ලෝකෙටම හොරා මං හඩා වැටුණ තාත්තේ

ලෝකෙටම හොරා මං හඩා වැටුණ තාත්තේ

දහස්වර හිතින් හඬා වැටෙන දියණියක් තම අම්මාටත්, තාත්තාටත් ලියන සංවේදී ලියුම

දෝනිගෙ ලියුම 15

ආදරණීය අම්මාට සහ තාත්තාට,

මම මෙහෙම අකුරු කරන ලියුම් ගොඩක් අම්මලා තාත්තලා බලනවා කියලා මට විශ්වාසයි. ඒත්, මට හරිම දුකයි. අපේ තාත්තා මට ආදරේ නෑනේ. ඉස්සර නම් තාත්තා මට හරිම ආදරෙයි. ඒ ලස්සන අතීතේ ආයේ එනවා නම් කොච්චර හොඳයිද?

ගිය සතියේ අපි ඇඹිලිපිටි ගියා. මට දැනුණේ මාව ආයෙම අතීතෙට අරන් යනවා වගේ. අම්මා, තාත්තා, ගෙදර මට එකින් එක මතක් වුණා. ඉස්සරම ඉස්සර දවසක අම්මායි, මමයි තාත්තායි ඇඹිලිපිටි ගියා. ඒ මාමලාගේ ගෙදර. මාව එක්කගෙන එනවට තාත්තා නම් පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ. අම්මා තමයි යමු කියලා මාත් එක්කන් ආවේ. මොන හේතුවක් නිසා එදා මාව ඇඹිලිපිටි එක්කන් යන්න අකැමැති වුණාද කියලා අවුරුදු ගාණක් ගත වූණත් මම අදටත් දන්නෑ.

ගෙදර තියෙන කළුවරම කළුවර කාමරේ ලැබුණෙ මට. ඒ මම ගෙදරටම අඳුරක් නිසාවත් ද කියලා මට හිතුණා. පුංචිම පුංචි පැටියෙක් කාලෙදි නම් ලැබෙන ඕනම දෙකක් හිනාවෙලා බාර ගත්තට පස්සෙදි නම් මට මේවා ගැන හරියට දුක හිතුණා. තාත්තා අක්කලා හැමෝගෙම කාමරවලට විදුලි පංකා, එක එක ගෙනැල්ලා දුන්නා. කවදාවත් මගේ කාමරේට විදුලි පංකාවක් ගෙනැල්ලා දෙන්න ඕන කියලා තාත්තා කවදාවත් හිතුවේ නෑ. මම සමහර දවසට අම්මාට මේවා ගැන කියලා ඇඬුවා. අම්මාට මම වෙනුවෙන් කරන්න දෙයක් තිබුණේ නෑ. මගේ කාමරේ හරියට ගබඩා කාමරයක් වගේ. හැම ඇන්ටික් බඩුවක්ම ගෙනැල්ලා දැම්මේ මගේ් කාමරේට. ඇස්වල කඳුළු පුරෝගෙන මේවා දිහා බලන් ඉන්නවා ඇරෙන්න මට කරන්න වෙන දෙයක් තිබුණේ නෑ.

දවසක්දා පරණ කාඩ්බෝඩ් පෙට්ටි වගයක් මගේ කාමරේට ගෙනැල්ලා දාලා. මම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඒ පෙට්ටිවලට පයින් ගහලා එළියට විසි කළා.

“උඹට ඕන විදිහට මේ ගෙදර ඉන්න මේක උඹගේ ගෙයක් නෙමෙනේ කියලා තාත්තා මට ගහන්න හැදුවා. අම්මා ඇවිල්ලා තමයි රණ්ඩුව බේරුවේ. එදා තමයි මට මුලින්ම දැනුණේ මම ඉන්නේ පිට ගෙදරක කියලා. අම්මා නම් මට ආදරේ කළා. ඒත්, පස්සේ එයාටත් මාව එපා වුණාද? මේ හැමදේකම අවසාන ප්‍රතිඵලේ වුණේ මම යාළුවන්ටම එකතුවුණ එකයි.

පුංචි දවස්වල ඉඳලාම මට ගොඩාක් වෙලාවල්වලදී ලැබුණෙ ඇනුම්, බැනුම් විතරයි. අම්මා නම් කියන්නේ “මම ඉපදුණ දවසෙ ඉඳලා වදේ” කියලා. මම ගොඩාක් වෙලාවට මගේ හිත හදාගත්තේ මම ගිය ආත්මෙ කරපු පවක් මට මේ ඵලදෙනවා කියලා හිතලා. සමහර විට අපේ ගෙදර ගොඩාක් අය ඉඳපු නිසා වෙන්න ඇති. අම්මාටයි, තාත්තාටයි මම ගැන එච්චර ආදරයක් නැති වෙන්න ඇති. අම්මා එක දවසක් මට කිව්වා.

“උඹ මැරුණත් තව හයක් ඉන්නවනේ කියලා එහෙම කියන්න ඇත්තේ දරුවෝ වැඩි නිසා වෙන්න ඇති. අපේ පන්තියේ නිෂානිලාගේ තාත්තා නිශානිව හැමදාම පන්ති එක්ක යනවා. ඒත්, අපේ තාත්තාට වාහන තිබුණා. තවම කවදාවත් අපි පන්තියකට වාහනේකින් ගිහින් දාලා නෑ. ඒ ඇයි කියන්න නම් මම දන්නෑ. මගේ හිතෙත් ඉස්සර ආසාවක් තිබුණා එකම එක දවසක් හරි තාත්තා එක්ක පන්තියට යන්න ඒත්, ඒක හීනයක් විතරක්ම වුණා. කවදාවත් ම ඉටුනොවෙන බලාපොරොත්තුවක්ම වුණා. තාත්තා මාව අතෑරලම දැම්මා. එයාගේ ලෝකෙ පොඩි දුව කියලා කෙනෙක් නෑ කියලා මම දන්නවා. ඒ ලෝකෙට ඇතුළු වෙන්න මට ආයේ කවදාවත්ම බෑ කියලා මතක් වෙනකොට කෑ ගහලා අඬන්න හිතෙනවා. මේ ආත්මෙ නැතත් ඊළඟ ආත්මෙ මට තාත්තාගේ ආදරේ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

මිනිසුන්ට හැමදාම දුක විතරක් ම හිමි වෙන් නෑ කියලා මට හිතුණෙ අද. මට තාත්තා කෙනෙක් හමුවුණා. ඒ මේ පත්තරේ නිසා. මට තාත්තාගෙන් නොලැබුණ ආදරේ මට ඒ තාත්තාගෙන් ලැබෙනවා. එයා මට එයාගේ දරුවෙකුට වගේ ආදරෙයි. දුකින් පිරුණු ජීවිතයකට හසරැල්ලක් එක් කරන්න පුළුවන් වුණා. ඒ රත්තරං තාත්තගේ උපන් දිනේ අද. මේ පුංචි සටහන ඒ රත්තරං තාත්තා වෙනුවෙන්.

දයාබර තාත්තේ,...

රෑ දිලෙන සඳු හෝ නොවේ...

හිරු හෝ නොවේ...

ගගනේ දිලී

ලතැවුල් සිතට

පවණක් වුණේ...

සෙනෙහේ පිරී...

වදනයි ඔබේ...

දයාබර තාත්තේ...

ලැබුවා වූ උපන් දිනය

සුවහස් කල් යෙහෙන්

වැජඹෙන්න දිගාසිරි පතමි.

මේ

දයාබර පොඩි දුව

මධුමාලි

සංවේදී පාඨක අදහස්