අඬන්න එපා බටිත්ති

අඬන්න එපා බටිත්ති

හීන පොකුරක්

ගිනි කන්දක හොවමි..

තුන් සිතම කොනිත්තාගෙන

බට්ටිත්තියක වී

දුගී කවියක් ගය ගයා

පපුව හතරට පලාගෙන

මියෙන්නෙමි

- බට්ටිත්ති -

පුසුඹ ලිහී ගනියි. සුළං දිග මම ඉව කරන්නෙමි. ඕඩිකොළොං පුසුඹක දුක මගේ ආත්මය දවා හළු කරයි. එසැනින්, ඇහිමල් මත කඳුළු පිනි මිදේ.

‘අඬන්නෙපා බට්ටිත්ති’

‘ඕඩිකොළොං පුසුඹයි අම්මා’

මයෙ අතින් ඕඩිකොළොං කුප්පිය බිඳුණා.

දැන් දැන් පපුව පැලෙතැයි මට සිතේ. සම්මා සම්බුදු අම්මා මගේ හිස දයාබරව පිරිමදියි. ඇගේ අත්ලේ මුළු ආත්මයම සුවපත් කිරීමේ අත්ගුණයක් තිබුණද ගිනිගෙන දැවෙන ම’හිත සුවපත් කළ නොහැක.

‘ඔයාකාර අඬන්නෙපා, ආයෙත් ලෙඩ වෙයි බට්ටිත්තියේ’

‘පව්කාර මං ගැන හිතලා මයෙ අම්මා හිත රිද්දා ගන්නෙපා’

අම්මා ඔසරි පොටින් මා නෙත් තෙතමාත්තු කරන්නීය. නමුදු කඳුළු ඇල්ලේ නිමාවක් නැත. දියත්තක් සේ නෙත් කෙවෙනි කඳුළින් පිරෙයි. ඒවා ඇහිමල් අභියස පිරී ඉතිරී ගනියි. සම්බුදු අම්මා නැවතත් මා අස්වසාලන්නීය. පව්කාර අන්ධ නෙත් දුකකින් වැසේ.

අම්මා දිනපතා මා නහවා පිරිසිදු කර මල් මල් චීත්ත ගවොමක් අන්දවයි. තැඹිලි තෙල් ගල්වා හිස පීරයි. පුයර ගා කොපුල් හැඩකාර කරයි. මා සුන්දර යැයි පවසා ඇය මට හාදු දෙයි. මෙ’ලෙස අම්මා දිනපතා කරන්නීය. නමුදු මගේ සුන්දරත්වය බලා කියා ගන්නට ම’නෙතු පින් පුරා නැත. නැවතත් මගේ හිස අත ගා අම්මා ඈතින් ඈතට යන සෙරෙප්පු හඬ මට ඇසී නෑසී යයි.

ඕඩිකොළොං පුසුඹ සුළං ඇබිත්තක ආයෙ ආයෙත් ඉහිරී ගනියි. සියොළඟ ගිනිබත් වෙයි. නෙත් අඳ අන්ධකාරයෙහි සිහින රිදී මාලියද්දගේ කඩවසම් රුව සිත්තම් වෙයි. සැනෙකින් බොඳ වී යයි. සුසුම් හීල්ලෙයි. තුන් සිත කොනිති ගසා ගැනීමේ සියුම් වියරුවකින් සිත පිරෙයි.

මේසා ඔබ වෙනුවෙන් කොයිතරම් නම් මා විඳවාලන්නට ඇතිද ගිනිලන දහවලේත්, රෑහි හඬන රාත්‍රියේත් මම මැරී මැරී උපදින්නෙමි.

සිහින- ඔබට කප්පරක් තරම් දුන් බලාපොරොත්තු මගේ අත් දෙකින් කඩා ඉහිරවපු පව මම ගෙවා දමමි. පිරිමි නෙත් තෙත බරිත කළ ශාපය මට පල දී ඇත. මම මියෙනතුරුම ඔබ වෙනුවෙන් වන්දි ගෙවන්නෙමි. ඔබට දුන් ගින්දර වෙනුවෙන් මට කුමක් වුව කම් නැත.

ආදරණීය සිහින රිදී මාලියද්දගේ බැල්ම ගලපා ගන්නට මම නැවත වරක් වෙර දරන්නෙමි. අළු පැහැ නෙත් සඟලින් සිනා සෙන ඔබ මගේ අන්ධ නෙත් ඉහළ මැවෙයි. මම , ඔබේ ලපැත්තෙහි හිස හොවමි. ඉනික්බිති පුංචි එකියක සේ ඉකි බින්දෙමි. මවිල්වලින් පිරීගත් ඔබේ පපුවෙහි ඕඩිකොළොං පුසුඹක් ඉහී ඇත. උමතු එකියක සේ මම ඒ පුසුඹ නැහැයට උරා ගත්තෙමි. අදහන්න, ඔබ අන්ධකාරයෙහි ගිලෙයි. ඕඩිකොළොං පුසුඹ අතුරදහන් වෙයි. ආයෙමත් කලාමැදිරි එළියක්වත් නොමැති මගේ ලෝකයෙන් හුදකලා වන්නෙමි.

‘බට්ටිත්ති’

මම තිගැස්සීමි. අන්ධකාරයෙහි අතපත ගගා මම ඔබ සොයන්නෙමි. හතිමුනින් වැටෙනතුරු ඔබ සොයමි. සිහින රිදී මාලියද්ද අද මා නෙත් මානයේ නැත. ඒ වෙනුවට ඇත්තේ හිත් රිදවනා ඕඩිකොළොං සුවඳකි.

ස්වප්නයක හෝ දැවටි දැවටී ඔබ සොයන බව දනිමි. ඔබ ඇස ගැවසෙන්නට තරම් මං පින්කාරියක නොවෙමි. හුරතලයට නැහැය හපා කන්නට තරම් වන දඟකාරකම් දැන් මට නැත. ඔබගේ උරහිසට බර දී හයිලෙවල් පාරේ බස්රියක අන්තිම අසුනක හිඳගෙන යන්නට තරම් මං පින් කර නැත.

කොළඹ වසන්තයට පෙම් කළ තරුවක් සේ මම ඔබට පෙම් කළෙමි. පහන් කණුවක මුදුනත වැසූ සමනළියක සේ ඔබ එනතුරු පෙරමඟ බැලූ දවස් කොතෙක්ද ?

‘බට්ටිත්තියේ’

‘ම්....’

‘කවදා හරි දාක මම ඔයාව දාලා ගියොත්

ඔයා මොකද කරන්නේ.’

‘පව් කතා කියන්නෙපා’

‘එහෙම උනොත්’

‘මම මගේ මේ ඇස් දෙක අන්ධකර ගන්නවා’

‘ඇයි?’

‘මේ ටවුමෙ, අපි කතා කරපු තැන්

නොපෙනෙන්න.’

සියල්ල සිදු වී අවසන්ය. ආදරණීය සිහින රිදී මාලියද්ද අද මා අස නැත. ඔබ ගොඩාරියක් පෙම් කළ මගේ දිගටි නෙත් පහන් අද අන්ධය. මා කියූ ලෙසින් නෙත් අඳ කරගත්තේ මා විසිනි. නමුදු, මා අන්ධකාරයේ ගොවා ගියේ ඔබ නොවේ. වරදකාරිය ඔබට පණ මෙන් පෙම් කළ ඔබේ බට්ටිත්තියයි.

මම ඔබේ විසල් ප්‍රේමය තුට්ටුවකට මායිම් නොකොට සල්ලිකාරයකුගේ මොන්ටරෝවක් අබියසදී මගේ ආත්මය නතර කළෙමි. ඔබේ රුව නෙත් මානයෙන් මඟ හැරී යන සඳ මම තව තවත් සැප රියෙහි පුළුන් අසුනකට ලොල් වූයෙමි. සිහින රිදී මාලියද්දගේ පාලු සුසුම් අද්දර මා පෙම් සිහින අහින්දෙමි. ඔබේ කඳුළු වැටුණු නගරයෙහි සල්ලිකාර සමනළ ජයවර්ධනගේ ප්‍රේමයට තව තවත් මම තුරුලු වුණෙමි.

සමනළ ජයවර්ධන මා නොතකා වෙන කෙල්ලක හා විවාහ ගිවිසගත් දින ආදරණීය ඔබගේ ප්‍රේමයෙහි වටිනාකමක් බැරෑරුම් කමත් වටහා ගතිමි. මතක රැඳි කොළඹ නගරය දකින දකින වාරයක් පාසා මම මැරී මැරී උපන්නෙමි. අවසන ඒ නටඹුන් නොපෙනෙන්නට මම මගේ දෙනෙත් අඳ කර ගතිමි.

කඳුලැල් අඳ නෙත් මත පිරෙයි. කොපුල් සම්මා සම්බුඳු අම්මා විසින් තැවරූ පුයර තෙමා දමමින් ඇල්මැරුණු කඳුළු ගලයි. එක්වරම යමෙකු මගේ අත් දෝත දැඩිව අල්ලාගත් බවක් දැනුණි. මම තිගැස්සී ගතිමි.

‘ඕඩිකොළොං පුසුඹයි’

‘.............’

‘ආයෙමත් ඕඩිකොළොං කුප්පියක් බිඳුණද?’

‘නෑ’

‘එහෙනම් මෙච්චර පුසුඹක්’

මා, දෝත දැඩිව අල්ලාගත් තැනැත්තා මාව ඔහු වෙතට සමීප කර ගත්තේ ය. ආදරණීය ඕඩිකොළොං පුසුඹ දැන් දැන් වඩාත් දැනේ.

‘කවුද’

‘මම’

‘ඔව් ඔයා’

‘මම.... මගේ බට්ටිත්තිගේ සුදු අයියා සිහින රිදී මාලියද්ද’

මම වහා මගේ අත් දෝත ඔහුගෙන් මුදා ගන්නට වෙර දැරීමි. මගේ පපුව පැලී යන්නට ආසන්නය. සිහින රිදී මාලියද්ද තව තවත් මගේ දෙ අත් කිටි කිටියේ තද කරගත්තේය.

‘මගේ අත් දෙක අත අරින්න සුදු අයියේ”

මේ අත් අල්ලලා ඔයාගේ

ආත්මයම කිළිටි වේවි’

‘ඔයාගේ අත් දෝත අල්ලා ගත්තේ ආයෙ කවදාවත් අත අරින්න නොවේ බට්ටිත්තියේ’.

සංවේදී පාඨක අදහස්