රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල - 2009

රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල - 2009

රටේ ආර්ථික සමෘද්ධිය ළඟා කරගැනීමේ කාර්යයේ දී විද්‍යුත් මාධ්‍යයන්ට වැඩි වගකීමක් පැවරෙනවා

- අගමැති දි.මු.ජයරත්න

අගමැතිවරයා, සංස්කෘතික කටයුතු ඇමැතිනිය ඇතුළු සම්මාන ලාභීහු

විද්‍යුත්මාධ්‍ය නිවැරදි මාර්ගයේ ගමන් නොකළොත් මිනිස් සංහතියම විනාශය කරා ගෙනයන දවස වැඩි ඈතක නාවන බව, අගමැති දි.මු.ජයරත්න මහතා පැවසීය.

මනුෂ්‍යත්වය ගොඩනැගීම සහ රටක ආර්ථික සමෘද්ධිය ළඟා කර ගැනීමට ද විද්‍යුත් මාධ්‍යයට වැඩි වගකීමක් පැවරෙන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

යුද්ධය අවසන් කර රට සංවර්ධනය කරා ගෙන යන ගමනේදී ජාතීන් අතර එකමුතුව ඇතිකිරීමට විද්‍යුත් මාධ්‍යවලට මෙන්ම මෙවැනි ජාතික සම්මාන උළෙලවලටද හැකියාව ඇතැයිද අගමැතිවරයා පැවසුවේය.

අගමැතිවරයා මේ අදහස් පළ කළේ “රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල – 2009” පෙරේදා (14) මහරගම යොවුන් රඟහලේදී පැවැති අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා, මෙසේ ද පැවසීය.

රූපවාහිනී මාධ්‍යය වෙනුවෙන් කළා වූ අනුපමේය සේවය වෙනුවෙන් පිරිනැමෙන

යාවජීව කර්තව්‍ය සම්මානය -

සෝමවීර සේනානායක

අපගේ ඉතිහාසය, සාහිත්‍ය, කලාව ලෝකයට ගෙන යෑමට වැඩපිළිවෙලක් ආරම්භ කිරීම අවශ්‍යයි. අයිෆා වැනි විශිෂ්ට ගනයේ සම්මාන උළෙලක් අප රටේ ද පැවැත්වීම ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ සහයෝගය ලබාගත හැකියි.

එවැනි ක්‍රියාමාර්ග ගැනීම හරහා සංස්කෘතික ප්‍රබෝධයක් පමණක් නොව ජාතිය ශක්තිමත් කිරීමට ද හැකියාව ලැබෙනවා.

ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු ඇමැතිනි, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය

මේ සම්මාන උළෙල පැවැත්වීම වසර දෙකකින් ප්‍රමාද වී තිබුණා. නමුත්, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මේ ජාතික උත්සවය පැවැත්වීමේ වැදගත්කම කුමක් ද කියා අවබෝධ කර ගත්තා.

ඒ අනුවයි මේ සැමදෙනාගේම සහාය ඇතිව, ඉතාම කෙටි කාලයකදී මේ උත්සවය සංවිධානය කළේ. අද ජනතාවට බලපෑම් කළ හැකි ප්‍රබල මාධ්‍යවී ඇත්තේ රූපවාහිනියයි. මිලියන ගණනක ජනතාවට වඩාත් ප්‍රබලව බලපාන්නේ ද විද්‍යුත් මාධ්‍යයයි.

නිවැරදි මාධ්‍ය කලාවක් උදෙසා හර පද්ධතීන් ගෙන යන ජාතිය ගොඩනඟන රූපවාහිනී මාධ්‍ය සම්මානයට පාත්‍ර කළ යුතු බව, අපගේ ප්‍රධාන අරමුණයි.

හොඳම සහාය නිළිය - චාන්දනී සෙනවිරත්න

රූපවාහිනී මාධ්‍ය දහතුනේම මාධ්‍ය නිලධාරීන්ට මා මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා; මින් ඉදිරියට මේ සම්මාන උළෙල නිසි කලට වේලාවට පවත්වන බව. එය මීටත් වඩා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු කරනවා.

තිස් අවුරුදු යුද්ධයක් අවසන් කර සංවර්ධන ඉලක්කයක් කරා හඹා යන මේ රජයට විද්‍යුත් මාධ්‍ය මඟින් සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. රූපවාහිනිය ජාතික වීරයන් බිහිකරන ත්ත්වයට පත්වෙලා. ඒ නිසා රට ගොඩනඟන මාධ්‍ය “රූපවාහිනිය” බවට පත් කිරීමට ඇති හැකියාව ඉතාම බලවත්.

ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, විමල් රූබසිංහ මහතා

හොඳම මාලා නාටකය - ෂර්ලි පී. දෙලංකාවල - හැන්දෑව

මහින්ද චින්තනයේ සඳහන් කලාකෙත අස්වැද්දීම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් අතුරින් මෙය එක් අවස්ථාවක්. සමාජයේ සුවිශේෂී වගකීමක් ඉටුකරන ජනමාධ්‍යවේදීන් සහ කලාකරුවන් ඇගැයීම මෙහි අරමුණයි.

මෙවැනි සම්මාන උළෙල පැවැත්වීමෙන් ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් තව තවත් දිරිගැන්වෙනවා පමණක් නොව ඔවුන්ගේ සේවය ගුණාත්මක ලෙස සමාජයට ලබා දීමේ හැඟීම ද ඇතිවෙනවා.

මෙහිදී “සමීක්ෂා ග්‍රන්ථය” සහ සමරු කලාපය පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිනිය විසින් අගමැතිවරයාට ප්‍රදානය කිරීමට ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, ක්‍රීඩා ඇමැති සී.බී. රත්නායක ඇතුළු නළු - නිළියෝ සහ මාධ්‍යවේදීහු රැසක් සහභාගි වූහ.

රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙල 2009 - සම්මාන ලාභියෝ

රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙල ඉතා උත්කර්ෂවත් හා විචිත්‍ර ලෙස අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභාවේ දී පෙරේදා (14) පැවැත්විණි.

රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය 13 ක විකාශය වූ වැඩසටහන් හා ඊට විවිධ ලෙස දායක වූ විශිෂ්ඨයන් හට මෙහිදී සම්මාන පිරිනැමිණි.

මෙහිදී හොඳම නළුවා ලෙස සතර දෙනෙක් සෙන්පතියෝ නාට්‍යයේ රඟපෑ ශි‍්‍රයන්ත මෙන්ඩිස්, හොඳම නිළිය ලෙස හැන්දෑව නාට්‍යයේ රඟපෑ නිල්මිණි තෙන්නකෝන් සම්මානයෙන් පිදුම් ලැබූහ. හොඳම සහාය නළුවා ලෙස සද් ගුණාකාරය නාට්‍යයේ රඟපෑ ලක්ෂ්මන් මෙන්ඩිස් හා හොඳම සහාය නිළිය ලෙස සද්ගුණාකාරයේ රඟපෑ චාන්දනී සෙනවිරත්න, හොඳම රූපවාහිනී මාලා නාට්‍ය අධ්‍යක්‍ෂණයට හැන්දෑව නාට්‍යයේ අධ්‍යක්‍ෂණය කළ ෂර්ලි පී. දෙලංකාවල සම්මාන ලබාගත්හ.

මෙම සම්මාන උළෙලේ දී පිරිනැමෙන සුවිශේෂීම සම්මානය වන රූපවාහිනී මාධ්‍යය වෙනුවෙන් කළා වූ අනුපමේය සේවය වෙනුවෙන් පිරිනැමෙන යාවජීව කර්තව්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රවීණ මාධ්‍යවේදියකු හා සම්මානනීය රූපවාහිනී තිර රචකයකු වූ සෝමවීර සේනානායක මහතා ය. රූපවාහිනී මාධ්‍ය පිළිබඳ ලියැවුණු හොඳම සාහිත්‍ය කෘතිය සඳහා තිලක් ජයරත්නට සම්මානයක් පිරිනැමිණි.

එහිදී පිරිනැමුණු අනෙකුත් සම්මාන මෙසේ ය.

හොඳම රූපවාහිනී මාලා නාටකය - ෂර්ලි පී. දෙලංකාවලගේ හැන්දෑව.
හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය - සුසිරන් ද සිල්වා ගේ ජයමංගලම්.
හොඳම සඟරාමය වැඩ සටහන – අට පට්ටම.
හොඳම සංගීත අධ්‍යක්‍ෂණය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, සතර දෙනෙක් සෙන්පතියෝ.
හොඳම මාලා නාටක තිර රචනය – තිලක් ජයරත්න, කම්පිත විල.
හොඳම අංග රචනය – නාරද ධනංජි, තොටගමුව මහතලා හටන.
හොඳම කලා අධ්‍යක්‍ෂණය – ඇහැලියගොඩ සෝමතිලක, කරුවල ගෙදර.
හොඳම සංස්කරණය – චානක ද සිල්වා, කරුවල ගෙදර.
හොඳම කැමරා අධ්‍යක්‍ෂණය – රුවන් කොස්තා, සතර දෙනෙක් සෙන්පතියෝ.
හොඳම වාර්තා වැඩසටහන – නිම් නැති නිම්නය
හොඳම ගායනය - ශසිකා නිසංසලා - අහස නිල් සලුව ඔබ.
හොඳම ගී පද රචනය – ගයා රම්‍ය අල්විස්, මං හින්දා ටෙලි නාට්‍යයේ, ආයේ ආදරයෙන් ගීතය.
හොඳම අධ්‍යාපනික හා සංස්කෘතික වටිනාකමින් යුත් රූපවාහිනී වැඩසටහන - දෙරණ නාළිකාවෙන් විකාශනය වූ ‘හෙළ බොදු පුනරුදය’
හොඳම සංගීත වැඩ සටහන – වසත් ගී සිරි – ජාතික රූපවාහිනිය.
හොඳම බහු කැමරා නිෂ්පාදනය - දෙරණ ලිට්ල් ස්ටාර්
හොඳම ප්‍රාසාංගික වේදිකා නිර්මාණය - දෙරණ ලිට්ල් ස්ටාර්
හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය – ‘සිරස’ නාළිකාව වෙනුවෙන් තුසිත පිටිගල වාර්තා කළ “කල් ඉකුත් වූ වෛද්‍ය උපකරණ භාවිතය.
හොඳම ග්‍රැෆික් සජීවීකරණ නිර්මාණය – දිනූෂ ලක්ෂාන් ගේ රුවැත්තී - දෙරණ නාළිකාව.
හොඳම පූර්ව ප්‍රචාරක පටය – තාල 1 – ජාතික රූපවාහිනිය
හොඳම පූරන පටය – ජල සම්පත් සුරකිමු - යංග් ඒෂියා ටෙලිවිෂන්
හොඳම ප්‍රචාරක දැන්වීම – අනුරුද්ධ ජයසිංහ – අපි වෙනුවෙන් අපි.
හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල) – වසන්ත ප්‍රදීප් මාසිංහගේ - සිරස
හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (දෙමළ) – රංජනී රුජ් මෝගන්, ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (ඉංගී‍්‍රසි) – මනීහා බොන්සෝ - එම්. ටී. වී.
හොඳම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල) – චමින්ද ගුණරත්න – ජාතික රූපවාහිනිය.
හොඳම රූපවාහිනී සම්ප්‍රවේශක (දෙමළ) රංජනී රාජ් මෝහන් – ජාතික රූපවාහිනිය.

ජූරියේ විශේෂ ඇගැයීම;

ඉරේෂා ජයසිංහ – හැන්දෑව ටෙලි නාට්‍යයේ උදුලාවතී ගේ චරිතය.
ජයන්ත චන්ද්‍රසිරි - සතර දෙනෙක් සෙන්පතියෝ අධ්‍යක්‍ෂණය
ආචාර්ය ධර්මසේන පතිරාජ – කම්පිත විල අධ්‍යක්‍ෂණය

කුසලතා සම්මාන

හංසමාලා ජානකී – හැන්දෑව
බුද්ධික ජයරත්න - සතර දෙනෙත් සෙන්පතියෝ
බර්ටි නිහාල් සුසිරිපාල – මහතලා හටන
අතුල ලියනගේ – මහතලා හටන
දසුන් මධුශංඛ - සමනලුන්ට වෙඩි තියන්න

රූපවාහිනී ආධුනික නිර්මාණ

ස්වර්ණ සම්මානය – තිසර තුල්වාන්
රජත සම්මානය – චතුරිකා නිමලචන්ද්‍ර
ලෝකඩ සම්මානය - සන්ධ්‍යා චන්ද්‍රසිංහ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා