දැන් හැදෙන සිංදු ස්වර කිහිපයක අතරමංවෙලා

දැන් හැදෙන සිංදු ස්වර කිහිපයක අතරමංවෙලා

ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ

ඔහු ගීත කලාව වෙනුවෙන් අලුත්යමක් කළ අයෙකි. සම්ප්‍රදායික සීමාවට කොටු නොවී නවතාවයන් කරා පෑන මෙහෙයවූවෙකි. සුභාවිත ගීත රචකයෙකි, කවියෙකි, මාධ්‍යවේදියෙකි, ලේඛකයෙකි. යුග තුනක ගායන පරපුරුවලට ගී නිර්මාණයෙන් දායක වූවෙකි. සමන් චන්ද්‍රනාත් වීරසිංහ නම් වූ ඔහුගේ හතළිස් වසරක කලා දිවිය අගයමින්, ‘සඳ මඩලේ සිට” නමින් රසාලිප්ත හරසර උළෙලක් මේ මස 30 වනදා සවස 6.00 ට ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පවත්වන්නට සහෘද කලාකරු සොයුරු කැල සූදානමින් සිටිති.

එවන්, සොඳුරු කටයුත්තකට මුල පුරන මොහොතකදී, එදා ගීතය සහ අද පිළිබඳ ඔහු හා කළ සංවාදයකි මේ.

* සමන් චන්ද්‍රනාත් කියන පුද්ගලයා ගීත රචකයෙකු බවට පත් වූ ආකාරය සිහිපත් කළොත්?

මම ගීත ලියන්න හිතුව කෙනෙක් නෙවෙයි. ඒ කාලේ පුන්සිරි සොයිසා සහ විමලසිරි ලොකුලියන මගේ හොඳම මිත්‍රයෝ. විමලසිරිට ඕනෑ වුණා තරඟයක් සඳහා ගායනා කරන්න ගීතයක් ලියවා ගන්න. මාව ගොඩක් අමාරුවෙන් ඒ සඳහා කැමැති කරගත් ඔහුට, මම ගීතයක් ලියලා දුන්නා.

කාලයක් යද්දි පුන්සිරි සොයිසා කියන මගේ මිත්‍රයාට මම ගීතයක් ලියලා දුන්නා. ‘රුසිරු දසුනක් නෙතට පාවී’ කියලා. නමුත්, ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණු මගේ පළමු නිර්මාණය වුණේ සී. එල්. පෙරේරා ගායන කළ ‘මුතුකැට මතුවුණු මහ සයුරයි’ ගීතයයි.

ඒ වෙද්දී මම ගීත රචකයෙකු ලෙස දිගු ගමනක් ඇවිත් තිබුණෙ නැහැ. හැත්තෑව දශකයේ මුල් භාගයේ දී මම ලංකාදීප කර්තෘ මණ්ඩලයට එකතු වුණා. එතනින් තමයි මගේ ගීත රචනයේ ප්‍රබල ආරම්භයක් සිදු වුණේ. ඒ කාලයේ දී මට සරත් දසනායකයන්ව හඳුනා ගන්න ලැබුණා. ඒ ගීතයක් නිසාවෙන්මයි. ඒ හඳුනා ගැනීමත් සම¼ඟ සරත් - සමන් සුසංයෝගයෙන් බොහෝ ගීත නිර්මාණ බිහිවුණා. සංගීතය සැපයුවා. දශක හතරක කාලයක් පුරාවට මම විවිධ සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ ප්‍රවීණයන්ට වගේ ම අද පරපුරටත් ගීත නිර්මාණය කර තිබෙනවා. මා නිර්මාණය කළ ගීත වික්ටර් රත්නායක, මහාචාර්ය සනත් නන්දසිරි, කලාසූරි ලතා වල්පොල වැනි ප්‍රවීණයන් වගේ ම, රුක්මන් අසිත, දුලාජ් ධනුෂ්ක වැනි ආධුනිකයෝත් ගායනා කළා. මගේ ගීත නිර්මාණයට සංගීත පරපුරු කිහිපයක් දායකවීම මේ ගමනේ දී මට සුවිශේෂයි.

* යුග කිහිපයක සංගීත රටා අත්විඳි ඔබ, එදා පරපුර සහ අද ගායන පරපුර දකින්නේ කොහොමද?

වර්තමාන ගායන පරපුර ගැන කතා කරද්දී දැනෙන්නේ ඇත්තට ම වේදනාවක්. එදා පරපුර මීට වඩා ප්‍රශස්තයි. මම එතනින් අදහස් කරන්නේ අද ඉන්න ගායන පරපුර හොඳින් ගීත ගායනා කරන්නෙ නැහැ කියන කාරණය ගැන නෙවෙයි. අද පරපුරත් එදා පරපුර වගේ ම හොඳින් තමන්ගේ කාර්යය කරනවා. නමුත්, ප්‍රශ්නය තියෙන්නේ එතන නෙවෙයි.

මාධ්‍යයේ වර්තමානයේ පවතින විවෘතභාවයත් එක්ක හැමදෙයක් ම වෙනස් වෙලා. මාධ්‍ය තුළින් නිර්මිත සියලු ප්‍රකාශනයන්, වාණිජ කර්මාන්තයට ගැලපෙන පරිදි සකස්වෙලා.

අතීතයේ අපට හමුවුණේ ගීතය කලාවක් විදිහටයි. ඒත් අද අපට හමුවෙන්නේ ගීත කලාවකට වඩා ඔබ්බට ගිය සංගීත කර්මාන්තයක්. ඒ වගේ ම අද පවතින විවෘතභාවයත් එක්ක ජාත්‍යන්තරයට එක්වෙලා තියෙන්නෙත් සංගීත කලාවට වඩා සංගීත කර්මාන්තයයි. මම දකින විදිහට මේ පාර්ශ්ව දෙක අතර පවතින්නේ විශාල වෙනසක්.

අද වෙනකොට එදා පැවැති සංගීත කලාව, ගනුදෙනුකාර භවතුන්ගේ බලපෑමට නතු වී ප්‍රචාරයකට පමණක් සීමාවෙලා. සුපිරි තරු සංකල්පයත් සම¼ඟ විද්‍යුත් නාලිකා මඟින් විවිධ තරු බිහිවෙනවා. ඔවුන් ගායන ක්ෂේත්‍රයට ප්‍රවේශවන්නේ හැත්තෑව දශකයේ ගී නිර්මාණ සමගින්. නමුත්, ජයග්‍රහණය සහ ජනප්‍රියතාවය මත, විද්‍යුත් නාලිකා මඟින් ඔවුන්ට ලබාදෙන ගීත ගායනා කරන්න තරුවලට සිදුවෙනවා. ඒත්, ඒ ගීතවල ගුණාත්මක බව පිළිබඳ අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. ගීතය ජනප්‍රිය කරවීමට අරමුණු කරනවා මිස හෝ ඉන් වාණිජ අරමුණු ඉටු කර ගැනීම මිස වෙන දෙයක් ගැන ඔවුන් හිතන්නෙ නැහැ.

* ඔබගේ ගීත නිර්මාණයන්ට වස්තු බීජය නිර්මාණය වුණු ආකාරය ගැන කතා කළොත්?

මම මේ වන විට ගීත නිර්මාණ 1500ක් විතර කරලා තියෙනවා. මේ හැම ගීතයක් ම නිර්මාණයේ දී ඒ සඳහා අවශ්‍ය වස්තු විෂය මා තෝරාගත්තේ අදාළ සමාජය තුළින්මයි. තනි තනිව අපට හිතලා යන නිර්මාණයක් කරන්න පුළුවන්. නමුත්, ඒ හැම නිර්මාණයක් ම සමාජය තුළ පවතින කුමක් හෝ හා සම්බන්ධයි. ඉන් වියුක්ත නැහැ.

මම රචනා කළ ‘සමකෝණය ත්‍රිකෝණයකි’ ගීතය ඒ අතරින් විශේෂයි. සම්ප්‍රදායික ගීත රචනයේ දී හෝ පෙර අපරදිග ලෝකයේ හෝ ජ්‍යාමිතික හැඩ ඇසුරින් කළ ගීත නිර්මාණයන් හමුවෙන්නේ නැහැ. නමුත්, එක්දහස් හත්සිය ගණන්වල දී කවි දෙකක් තුනක් නම් හමුවෙනවා.

ගීයක් කියන්නේ හොඳ පැදියක්. අපේ රටේ චිත්‍රපට කාව්‍ය, ආදියෙහි අර්ථය තුළ ගීතයට කාව්‍යයක් කියන අවස්ථාත් තියෙනවා. ඒ වගේ ම අපේ රටේ ගීතය පිළිබඳ මම දකින දුර්වල තැනක් තමයි ගීතයට නිසි විචාර ක්‍රමවේදයක් නැතිවීම.

ගීතය පිළිබඳ අද තියෙන්නේ පද මාලා විචාරයක් විතරයි. විචාරකයින් පද මාලාව විචාරයට ලක් කරමින් හොඳ ගීතයක් ලෙසට ගී නිර්මාණයක් නම් කරනවා. නමුත්, ගීතය හොඳ ගීතයක් වෙන්න නම් ඊට අනුරූපි හොඳ කටහඬක් සහ හොඳ සංගීත සුසංයෝගයක් තිබිය යුතුමයි.

කෙනෙකුට ජන්ම දායාදයක් ලෙස යන ස්වර පරාසයක් ලැබෙනවා. එතනින් අද වන විට විස්කම් පාන අය ඉන්නවා. නමුත්, උත්තරීතර ගායනයක් කියන්නේ ස්වර හතරක් පහක් ඇතුළේ අතරමං වෙන එක නෙවෙයි.

* වර්තමාන තත්ත්වයෙන් මිදී ගීතය ගුණාත්මක වෙනසකට පරිවර්තනය කළ යුත්තේ කෙසේද?

අපේ රටේ සාහිත්‍ය කලා උළෙලවල් දක්නට ලැබෙනවා. නමුත්, ගීතය සඳහා වෙන්වුණු කලා උළෙලක් දක්නට ලැබෙන්නේ නැහැ. අනික සාහිත්‍ය අංශයෙන් ගත්විට ලිඛිත සාහිත්‍ය සතියක් තියෙනවා. නමුත්, ශ්‍රවණ සාහිත්‍යයට සතියක් නැහැ. මම එතනින් අදහස් කරන්නේ සංගීතය කියන සෞන්දර්යාත්මක දේ වෙනුවෙන් යම් නිශ්චිත සිහි කිරීමක් තිබිය යුතුයි කියලයි.

* සහෘද කලාකරුවන් එක්ව සිදුකිරීමට සුදානම් වන සුබ කටයුත්ත පිළිබඳ කතා කළොත්?

‘සඳ මඩලේ සිට’ රසාලිප්ත හරසර උළෙල මා වෙනුවෙන් උපහාර පිදීමට සංවිධානය කළ එකක්, මගේ ප්‍රථම ගේය නිර්මාණය ‘අපේ කාලයේ සරස්වතී’ දෙවන නිර්මාණය තමයි ‘සඳුනි’ මේ උළෙලේ දී මා ලියූ ගී සංගත තැටි දෙකක් ‘සඳ මඩලේ සිට’ හා ‘සඳලේඛා’ නමින් ද, මගේ දෙවන ගේය පද සංග්‍රහයත් දොරට වඩිනවා. මෙහි දී, සරත් ද අල්විස් ගේ සත්සර රටාවත්, පරපුරු තුනක ගායන කෞෂල්‍යත් සහෘද රසිකයාට විවර කිරීමක් සිදුවෙනවා.

මගේ ගීත නිර්මාණයන් වෙනුවෙන්, ඒවා රසික හදට සමීප කරවන්නට මහාචාර්ය සනත් නන්දසිරි, කලාශූරි ලතා වල්පොල, වික්ටර් රත්නායක, විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන, විශාරද එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහයන් ඇතුළු සුගායන පෙරහරක් එක්වෙනවා. මෙහි දී විශේෂයෙන් ම සඳහන් කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. නර්තන රේඛාවෙන් කුලසිරි බුදවත්තත්, චන්දන වික්‍රමසිංහත්, සංගීත අධ්‍යක්ෂණයෙන් සරත් ද අල්විස් දායකවෙන්නේ මිලක් අය නොකර. එය ඇගයිය යුතුමයි.


ඕනෑම තනුවක් ගීතයක් කරන්න සමන්ට පුළුවන්

ජෝ අබේවික්‍රම

චිත්‍රපට ගීත රචනා කලාව සුවිශේෂී කලාවකි. චිත්‍රපටවල බොහෝ ගීත රචනා වන්නේ තනුවට අනුවය. අතීතයේ හින්දි සහ දෙමළ ගීත තනුවලට සිංහල ගීත රචනා කළා මෙන් සිංහල චිත්‍රපට සඳහා බොහෝ සංගීත අධ්‍යක්ෂවරුන් මුලින් තනුව සකස් කර ඒ අනුව අවස්ථාවට උචිත ගීත රචනා, රචකයන්ගෙන් අපේක්ෂා කරති. මේ අභියෝගය සාර්ථකව ජය ගත හැකි ගීත රචකයන් සුළු දෙනා අතරින් සමන් චන්ද්‍රනාත් වීරසිංහ කැපී පෙනෙන දක්ෂතා විදහා දැක් වූ ගීත රචකයකු ලෙස හැඳින්වීමට මම පසුබට නොවෙමි.

‘ලංකාදීප’ පුවත් පතේ ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු ලෙස සේවය කළ විමල් වීරසිංහයන්ගේ පුත්‍ර රත්නය ලෙස පියාගේ දක්ෂතා සියල්ල මනසින් දරා සිටින සමන් සිංහල චිත්‍රපට කලාවේ දීප්තිමත් ගීත රචකයකු ලෙස ඉදිරියට ද දිදුලනු ඇත.

ඔහුට හරසර පිදීමට එකතු වන සියලු කලාකරුවන් හා කලාකාමීන් සම¼ඟ මාද එක් වන්නේ අතිශයින් ළබැදි දයාවෙනි. ඔහුට ආයු බොහෝ වේවා!


අපූරු යෙදුම් හා වස්තු විෂය ඔහුගේ ආත්මයයි

ආචාර්ය වික්ටර් රත්නායක

සමන් චන්ද්‍රනාත් වීරසිංහ රචනා කළ ගීත අතරින් බොහොමයක් ගී තනු සරත් දසනායකයන්ගේ ය. ඔහු රචනා කළ ගුවන් විදුලි ගීත අතර බහුතරයක් ඇත්තේ දේශභිමානී ගීතය. ඒ බව ගුවන් විදුලි තැටි ගබඩාව පිරික්සන්නකුට පැහැදිලිවනු ඇත. මෙරට ගීත කලාව දෙස විමසුම් ඇසින් බලද්දී එක් එක් ගායක ගායිකාවන් සිය ගීත රචනා තමන් සිත්ගත් තමන් ඇසුරේ සිටි ගේය පද රචකයන් පිරිසක් හා බැඳී සිටිය බව අපට පෙනී යයි.

ඒ අනුව සමන්ගේ ගීත බහුතයරක් විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන, විශාරද දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග වැනි ශිල්පි ශිල්පිනීන් අතර බෙදී ගිය බවක් පෙන්නුම් කරයි. මීට අමතරව ඔහුගේ ගේය පද සංකල්පනා බෙදා හදාගත් පිරිස අතර එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල, සංගීත් නිපුන් සනත් නන්දසිරි, මාලනී බුලත්සිංහල, එඩ්වඩ් ජයකොඩි, සුජාතා අත්තනායක, ග්‍රේෂන් ආනන්ද, රූකාන්ත ගුණතිලග, චන්ද්‍රලේඛා, කීර්ති පැස්කුවල්, පුන්සිරි සොයියා, ජගත් වික්‍රමසිංහ වැනි කලින් පරපුරේ ජනප්‍රිය පිරිස මෙන් ම නව පරපුරේ කිත්සිරි ජයසේකර, රොහාන් ශාන්ත බුලේගොඩ, නිරෝෂා විරාජිනී, වැනි ගායක ගායිකාවන් රැසක් ද වෙති.

ඔහු ගීත රචනා කරද්දී අපූරු යෙදුම් හා වස්තු විෂයයන් යොදා ගන්නා බවට බොහෝ නිදසුන් ඉදිරිපත් කළ හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා