කතා කරන කදුළු
කතා කරන කදුළු
පිළිකා රෝහල මහරගම කියන අකුරු ටික දැක්ක ගමන් ස්වේතාගේ නැන්දාගේ පපුව පිච්චිලා
යනවා වාගේ දැනුණා. “ඕකට ගිය කෙනෙක් ඉතින් ආයෙ එන්නෙ නෑ...” කියලා ගමේදී කට කැඩිච්චි
කතා කියන කාන්තාවක් කිව්ව දේ ඇයට මතක් වුණා. ස්වේතා හිටියෙ වාහනේ ඇතුළෙ සනීපෙට
නින්ද ගිහින්. වායු සමීකරණය කරන ලද වාහනේ ඇයට එද්දි නින්ද ගියා. කවුරුවත් කතා කරන්න
ගියේ නැත්තෙ “අනේ පව් අහිංසකී...” කියලා හිතාගෙන. වාහනේ පිළිකා රෝහලේ බෝධිය යටින්
නැවත්තුවා. හදුන්කූරු සුවඳ දසතම පැතිරිලා. නිවිච්ච පහනකින් එන පහන් තිරය පිච්චෙන
සුවඳකුත් එනවා. “නිවෙන පහනක පහන්තිරේ පිච්චෙන සුවඳ දැනෙන්නෙ නැත්නම් ඒ ඉතින්
මැරෙන්න ළං වෙලා...” ඉස්සර ඉඳන් මිනිස්සු කියන කතාවකුත් නැන්දාට මතක් වුණා. නැන්දා
කිව්වෙ ස්වේතාගේ මහත්තයාගේ අම්මා. හරි නම් ඉතින් නැන්දම්මා. නැන්දම්මා ස්වේතා
එක්කලා පිළිකා රෝහලට ආවෙ කොඳු ඇට පෙළ ළඟ ඇතුළතින් හැදුණු යම් පිළිකා තත්වයකට
ප්‍රතිකාර ගන්න.
“කොයිකාලේ ඉදන්ද මේ අමාරුව තියෙන්නේ...” මුලින්ම ස්වේතාව පෙන්වන්න ගියාම දොස්තර
මහත්තයා ඇහැව්වා.
“දැන් මාස තුනක් විතර ඇති... බෙහෙත් ගත්තා... ඒත් අඩුවක් නැහැ... ඒකයි ආවේ...”
නැන්දා ඉදිරිපත් වෙලා කිව්වා.
“අපි ටිකක් දුරට මේ ගැන පරීක්‍ෂා කරන්න ඕනේ... ටිකක් දවස් යාවි... දිගටම එන්න...”
දොස්තර මහත්තයා කිව්වා. ස්වේතාගේ අම්මාත් හිටියා එදා. සැමියාත් හිටියා.
“හොඳයි ඩොක්ටර්...” අමිල කිව්වා. අමිල කියලා කිව්වෙ ස්වේතාගේ මහත්තයා. ස්වේතායි
අමිලයි විවාහ වුණේ මාපියන්ගේ ආශිර්වාදයෙන්. අමිල පුද්ගලික ආයතනයක රස්සාව කළේ.
දෙන්නගේ ජීවිතේ සුන්දරව ගොඩ නඟා ගන්න ඒ ලැබෙන දේවල් හොඳටම ඇති වුණා. “අපි වෙනම
ගෙයක් හදා ගනිමු. මං කැමැතියි ස්වේතා අපි දෙන්නා වෙනම ඉන්න තියෙනවා නම්... මොකද
එතකොට තමා අපිට අපේ කියලා ලෝකයක් තියෙන්නෙ...” අමිල කිව්වා දවසක්. “එතකොට අමිල
අම්මා ඔයාලගේ පව්නේ...” “ස්වේතා කිව්වේ අමිලගේ අම්මා ගැන හිතලා. මොකද ස්වේතාගේ
නැන්දම්මා හරිම කරුණාවන්ත කෙනෙක්. අම්මා කෙනෙක් හැටියට වෙලාවකට ස්වේතාගේ අම්මාටත්
වඩා අමිලගේ අම්මා හුඟක් කරුණාවන්තයි කියලා ඇය දැනන් හිටියා.
“දුවේ කෑවද... දුවේ තේ බිව්වාද... දුවේ නාන්න තනියම යන්න එපා මං එන්නද... දුවට
මොනවද ගේන්නෙ මං කඩේ යනවා...” ස්වේතාගේ නැන්දම්මා නිතර නිතර අහන ඒවා ඒ. එහෙම
තියෙද්දි කොහොමද ඒ වගේ අම්මා කෙනෙක් දාලා වෙනම ගෙදරකට යන්නෙ කියලා ස්වේතා හිතුවා.
මෙහෙම ඉද්දි තමයි හිටි ගමන්ම ස්වේතාව අසනීප වෙන්න පටන් ගත්තේ. කවුරුවත් හිතුවේ නැති
විදියට වෛද්‍යවරයාගේ වාර්තාව ආවෙ අමිලගේ සිහින මාලිගා ඔක්කොම කඩා සුනුවිසුණු
කරමින්.
“අනේ අම්මෙ මං කොහොමද ස්වේතාට කියන්නෙ මේ වගක්... ඇයි අම්මේ මෙහෙම දෙයක් අපිට
වුණේ...” අමිලට වෙන කියන්න කෙනෙක් නැති හින්දාම අම්මාගේ පාමුල වැටිලා අඬමින්
ඇහැව්වා. අම්මා කියලා මොනවා කරන්නද? “අනේ පුතේ හිත දහිරිය අරන් මේකට මූණ දෙන්නයි
තියෙන්නේ...” අම්මලා හැමදාමත් වගේ දරුවන්ට කියනවා වාගේ මේ අම්මාත් කිව්වා. ස්වෙතාගේ
පවුල් උදවියත් ගමේ දන්න කියන අයත් කම්පා වෙද්දි තමා ස්වේතාව පිළිකා රෝහලට අරන් ආවේ.
“අනේ අර... අර සුදු පාට පේනවා... අර අතන අර සුදු වෑන් පේනවා...” ස්වේතා එක පාරටම
පිළිකා රෝහලේ කොරිඩෝව දිගේ රෝද පුුටුවෙන් එන ගමන් කෑ ගැහැව්වා. කවුරුත් බැලුවෙ ඒ
දිහා. “පව් ලස්සන කෙල්ලෙක්... අනේ මොනවා වෙලාද දන්නෙ නැහැ...” කෙනෙක් ඇහැව්වා.
“අනේ අක්කේ ඔයාලවත් කියන්නකෝ මට තියෙන මේ ලෙඩේ අනේ අපේ මේ අම්මලාට කියන්නකෝ අක්කේ
ආයෙත් ඉතින් මට ජීවිතයක් නෑ කියලා කියන්නකෝ අක්කේ... ඔයාලා දන්නවානේ... අර මට සුදු
පාට පේනවා... අර මාව එක්ක යන්න සුදු වෑන් එකක් ඇවිල්ලා... අනේ කියන්නකෝ... “ ස්වේතා
පිස්සුවෙන් වගේ දොඩවනවා.
“අනේ මයේ දුවේ එහෙම කියන්න එපා...” නැන්දම්මා කඳුළු පිහිදාමින් ස්වේතාගේ හිස අත
ගානවා. “ඇයි මෙයාට...” එතැන හිටිය තවත් තරුණියක් ඇහැව්වා. “ මටත් කැන්සර් එකක්
තිබුණා දැන් හොඳයි...” ඇය කිව්වා.
“ස්වේතා මගේ ලේලි... දෙන්නා බැදලා මාස අටයි... අනේ හිටි ගමන් බඩේ කොරයක් ආවා...
පිළිකාවක් කියලා කිව්වා...” නැන්දම්මා කිව්වා.
“අපෝ ඉතින් මොකටද බය වෙන්නෙ... ඕනේ තරම් හොඳ කරනවා... ඒක හින්දා බය වෙන්න එපා...
හරියට බෙහෙත් කරා නම් හරි...” තරුණිය කිව්වා.
“දුවේ... දුවවත් කියන්න බලන්න...” නැන්දම්මා අසරණ වෙලා.
“නංගි බය නැතුව බෙහෙත් කරන්න... ඕක හොඳ වෙනවා... මේ බලන්නකො කොයි තරම් අය ඉන්නවාද
කියලා බෙහෙත් ගන්න ඇවිත්... හරියට බෙහෙත් කළා නම් හරි... ඔයා ලස්සන කෙල්ලෙක්නේ...
ඔයාට ඉක්මණට මෙහෙම දෙයක් වෙන්න බැහැ...” තරුණිය කිව්වා.
“අනේ අක්කේ මට සුදු පාට පේනවා... අනේ අම්මාට කියන්න... කෝ මේ අමිල... අනේ අමිල
දැන්ම ඔයා මාව දාලා ගියාද... ඇයි අමිල මාව මෙහෙම තනි කරලා දැම්මෙ...” ස්වේතා මුහුණ
දෝතින් සඟවාගෙන අඬනවා.
“නෑ දුවේ අමිල එනවා...” ස්වේතාගේ නැන්දම්මා කිව්වෙ හරිම දුකෙන්.
“අනේ ඩොක්ටර් මේ අපේ අම්මලාට කියන්නකෝ මට ඉතින් ආයෙත් යන්න බැරි වෙනවා කියලා...”
ස්වේතා ඩොක්ටර් කෙනෙක් දැකලා කිව්වා.
“නැහැ ස්වේතා... එහෙම නැහැ... මෙහාට එන අය ගොඩක් දෙනෙක් හොඳවෙලා යනවා. බලන්නකො ඕනෙම
රෝහලක එහෙම තමා... මේ වෙලා තියෙන්නෙ පිළිකා රෝහල කිව්වාම එක පාරට බය වෙනවා මහා
භයානක තැනකට ආවා කියලා හිතනවා... මෙයිට වැඩිය භයානක රෝග තියෙන තැන් තියෙනවා... බය
වෙන්න එපා... බෙහෙත් ගත්තාම හොඳ වෙනවා...” ඩොක්ටර් නැවතිලා කතා කරලා ගියේ “මේ තරම්
ලස්සන අහිංසක කෙල්ලෙකුට මේ වගේ දෙයක් වුණේ ඇයි” කියලා හිතමින්.
“අම්මේ...” ස්වේතා බොහොම හිමින් කතා කළා නැන්දම්මාට.
“ඇයි දුවේ...”
“මං දන්නවා මගේ ලෙඩේ ගැන... ඩොක්ටර්ස්ලා කිව්ව දේ මට ඇහුණා... මං හිත හදා ගන්නම්
අම්මේ... ඔව් අම්මේ මං හිත හදා ගන්නම්... අම්මා යන්න... අමිලගේ ජීවිතේ මං හින්දා
නැති වෙන්න දෙන්න එපා... එයාට හොඳ දෙයක් කරන්න කියලා කියන්න...”
ස්වේතා රෝද පුටුවේ ඉදගෙන ඈත පේන බෝධීන්වහන්සේ දිහා හිස් දෑසින් බලාගෙන හිටියා.
ස්වේතාව එක්ක ආව වෑන් එකේ රියදුරා ස්වේතාගේ ඇඳුම් බෑග් එක ගෙනත් දුන්නා. “සංසාරෙ
හැටි” ඔහු හුස්මක් හෙළලා ස්වේතාගේ අසරණවුණු මුහුණ දිහා බලාගෙන හිටියා. ස්වේතා
රියදුරා දිහා බැලුවා. ඒත්, වචනයක්වත් කිව්වේ නැහැ. ඇස්දෙකින් කඳුළු බිංදු දෙකක්
හෙමින් හෙමින් ගලාගෙන ආවා. කඳුළුත් කතා කරන බව ස්වේතාගේ අම්මා දැන ගත්තෙ ඒ වෙලාවෙ.
උපාලි බණ්ඩාර වීරසේකර ලියන ‘සත්‍ය තරම්ම සත්‍ය ‘ කඳුළු කතාවල තවත් එක් දිගහැරීමකි
මේ.
නුඹ රැගෙන ගිය
මගේ ආත්මයත් රැගෙන
ගිය ඉසව්වකින්
හනික වරෙන්
මගේ සුසුම් පොද
වියැකී යන්නට
මත්තෙන්
මල් පෙති මැද ලැව් ගිනි
ගීතා කුමාරි මුණසිංහ
|