රාජ්‍ය නායකයාගේ අවධානය තැපෑල වෙත

රාජ්‍ය නායකයාගේ අවධානය තැපෑල වෙත

පසුගිය ඉතිහාසය පුරා සිදු නොවුණ ආකාරයේ වේගවත් සංවර්ධනයක් තැපැල් සේවය තුළ ඇතිවීම කෙරේ ජනාධිපතිතුමන්ගේ දායකත්වය හා මැදිහත්වීම පිටුවහලක් වූ බව තැපෑලට ආදරය කරන සියලුදෙනා දන්නා කාරණයකි.

විශේෂයෙන් උතුරු නැඟෙනහිර ප්‍රදේශවල බිඳ වැටුන තැපැල් සේවය උතුරු වසන්තය වැඩසටහනට සමගාමීව යළි නගාසිටුවීමට විශාල මුදල් සම්භාරයක් තැපැල් දෙපාර්තමේන්තුවට අයවැය ප්‍රතිපාදන ඔස්සේ ලබාදීමට කටයුතු කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් තැපෑලට නව තාක්ෂණය එක් කිරීමටද විශාල මුදල් ප්‍රමාණයක් ලබාදීම මෙහිදී කැපී පෙනේ.

විශේෂයෙන්ම මින් පෙර කිසි දිනක රාජ්‍ය නායකයකුගේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොවුණ තැපැල් සේවය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ අවධානයට ලක්වීම සුවිශේෂී තත්ත්වයකි. මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති රාමුව තුළ ශ්‍රී ලංකා තැපෑල පිළිබඳව ඉතා වැදගත් කාරණා කිහිපයක් සඳහන් වීම මෙයට හොඳ සාක්ෂියකි. එහි එන “2020 දැක්ම” යන්නෙහි සඳහන්ව ඇත්තේ “පරිශීලක හිතකාමී නව්‍යකරණය වූ තැපැල් සේවයක්” යන්නයි. එහිදී තැපෑලට සහ තැපැල් සේවයට 21 වැනි සියවසට ගැලපෙන ආකාරයට සේවා ජාලය පුළුල් කර ගැනීමට වැඩසටහන් කිහිපයක් දක්වා තිබේ. ඒවා අතර තැපැල් සාප්පු ක්‍රමය හඳුන්වාදීම සහ තැපැල් සාප්පු විද්‍යුත් තැපැල්, අන්තර්ජාල පහසුකම් ලබාදීම, ත්‍රිමාණ නිර්මාණ පහසුකම් ලබාදීම, නිර්මාණ පහසුකම් සහිත තැපැල් කාර්යාල කුඩා සුපිරි වෙළෙඳසල් බවට පත්කිරීම තැපැල් ගිණුම් පුරවැසියන් අතර ප්‍රචලිත කිරීම සඳහා පියවර ගැනීම, පෞද්ගලික අංශය සමඟ අත්වැල් බැඳ ගනිමින් ලෝක තැපැල් සංගමය සමඟ අත්වැල් බැඳ ගැනීමට පියවර ගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වී තිබේ.

එකී කාරණා සියල්ල ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අමාත්‍යතුමාත් තැපැල් දෙපාර්තමේන්තුවත් මේ දිනවලදී කටයුතු කරමින් සිටී. ජනපතිතුමන්ගේ පදවි ප්‍රාප්තිය සහ උපන් දිනය සමරන මොහොතේදී ජාතියට යුතුකම් ඉටු කළ රාජ්‍ය නායකයෙකු ලෙස ජාතියේම ගෞරවය හිමිවනවාට අමතරව සකළ දේශ දේශාන්තරයන්හි විහිදී ගිය තැපැල් පවුලේ ගෞරවනීය ආචාරය ද එතුමන්ට මේ මොහොතේ හිමි කරදිය යුතුය.

උතුරට පැමිණි තැපැල් වසන්තය

වසර දෙසීයකට අධික වූ පෞරාණික වංශ කතාවකට හිමිකම් කියන්නා වූ ශ්‍රී ලංකා තැපෑල පසුගියදා සමරනු ලැබුවේ 137 වන ලෝක තැපැල් දිනයයි. කොළඹ ශ්‍රී ලංකාවේ අගනුවර සිට ගම් නියම්ගම් පුරා පැතිරුණු සේවා ජාලයක් ඇති ශ්‍රී ලංකා තැපැල් සේවාව අද වනවිටත් ශ්‍රී ලාංකීය සන්නිවේදනයේ ප්‍රමුඛයා ලෙස තම සේවා තත්ත්වයක් පවත්වාගෙන යනු ලබන්නේ මහජනයාත් තැපෑලත් අතර, ඇති යාවජීව ලබැදියාව හා විශ්වාසය නිසාමයි.

පරවි තුඩින්, ඊතලයෙන්, හූ හඬින් ඇරඹුණ ලෝක සන්නිවේදන ක්‍රියාන්විතය විවිධ අවධීන් පසු කරමින් අද වන විට අවකාශය තුළින් කෙරෙන්නා වූ අදෘශ්‍යමාන සංග්‍රාමයක් දක්වා වර්ධනය වී ඇති යුගයකට පිවිස ඇත. එකී ක්‍රියාන්විත සන්නිවේදනයේ ලාංකීය සන්නිවේදන මූලය වු ශ්‍රී ලංකා තැපෑල පසුගිය වසර ගණනාව තුළ අත්කරගත් ප්‍රගතිය පිළිබඳ පසු විපරමක යෙදෙනුවේ පසුගිය 137 වන ලෝක තැපැල් දිනයට සමගාමීවය.

විධිමත් හා කාර්යක්ෂම තැපැල් සේවාවක් ජනතාවට ලබාදීම දැක්ම ලෙස හඳුනාගත් තැපැල් සේවා අමාත්‍යාංශය මේ වන විට එකී දැක්ම මුදුන් පමුණුවා ගැනීම සඳහා අමාත්‍යාංශය යටතේ පවතින එකම දෙපාර්තමේන්තුව වූ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එකී ඉලක්කය දක්වා මෙහෙයවමින් සිටී. මෙහි දී අපට දකින්නට ඇති සුවිශේෂී තත්ත්වය නම් අමාත්‍යාංශයත්, දෙපාර්තමේන්තුවත් මෙහිදී ගසට පොත්තත්, පොත්තට ගසත් බදු වූ එකඟතාවයකින් මෙකී ඉලක්ක වෙත හඹා යාමයි.

දශක තුනක් පුරාවට පැමිණි බියකරු යුද්ධය නිමවීමත් සමඟ මහින්ද චින්තනය හරහා බිඳ වැටුන උතුර නැවත පුනරුදය ලබමින් සිටී. ඒ තුළ තැපැල් සේවය සතු සේවා සකස් කොට විදහා දක්වමින් සංවර්ධන සන්නිවේදනය පුළුල් කිරීම සඳහා පියවර රාශියක් ගන්නෙමු. උතුරු පළාත තුළ සිවිල් පරිපාලනය ප්‍රතිස්ථාපනය වීමත් සමඟ උතුරු වසන්තය වැඩසටහනට සමගාමීව යාපනය, මන්නාරම්, කිළිනොච්චිය, මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්ක තුළ පිහිටි තැපැල් හා උප තැපැල් කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් අලුතින් කාර්යාල ඉදිකිරීම තැපැල් බෙදීමේ පහසුකම් වැඩි දියුණු කිරීම ලිපි තැපැල් කිරීමේ පහසුකම් වර්ධනය කිරීම යනාදී සේවාවන් රාශියක් උතුරට ලබාදෙන ලදී. මීට අමතරව තැපැල් බෙදීම සඳහා නවීන වෑන් රථ කිහිපයක් ද උතුරු පළාතට ලබාදීම මේ යටතේ සිදුකෙරිණි. යුද සමයේ ද බිඳ වැටුණ උතුරු දකුණු මානව සන්නිවේදනය නගාසිටුවීම සඳහා වර්තමාන රජය තැපැල් සේවාව ඔස්සේ විශාල මුදල් සම්බාරයක් වැය කර ඇති ඔබට ඉහත සියල්ල සාක්ෂි දරනු ඇත.

පෞරාණිකත්වය නූතනත්වයෙන් සන්නද්ධ කිරීම

වසර දෙසීයකට අධික වු ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා තැපැල් සේවය සතුව පෞරාණික සන්නිවේදන මෙවලම් මෙන්ම පෞරාණික ගොඩනැඟිලිද රාශියක් දිවයින පුරා විසිරී පැතිරී පවතී. මේවායේ පෞරාණික වටිනාකම එලෙසින්ම පවතින ආකාරයට ඒවායේ සේවා ජාලය නුතන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමට තැපැල් සේවා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත. මෙහිදී කොළඹ, නුවර, ගාල්ල, මාතර, අනුරාධපුර යනාදී වශයෙන් මුලික වටයේ ද දෙවන වටයේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පවතින එවැනි හඳුනාගත් ස්ථානය ද මේ ආකාරයට නවීකරණය කිරීමට බලාපොරොත්තු වේ. මේ ඔස්සේ නගර අලංකාරය මෙන්ම පාරිභෝගික ආකර්ශණය වැඩිදියුණු කර ගැනීම ද මෙහි අපේක්ෂාව වී තිබේ. මෙහි විශේෂත්වය වී ඇත්තේ එම ගොඩනැඟිලිවල පුරාවිද්‍යාත්මක වටිනාකමට කිසිදු හානියක් නොවන ආකාරයට ප්‍රතිසංස්කරණය කොට නවීනත්වයට ගැලපෙන ආකාරයට සකස්කොට භාවිතයට ගැනීමයි. මෙහිදී මෙම කාර්ය සඳහා පුද්ගලික ආයතනවල හා සමාගම්වල අනුග්‍රාහකත්වය ලබාගැනීමට ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී.

ශ්‍රී ලංකා තැපෑල සංචාරක කර්මාන්තයටත් අත ගසයි

පසුගියදා සමරනු ලැබූ ලෝක සංචාරක දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය විසින් මුද්දර දහයක් නිකුත් කරනු ලැබුවේ, ලෝකය පුරා විසිරුනු ජනයාගේ ආකර්ශණය ලංකාව වෙත ලබාදීමටය. මෙහිදී ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ආරක්ෂා වන ආකාරයට ශ්‍රී ලංකාව සතු පෞරාණික ස්ථාන, පූජනීය ස්ථාන හා ස්වභාව සෞන්දර්ය කෙරේ වැඩි අවධානයක් ලක්කරන ලදී. ලෝක සංචාරකයන්ගේ ඉමහත් අවධානයට ලක්වු සීගිරිය, ශ්‍රී ලංකාවේ අතිසුන්දර දිය ඇළි, මනරම් වනාන්තරවල දිවි ගෙවන වන සතුන් මෙකී මුද්දර සඳහා තේමා වූ අංගයන් කිහිපයක් වන අතර, ත්‍රස්තවාදයෙන් නිදහස් වූ සුන්දර දිවයින වටා පිහිටි ආකර්ශණීය වෙරළ තීරය ද මෙම මුද්දර සඳහා තේමාව තිබේ. විශේෂයෙන්ම නැෙඟනහිර පළාතේ පිහිටි නිලාවේලී, ආරුගම්බේ යන සුන්දර වෙරළ තීරය මේ සඳහා යොදා ගෙන තිබේ. මේ මගින් ශ්‍රී ලංකා තැපෑල සංචාරක ආකර්ශනය ශ්‍රී ලංකාව වෙත ඇද බැද ගැනීමට විශාල සේවාවක් සපයමින් සිටී. තවද ශ්‍රීී ලංකාව සතු සාම්ප්‍රදායික නර්තන අංග පාරම්පරික ආයුර්වේද සත්කාර ක්‍රම පිළිබඳද මුද්දර නිර්මාණය කිරීම මගින් වඩා වැඩි දැනුමක් ශ්‍රී ලංකාව පිළිබඳව සංචාරක ප්‍රජාව ඇති කිරීමට තැපැල් සේවය පියවර ගෙන ඇත.

ලංකාවේ ප්‍රථම වතාවට ජාතික මුද්දර ප්‍රදර්ශනයක් පසුගිය 2010 වසරේ පැවැත්වු අතර, මෙහිදී විශේෂ අවධානය යොමු කළ කාරණා කිහිපයක් විය. එනම් මුද්දර ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අවශ්‍යතාවයක් වූ අතර, කළු කඩ මිල ගණන් ඔස්සේ විවිධ පුද්ගලයන් පවත්වාගෙන ගිය මුද්දර ඒකාධිකාරියේ බිඳ දැමීම ද මෙහි තවත් විශේෂත්වයක් විය. මේ සඳහා දේශීය හා විදේශීය මුද්දර එකතු කරන්නන්ගේ විශාල ආකර්ශණයක් පැවති අතර ඒ ඔස්සේ ජාතික හා ජාත්‍යන්තර තලයන්ට අපගේ රටෙහි සැඟවුණු සොබා අලංකාරය ගෙන යාමට හැකි විය. මීට අමතර දේශීය හා විදේශීය මුද්දර ලෝලීන්ගේ ඉල්ලීම මත පසුගිය වසර හතරක් පුරා නිකුත් කරන ලද මුද්දර සංකේතවත් කරමින් විශේෂ මුද්දර පොත් හතරක් නිකුත් කිරීමට ද මුද්දර කාර්යාංශය පියවර ගෙන තිබේ. එදා මෙදාතුර තැපැල් ඉතිහාසයේ මුද්දර නිකුත් කිරීමට හා මුද්දර එකතු කිරීමේ කලාවට නවමු අත්දැකීමක් එකතු කරමින් ලබන 2012 ජාත්‍යන්තර මුද්දර ප්‍රදර්ශනයක් කොළඹ දී පැවැත්වීමට ද තැපැල් සේවා අමාත්‍යවරයාගේ උපදෙස් මත තැපැල් සේවා අමාත්‍යාංශයත් තැපැල් දෙපාර්තමේන්තුවත් මේ දිනවලදී කටයුතු කරමින් සිටී.

තැපැල් ඉතිහාසය ජාතියට බෙදන තැපැල් කෞතුකාගාරය

වසර දෙසීයකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ අගනුවර සිට අතිදුෂ්කර ගම්මාන දක්වා සන්නිවේදන ක්‍රියාන්විතය රැගෙන ගිය ශ්‍රී ලාංකීය තැපෑල මිනිසුන්ගේ සුබ පණිවුඩය මෙන්ම මරණය පිළිබඳ ශෝකී පණිවුඩයද රැගෙන ගියේ ජනතා හදවතට ළෙන්ගතුව පණිවුඩකරුවා ලෙසය. එකී ඉතිහාසය පුරා කළ සේවය හා ඒ සඳහා යොදාගත් විවිධ යුග නියෝජනය වන ආකාරයේ මෙවලම් අද ඔබට විශේෂයෙන් ජාතියේ අනාගත පරම්පරාවට එකම තැනකදී දැක ගැනීමේ පහසුව තැපැල් සේවා අමාත්‍යාංශයත් දෙපාර්තමේන්තුවත් මගින් ලබා දී තිබේ. ඒ සියල්ල එක්කොට තැනූ තැපැල් කෞතුකාගාරය මගින් මෙකී කෞතුකාගාරය ඉදිකිරීම ආරම්භ වී බොහෝ කාලයක් ගත වූ අතර එය ඉතා කඩිනමින් ඉදිකොට විවෘත කිරීමට කටයුතු යොදන ලද්දේ වර්තමාන තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග ඇමැතිවරයාගේ සංකල්පයකට අනුව බව එතුමන්ට ගෞරවයක් වශයෙන් මෙහි ලියා තැබිය යුතුය. මෙහි කෞතුකාගාරයක් පමණක් නොව ලාංකීය ඉතිහාසයේ ඉතාම ඉපැරණි මුද්දර එකතුවක් ඇති මුද්දර ප්‍රදර්ශනාගාරයක් ද තිබීම සුවිශේෂී වේ.

ශ්‍රී ලාංකීය තැපෑල නවීන තාක්ෂණය හා අත්වැල් බැඳ ගනී

මුද්දර ප්‍රදර්ශනාගාරය හා තැපැල් කෞතුකාගාරය පසුගිය 2010 ජනාධිපතිතුමන් අතින් විවෘත වූ අතර, එදා සිට මේ දක්වා දේශීය විදේශීය සංචාරකයන් විශාල පිරිසක් දිනපතා මෙය නැරඹීම සඳහා පැමිණේ. මීට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පාසල් දරුවන් විශාල ප්‍රමාණයක් මෙම කෞතුකාගාරය හා මුද්දර ප්‍රදර්ශනාගාරය නැරඹීම සඳහා පැමිණෙමින් සිටී.

මෙරට තැපැල් කාර්යාල පද්ධතිය ආරම්භ කරන ලද්දේ ලංදේසී ජාතිකයන් බවට ඉතිහාසය සාක්ෂි සපයනු ලබන අතර, ඒ සඳහා හොඳම සාක්ෂිය වනුයේ ඔවුන් විසින් නිකුත් කරන ලද චක්‍රලේඛනයන්ය. මේවා අදටද ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව නොනැසී පවතී. අනතුරුව බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙරට තැපැල් දෙපාර්තමේන්තුව පිහිටුවා ව්‍යාප්ත කරන ලදී. තැපැල් දෙපාර්තමේන්තුව විවිධ සන්නිවේදන අවධීන් පසු කරමින් පැමිණ නවීන තාක්ෂණික යුගයට පැමිණීම දක්වා වූ සන්නිවේදනයේ විවිධ මංසලකුණු සලකුණු කරන්නා වු මෙවලම් උපකරණ යනාදී බොහෝ දේ මෙම කෞතුකාගාරය තුළින් අපට දැකගත හැකිය. පැරණි කාසි වර්ග හා එකී යුගයන් තුළ සමාජය පැවති චර්යා රටා හඳුනා ගැනීමටද මෙකී කෞතුකාගාරයෙන් ලැබෙනුයේ මහඟු පිටිවහලකි.

තොරතුරු තාක්ෂණය යනු වේගයෙන් සංවර්ධනය වන්නා වු ශ්‍රී ලංකාව වැනි රටකට ඉතාම වැදගත් වන්නා වූ විශේෂ අංගයකි. එය ඉතා මැනවින් තේරුම් ගත් තැපැල් සේවා අමාත්‍යාංශය පසුගියදා මහජන චීනය සමඟ සන්නිවේදන ගිවිසුමකට අස්සන් තැබූහ.

මෙහි ප්‍රධාන අරමුණ බවට පත්වූයේ චීන රජය හා ශ්‍රී ලංකාව අතර, ද්විපාර්ශ්වීය සන්නිවේදනය පුළුල් කර ගැනීම හා සන්නිවේදන සහයෝගීතාවය වර්ධනය කර ගැනීමයි. මීට අමතරව තොරතුරු හුවමාරු කරගැනීම, සංවර්ධන ප්‍රතිපත්ති හුවමාරුව, සන්නිවේදන යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය යනාදිය පෙන්වා දිය හැකි අතර, මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව යනුවෙන් තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා අත්සන් තැබූ අතර, චීන රජය වෙනුවෙන් එහි කර්මාන්ත හා තොරතුරු අමාත්‍ය සී ගුවෝ හූ මහතා අස්සන් තැබිණි. ජීවන් කුමාරතුංග මහතා තැපැල් සේවා අමාත්‍යධූරය බාර ගැනීමෙන් අනතුරුව මෙය තබන ලද යෝධ පියවරක් වශයෙන් සඳහන් කළ හැකිය.

මීට අමතරව පසුගිය කාලය තුළ තැපැල් දෙපාර්තමේන්තුවට විවිධ චෝදනා රාශියක් එල්ල වූයේ සිදුවන්නා වු විවිධ අක්‍රමිකතාවයන් හේතු කොටගෙනය.

මේ පිළිබඳව තැපැල් වෘත්තීය සමිති හා මහජනයා විසින් සිදු කරන ලද විවිධ චෝදනා හා යෝජනා සැළකිල්ලට ගෙන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි තැපැල් සේවයේ ප්‍රධාන මර්මස්ථානයක් වන මධ්‍යම තැපැල් හුවමාරුවට අති නවීන කැමරා පද්ධතියක් සවි කිරීමට පියවර ගන්නා ලද අතර, එකී ආරක්ෂක කැමරා පද්ධතිය මගින් අදාළ කාර්යාල රාජකාරී සියල්ල එක් ස්ථානයක සිට නිරීක්ෂණය කිරීමේ හැකියාව නිරීක්ෂණ නිලධාරින්ට සැලසේ.

මෙම හේතුවෙන් විශේෂයෙන් පාර්සල් භාණ්ඩ සඳහා විශාල ආරක්ෂාවක් සැලසෙන අතර, තැපෑල කෙරේ බිඳ වැටුණ පාරිභෝගික විශ්වාසය තහවුරු කර ගැනීමට ද විශාල හැකියාවක් ලැබේ.

මෙම පද්ධතිය පැය විසි හතර පුරාම ක්‍රියාත්මක වන අතර, කැමරා 106 කින් සමන්විතය. විදේශීය ආධාර මත සවිකෙරුණ මෙම නිරීක්ෂණ කැමරා පද්ධතිය සඳහා රු. මිලියන 8.5 ක මුදලක් වැය කොට තිබේ.

මීට අමතරව තැපැල් දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ජාත්‍යන්තර භාණ්ඩ හුවමාරුව සඳහා මෑතක දී හඳුන්වා දුන් බාර්කෝඩ් (ඕචපජධඤඥ) ක්‍රමයද පාරිභෝගික විශ්වාසය තැපෑල කෙරේ පවත්වාගෙන යාමට විශාල පිටුවහලක් සපයයි.

ලියාපදිංචි තැපෑල හරහා කෙරෙන භාණ්ඩ බෙදා හැරීම සඳහා මින් ඉදිරියට විශේෂ බාර්කෝඩ් ක්‍රමයක් භාවිතා කරනු ඇති අතර, භාණ්ඩය යවන්නාගේ සිට ලැබෙන්නා දක්වා සුවිශේෂී ආරක්ෂාවක් සපයන්නා වූ විධිමත් ක්‍රමවේදයක් බවට පත්ව ඇත.

මීට අමතරව රටේ පවතින විවිධ සන්නිවේදන සමාගම් සමඟ තැපෑල අත්වැල් බැඳගත් අතර, ඔවුන්ගේ ද සහයෝගය ඇතිව තම සන්නිවේදනය ජනයාට වඩා සමීප කරවීමට පියවර ගත්තේය.

ශ්‍රී ලංකා මොබිටෙල් සමඟ එක් වූ තැපෑල ලියුම්කරු මගින් ගෙදරටම “රී ලෝඩ්” පහසුකම් ලැබෙන්නා වූ ක්‍රමවේදයක් සකස් කළේය. එය ද පසුගිය වසර තුළ ශ්‍රී ලංකා තැපෑල තබන ලද ඉදිරි පියවරකි.

මීට අමතරව දේශීය මුල්‍ය ආයතන සහ බැංකු ගණනාවක් සමඟ අත්වැල් බැඳගත් තැපෑල සන්නිවේදනයේත් මූල්‍ය ක්ෂේත්‍රයෙත් ඉදිරි පියවර ගණනාවක් ගැනීමට පසුගිය කාලය තුළ සමත්කම් දක්වා තිබේ.

ජනතාවට වඩාත් සමීප තැපැලක්

තැපැල් සේවය වඩාත් කාර්යක්ෂම කරමින් පාරිභෝගික විශ්වාසය තහවුරු කර ගනිමින් ඉදිරියට ගෙනයාම සඳහා පසුගියදා සමස්ත තැපැල් කාර්යාල පද්ධතිය ජාලගත කරන ලදී.

මේ සඳහා සැලසුම් හා සම්පත් දායකත්වය සපයන ලද්දේ මොරටුව විශ්වවිද්‍යාලය මගිනි.

දිවයින පුරා ඇති අධි ශ්‍රේණී තැපැල් කාර්යාල පළමු පන්ති තැපැල් කාර්යාල, දෙවන පන්තියේ තැපැල් කාර්යාල 641 ක් මෙම ව්‍යාපෘතියට අදාළ කරගත් අතර, ඒවායේ සේවාවන් එකිනෙක යා කරමින් මෙම ව්‍යාපෘතිය පසුගියදා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් විවෘත කරන ලදී. මෙහි ඇස්තමේන්තු වටිනාකම රුපියල් මිලියන 300 ක් පමණ වේ.

මීට අමතරව තැපැල් සේවා අමාත්‍යාංශය මගින් ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන සංවර්ධන ක්‍රියාන්විතයන් අතර, ව්‍යාපාරික තැපැල් මධ්‍යස්ථාන පිහිටුවීම (ඩ්රඡපඪඤ ර්චඪත) සහ උප තැපැල් කාර්යාල ජාලගත කිරීම යනාදී කාරණා ඉදිරියේ දී සිදුකිරීමට තැපැල් සේවා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.

වේගයෙන් සංවර්ධනය කරා ළඟාවන්නා වූ දකුණු ආසියාතික රටක් වන ශ්‍රී ලංකාව තුළ සංවර්ධනයේ ප්‍රධානතම අංගයක් වු සන්නිවේදනයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා තැපෑල හෙට දවසේ ද තම ජයග්‍රාහී මාවත වෙත රැගෙන යම තැපැල් සේවා අමාත්‍යාංශයේ බලාපොරොත්තුවයි.

මහින්ද චින්තනයේ එන පරිශීලක හිතකාමී නමස්කරණය වූ තැපැල් සේවයක් යන්න ජනතාව අතර, ස්ථාපිත කිරීම තැපැල් සේවා අමාත්‍යාංශයෙත්, තැපැල් දෙපාර්තමේන්තුවෙත් අප්‍රමාණ බලාපොරොත්තුවයි.

ශ්‍රී ලාංකීය තැපෑල ජාත්‍යන්තරය ජය ගනී

ශ්‍රී ලාංකීය තැපැල් සේවය මෙරට පාරිභෝගිකයන් අතර, පමණක් නොව දේශ දේශාන්තරයන් තුළ පවා මහත් ගෞරවාදරයට පත්වීම පසුගිය කාලයේ දී සිදු විණ. එයට හොඳම සාක්ෂි කිහිපයක් ඉතා මෑත ඉතිහාසයෙන් සොයාගත හැකිය.

ශ්‍රී ලංකා තැපෑල 2010 වසර සඳහා විශ්ව තැපැල් සංගමය විසින් පිරිනමන ලද සී මට්ටමේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, 2011 මැයි 17 වැනිදා බෙල්ජියමේ පැවැත්වූ අන්තර්ජාතික තැපැල් සම්මාන උළෙලේ දී කේවල ව්‍යාපෘති අංශයෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා තැපැල් සේවය සමත්විණි.

මෙයට හේතු වූයේ ශ්‍රී ලංකා තැපෑල විසින් හඳුන්වා දෙන ලද ඛ් – ර්‍ථචර මෘදුකාංගය බව එහිදී සඳහන් විණි.

මේ අනුව ශ්‍රී ලංකා තැපැල් සේවය දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ඉදිරියට යාම ශ්‍රී ලංකාව රටක් ලෙස ලැබූ ජයග්‍රහණයකි.