ඩ කියා කුමාරයිනුත් පුතුන් එලවී ය. ඒ පණිවිඩකාරයෝ ආචාරියාගේ දරුවෝ යැයි සිතා ආපසු රයිගමට ගිය හ.

ඔවුන් ගිය පසුව ආචාරියා කුමාරයා කැඳවාගෙන ගොස් ගමරාලගේ ගෙදරට ඇරලා ඇති තතු ගමරාලට කියලා ආපසු ගමට ආවේය. පරාක්‍රමබාහු කුමරු රජවීම ගැන රාජාවලිය මෙසේ කියයි. මෙසේ ඒ කුමාරයා සොළොස් හැවිරිදි වයසට පැමිණි විට වීදාගම කුමාරයා පෙන්වමින් අලකේශ්වරයින්ට රහසින් වෙසඟ පුර සතවක ලත් ගුරු දින පුසේ නැකතින් මහ සේනවට ඒ කුමාරයා භාරකර දී අලකේශ්වරයින්ඩ සදි කොට ශ්‍රී පරාක්‍රමබාහු නමින් සිංහාසනප්‍රාප්ත කළ හ.”