පරපුරේ ඉරණම වෙනස් කළ යුවතිය

පරපුරේ ඉරණම වෙනස් කළ යුවතිය

අතරින් පතර තරුකැට විසිරී ගිය අඳුරු අහස්තලය යට හුදකලාව හිඳ කල්පනා ලොවක පැටලී ගිය ගලබොඩ නිළමේ තම ගැබ්බර බිරිය දෙස අරමුණකින් තොරව බලා සිටියේ ය. පිරිපුන් වත මඬලේ විඩාබර බව අබිබවා කිසියම් වේදනාවක සළකුණු ඔහුගේ බැල්මට හසුවිය. නොබෝ දිනකින් දරු ප්‍රසූතියකට මුහුණ දීමට ඇයට සිදුවනු ඇත. එවන් මොහොතක ඇගේ හදවතට මෙවන් තිගැස්මක් අවධානම් බවක් දරා ගැනීමට කෙසේවත් නොහැකි ය. එහෙත්, ඇය සියල්ල ආයාසයෙන් දරා සිටින්නේ නෙත කඳුළු වසන්කොට ගෙනය. ඔහු ඇය වෙතට ළංව ඇගේ හිස පිරිමැද්දේ අප්‍රමාණ සෙනෙහසිනි. ඇය ද නොදරුවකු විලස ඔහු තුරුලේ වැටී ආයාචනාත්මක දෑසින් ඔහුගේ දෙඇස් දෙස බැලුවා ය.

අනේ මගේ දෙයියෝ.... මේ දරු පැටියා මේ ලෝකෙ එළිය බලනතුරුවත් ඔය කටයුත්ත ඩිංගකට කල්දාගන්න බලන්න. රජ්ජුරුවන් වහන්සේගෙන් අවසර ගන්න පුළුවන් වේවි නේද? මගේ හිතට මේ පීඩාව ඔරොත්තු දෙන්නෙ නැහැ. දෙවියනේ...”

ඇයගේ සුසුම් ඔහුගේ හදවත විනිවිද ගියේ ය.

“මගේ හිතටත් ටිකක් හරිමදි තමයි මැණිකෙ.

ඒත්, කාරණා දෙකක් උඩ මට ඒක කරන්න බැහැ. එකක් රාජ උදහසට ලක්වෙන්නත් බැරි නැහැ. අනෙක ‘මාරලියේ’ පරම්පරාවට ඒක නින්දාවක්. එහෙම කළොත් මුළු රටම හිතාවි මං බය වුණා කියලා.” ඔහුගේ තිරසාර බව ඇය හොඳහැටි හඳුනන්නීය.

හෙට ඉර නැඟී පැය කිහිපයක් ගත වූ තැන ඔහුගේ ජීවිතය තීරණය වන්නේ ය. ජය පරාජය තීරණය කළ නොහැකි ය. අංගම් සටනකින් පරාජය ලැබුවා කියන්නේ මරණය ඒකාන්ත බවය. නැකැත්කරුවා කියූ පරිදි ජීවිතය පවා විශ්වාසයක් නොවේ. මෙවර සටනින් ඔහුට සුබඵල අත් නොවේ. අනෙක ‘සුදලියේ පනික්කිරා පරපුර’ අයථා ක්‍රම මඟින් අංගම් පොර ජයගැනීමට නම් දරා තිබේ. එහෙත් ‘මාරලියේ පනික්කි රාළ පරපුරට අයත් තමාට ඇත්තේ කීර්තිමත් නාමයකි. රජතුමා අංඟම්පොර නැරැඹීමට දැඩි කැමැත්තක් දක්වන්නෙක් බව ඔහු දනී. එනිසාම නම් දැරූ සුදලියේ පරපුර සමඟ සටන් වැදීමට තමනට සිදුවනු ඇත. සටනින් ජයගතහොත් රාජ සම්මානයට රාජ අනුග්‍රහයට පාත්‍ර වේ. සටනින් පරාජය වුවහොත් ජීවිතය අහිමි වේ. මේ සියල්ල තීරණය වන්නේ හෙට හිරු නැගෙන හෝරාවේ සුදලියේ ‘ඌරා ළිඳේ’ දී ය.

ඇගේ හද ගැස්ම ඔහුට දැනේ. ඇය සෙනෙහෙබරිතව ඔහුගේ උරමඬළ මත මුහුණ හොවා ගත්තා ය. ඔහු ඇගේ පිරුණු උදරය පිරිමැද නළලත සිප ගත්තේ නෙත උපන් කඳුළකිනි. ඒ කඳුළ උපන්නේ ඇය කෙරෙහි ඇති අසීමාන්තික ආදරය නිසා විනා තම ජීවිතය පිළිබඳ බියකින් නොවේ.

“මැණිකේ... මං මේ ගමන යා යුතුමයි. සටනින් පැරදුණොත් මරණය ඒකාන්තයි.” ඇයගේ දුක කඳුළ කඩඉම් බැමි බිඳ දෝරෙ ගලා ගියේ ය.

“මොනවා කරන්න ද මට ඇති එකම දුක ඔබව හැරදමා යාමයි. සටනට නම් මා කිසි විටෙකත් බිය නැහැ. මාරලියේ පනික්කිරාළ පරපුර ඉතා ශ්‍රේෂ්ඨ බව මා අමතක කළ යුතු නැහැ.”

“මම ඔබෙන් එක් දෙයක් ඉල්ලා සිටිනවා. මගේ මැණිකේ.... බැරිවෙලාවත් මේ සටනින් මා දිවි තොර වුවහොත් උපදින දරුවා කවදා හෝ අංගම්පොර ශිල්පයෙහි කෙළ පැමිණියකු කිරීම ඔබට භාරයි. පුතකු වුවත් දියණියක වුවත් එය කළ යුතුමයි. සුදලියේ පරපුර හා සටන් වැදීමට කවරකු හෝ මාරලියේ පරපුරින් බිහිකළ යුතුමයි.”

ඔහු සටනට යාමට එකසිත් සිතා ගනිමින් තිරසාර හඬින් ඇයට පැවසුවේ අන් කළ හැකි කිසිවක් නොමැති බැවිනි.

ත්‍රාසජනක සිරුර කිළිපොළා යන අංගම්පොරය හිරු නැඟෙන පැයේ ඇරැඹිණි. රජුගේ අධීක්ෂණය යටතේ සුබ මොහොතකින් ඇරැඹි සටන ඉතා ත්‍රාසජනක එකක් විය. එකෙකුට එකකු නොපරදින ද්වන්ධ සටනක් පොර පිටිය තුළ සිදුවෙමින් පවතී. සටන මොහොතින් මොහොත දරුණු වෙමින් නරඹන්නන් ඉහළට ගත් හුස්ම පහළට නොහෙළා බලා සිටිති. තරඟයෙහි නීති රීති සටන් ක්‍රම පිළිපදිමින් සටන දිගටම ඇවිලී යන්නේ රජුගේ දෙඇස් එදෙසට එල්ලෙමින් තිබියදී ය. එහෙත් රජුගේ අවධානය වෙනතකට එල්ල වූ මොහොතක කවදත් අයථා ක්‍රම මඟින් ජය ලබන්නේ යයි ප්‍රචලිත, සුදලියේ පනික්කිරාළ එල්ල කළ නීති විරෝධී පහරකින් ගලගොඩ නිලමේ පොර පිටිය මැද අවසන් සුසුම් හෙළුවේ ගැබ්බර ගලබොඩ කුමාරිහාමිට ඉසිලිය නොහැකි වේදනාවක් උරුම කරවමිනි. එසේම සුදලියේ පරපුරට අපකීර්තිමත් ජයග්‍රහණක් අත්කර දෙමිනි.

නිසිකල් එළැඹ ගලබොඩ කුමාරිහාමි රුවින් අගතැන්පත් සුන්දර දූ සිඟිත්තියක් වැදුවා ය. එසේ වුවද තම ප්‍රාණසම සැමියාට වූ පොරොන්දුව ඉටුකිරීමට ඇය අමතක නොකළා ය. එය ඇගේ පරම අදිටන විය. සත් හැවිරිදි වියට පත් තම දියණිය අංගම් ශිල්පයෙහි පුරුදු පුහුණු කිරීම සඳහා ඇය තම ඥාතීන් විසූ සබරගමුවට පිටත්කර හැරියා ය. එහිදී ලද හැකි උපරිම ශිල්ප ලැබ ඇය තම මව වෙත ආවාය. එහෙත් එය සුදලියේ පරපුර හා ගැටී පැරදවීමට තරම් ප්‍රමාණවත් නොවන බව කුමාරිහාමි දුටුවාය. කාලය මෙසේ ගෙවී ගියේ ය. ඉන්දියාවේ මල්ල ප්‍රදේශයෙන් පැමිණි වෙළඳුන් පිරිසක් මේ මවටත් දියණියටත් හඳුනාගන්නට ලැබිණි. සතර කෝරලයේ සංචාරය කළ වෙළෙඳ පිරිසට ඒ වන විට මේ සුරූපී දියණිය වූ ‘ඒදඬුවාවේ මැණිකේ’ පිළිබඳ අසන්නට ද ලැබී තිබිණි. ඇගේ අංගම් සටන් කලාව පිළිබඳ ඒ වන විටද ප්‍රචලිතව පැවැතිනි. එවකට කඩු සටන් හරඹ ආදියට ඉතා ප්‍රචලිතව පැවැති ප්‍රදේශයක් ලෙස ඉන්දියාවේ මල්ල ප්‍රදේශය නම් දරා තිබිණි. ඒ අනුව එම වෙළෙඳුන්ගේ මාර්ගයෙන් මල්ල රටට ගිය මෙම නවයොවුන් අංගම් ශිල්පිණිය වසර හයක් පුරා සටන් ශිල්ප ප්‍රගුණකොට ගත්තාය. අවසන ඇගේ සටන් නිපුණතාව සුපරීක්ෂා කළ ඇගේ ගුරුතුමා සිරිලක ඇය පැරදවිය හැකි රණශූරයකු සිටිය නොහැකි බවට නිගමනය කළේ ය. ඇගේ රණශූරත්වයත් පංචකල්‍යාණයෙන් අගතැන්පත් අභිරූපිකාවක වූ නිසාත් ඇය කෙරෙහි බැඳුණු බොහෝ රණශූරයන් ඇගේ අත පැතූහ. එහෙත් තම මවගේ ඉල්ලීමත් පියාගේ මරණයත් අතර ඇගේ ලෝකය විය. තම අරමුණ ඉටුකරගන්නා තුරු ඇයට හරිහැටි නින්දක් නොවීය.

ගලගොඩ නිළමේගේ මරණයෙන් පසු එම පරපුරට නායකයකු නොවීය. ඒ සඳහා සුදුස්සකුද නොවීය. පිරිමි වෙස්ගෙන සියරට පැමිණි ‘ඒදඬුවාවේ මැණිකේ’ නම් යෞවනිය කන්ද උඩරට රජු බැහැ දුටුවේ, රණශූර යෞවනයකු ලෙසය. රජුට කරුණු දක්වා මාරලියේ පරපුරේ පනික්කිරාළ තනතුර ලබාගැනීමට තමන් සූදානම් බවට අයැද සිටියා ය. ඒ අනුව වෙස්වලා සිටි තරුණියට පරපුරේ නායකත්වය හිමි විය.

රජුගේ අණ පරිදි මාරලියේ හා සුදලියේ දෙපාර්ශවය අතර අංගම් සටනට කළ එළඹියේ ය. මේ තරුණ අංගම්කරු පළපුරුදු සුදලියේ නායකයාගෙන් පහසුවෙන් පරාජයට පත්වනු ඇතැයි කවුරුත් පාහේ සිතූහ. එහෙත් හිරු අවරට යනතෙක් ඔවුහු සටන් කළහ. තම හුරුපුරුදු සටන් ක්‍රම ගෙනහැර පාමින් සුදලියේ අංගම්කරු සටන් වැදුණේ අයුතු ලෙසකින් හෝ තමා ජයග්‍රහණය අත්කර ගැනීමට සිතාය. එහෙත් අසුරු සැණකින් නව යොවුන් ශිල්පියා එල්ල කළ පා පහරකින් සුදලියේ නායකයා මැරී වැටුණේ ය.

නව යොවුන් අංගම්පොර ශිල්පියාගේ විජයග්‍රහණය හා සටන් කලාවේ නිපුණතාව ගැන කවුරුත් පාහේ විස්මයට පත් වූහ. තරුණයා වෙහෙසට පත්ව බිම උඩුකුරුව වැතිර සිටියේ ය. රාජ පුරුෂයෝ ඔහුට උවටැන් කරනු වස් දාහය නවාලනු පිණිස ඔහුගේ උඩුකය වසාගත් සැට්ටය මඳකට ලිහිල් කිරීමට සැරැසුණි. පුදුමයෙනුත් පුදුමයකි. ඇගේ පිරුණු ළය මඬල උස්පහත් වෙමින් තිබිණි. ඇය තරුණයකු නොව තරුණියක් බව ඔවුනට හැඟී ගියෙන් වහාම රජුට එය සැලවීමට කල්ගත නොවීය. රජු හමුවේ සියල්ල හෙළිදරව් විණි. සැබැවින්ම ඇය සුරූපී යෞවනියකි. ඇය සියල්ල රජු හමුවේ හෙළි කළා ය. තම මවගේ ඉල්ලීම හා ඇයගේ අදිටන නිසා ඇය ලද ශක්තිය හෙළි කිරීමට බිය නොවූවාය. සියල්ල විස්මයෙන් හා සාවධානව අසා සිටි රජු ඇයගේ උත්තරීතර චිත්ත ශක්තිය හා ධෛර්යය පිළිබඳ විමතියට පත්විය. ඇය කෙරෙහි උපන් අසීමාන්තික ගෞරවයෙන් ඇය ගම්වරයකින් ද පිදුම් ලැබුවා ය. එපමණකින්ද නොනැවතී ‘ඒ දඬුවාවේ මැණිකේ’ ට සතර කෝරළයේ දිසාපති පදවිය ද පිරිනැමුවා ය.

අලි ඇතුන් පිට යාම කාන්තාවන්ට තහනම් කර තිබූ යුගයක එවන් බුහුමනක් ලද කාන්තාව ඇය වූවා ය. ඒ තහනම ඉවත හල රජු ඇයට අලිඇතුන් පස්දෙනකු ද තිළිණ කළේ ය. ඒ අනුව ඇය ඒදඬුවාවේ දිසාපතිනිය’ ලෙස පදවි ලැබුවා ය. මෙලෙස ඇය සිරිලක ප්‍රථම දිසාපතිනිය වීමේ භාග්‍ය ද ලැබුවා ය.

කඳුළු කතාවක අවසන නොපසුබට උත්සාහයෙන් විරිය පාරමිතාවක් පිරූ ඇය සිරිලක ඉතිහාසයට අමරණීය පිටුවක් එක්කිරීමට ද එය සදාකාලික කිරීමට ද තරම් පුන්‍යවන්තියක වූවා ය.

සංවේදී පාඨක අදහස්