විහිළු තහළුවෙන් පැමිණි හඬ නිළිය

විහිළු තහළුවෙන් පැමිණි හඬ නිළිය

රංගන දිවියේ 56වන වසර පසුකරන ප්‍රවීණ රංගන ශිල්පිනී

ගුවන් විදුලියෙන් හඬ නිළියක ලෙස කලා ලොවට පිවිසි නෙතලි නානායක්කාර සිය රංගන දිවියේ 56 වැනි වසර ද සිය දිවි මගේ 75 වැනි වසර ද සපුරන්නීය. ඒ මෙම මස 26 වනදා ය.

පාසල් බාලිකාවකව සිටියදී හඬ නිළියක ලෙස ගුවන් විදුලියේ විහිළු තහළු වැඩ සටහනින් මුලින්ම ශ්‍රී ලාංකේය දනන් හඳුනා ගත් නෙතලි නානායක්කාර එවකට කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු හැදෑරුවා ය. එහිදී පාසල් වේදිකාවෙන් සිය කථික හැකියාවන් පෙන් වූ නෙතලි ගුවන් විදුලියේ එච්. ඩී. විජේදාස නිෂ්පාදනය කළ “විහිළු තහළු” වැඩසටහනට මුලින්ම සම්බන්ධ වූවාය. ගුවන් විදුලියේ ළමා ශිල්පිණියක වූ නෙතලි එවකට ගුවන් විදුලියට නැතිවම බැරි නිළියක වූයේ ඈ තුළ තිබුණ නිසඟ හැකියාව නිසාම ය. ගුවන් විදුලියේ විචිත්‍රාංග, ජාතක කතා, බෞද්ධ නාට්‍යය සඳහා නෙතලි නානායක්කාරගේ නම නිරන්තරයෙන් අසන්නට ලැබිණි.

රූපවාහිනිය ශ්‍රී ලංකාව තුළ ජනපි‍්‍රය විද්‍යුත් මාධ්‍ය වීමත් සමඟ නෙතලි නානායක්කාරගේ රුව ශ්‍රී ලාංකිකයන්ට අමතක නොවන මතකයක් ජනිත කළේය. රූපවාහිනිය ශ්‍රී ලංකාවේ ජනිත වූදා පටන් මේ වනවිට ඇය ටෙලි නාට්‍යය සියයට වැඩි ගණනක රඟපා ඇත. ඒ අතරින් වසර 2000 දී නෙතලි “අසනි වැසි” ටෙලි වෘත්තාන්තය වෙනුවෙන් සිග්නිස් සම්මානයෙන් පිදුම් ලැබුවා ය.

චිත්‍රපට නිළියක වීම නෙතලිට මහත් කරදරකාරි එකක් වූවා ය. ඒ ඈ සිය ජීවන වෘත්තිය ලෙස පෞද්ගලික ගණකාධිකාරි ආයතනයක විගණන පරීක්ෂක වරියක ලෙස කටයුතු කළ නිසාවෙනි. යුරෝපීයයන් යටතේ පාලනය වූ එම විගණන පරීක්ෂණ ආයතනයේ සේවය අතිශය නීති ගරුක හා රූලට සිදු විය යුතුව තිබිණි. කාර්යාල වේලාව තුළදී ඉන් පිටවීම නම් නෙතලිට කිසි දිනක කර ගන්නට නොහැකි විය.

ඒ නිසාම ඇයට අහිමි වූ රූපවාහිනි ටෙලි නාට්‍යය ගණන මෙතෙකැයි කීමට ඇයට ද මතකයක් නැත. ගුවන් විදුලි නාට්‍යයන්ට සහභාගි වීම එතරම් ප්‍රශ්නකාරී නොවූයේ සවස 4.30 පසු කාර්යාල වේලාවෙන් පසුව ගුවන් විදුලි මාධ්‍යය වැඩසටහන් වල පටිගත කිරීම් සිදු වූ නිසාවෙනි. මේ හැම කලා කටයුත්තක දීම නෙතලිගේ ස්වාමියා වන වොලී නානායක්කාර ගෙන් ලද සහය අපමණ බවට ඕ ඉමහත් කෘතවේදීව අදටත් ස්මරණය කරන්නීය. වොලී නානායක්කාර යනු කෘතහස්ත ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන් ගේ පළමු ගීතය වන “සඳකඩ පහණක” නම් ගීතය ලියූ ගී පද රචකයා ය. චිත්‍රපට හා ටෙලි නාට්‍යය රංගධරයා ය.

නෙතලි නානායක්කාර දරු පස් දෙනෙකුගේ ආදරය දිනූ මවක වන්නීය. ඉන් දූවරුන් හතර දෙනෙකි. එකම පුතු වෛද්‍ය වෘත්තියේ නියැලෙයි. හේ රවි නානායක්කාර ය. කොළඹ මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය වෘත්තියේ නියැලෙයි. ඔහු ගේ ආදරණීය බිරිය වෛද්‍ය සාගරිකා නානායක්කාර ය. ඇය මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වරියයි. නෙතලි නානායක්කාර රංගන ශිල්පිනියට සිය සැමියා ගේ ද දරු පස් දෙනෙකුට සිය පියාගේ ද සෙනෙහස අහිමිව දැනට වසර අටක් ගෙවී ඇත. වොලී නානායක්කාර නම් ඒ මහා රංගධරයා මීට අට වසරකට පෙර මෙලොව හැර ගියේ ය.

නෙතලි නානායක්කාර දැන් සිරස රූපවාහිනිය විකාශය වන “ආදරේ අහස තරම්” නම් ටෙලි වෘත්තාන්තයේ “අමරා” නම් මව ගේ චරිතයට පණ පොවන්නීය.

ජීවිතයේ සැදෑ සමය මහත් සතුටින් ගෙවන නෙතලි නානායක්කාර නම් අප කතා නායිකාව “දරුවන් දිහා බලල ඉතාම සතුටින් ඔවුන් සහ මුණුබුරු මිණිබිරියන් සමග ජීවත් වෙනවා. දූවරු දෙදෙනාගෙන් එක් අයෙක් ලන්ඩන් වලත්, ඩුබායි වල තව දියණියකුත් ඉන්නවා. විවේකය ගත කරන්න එහෙත් යනවා. මගේ පුතාගෙ ගෙදරත් මෙරට ඉන්න අනෙක් දූවරුන්ගෙ ගෙදරත් මම ඉන්නවා. ඊට අමතරව මග තොටේ කඩපිලේ දකින මගේ රසික පිරිස මට දක්වන ආදරය, ලෙන්ගතුකම ලැබුනම ජීවිතයේ ලබන්න පුළුවන් සතුටක් සන්තෘෂ්ඨියක් කෙනෙකුට ඉන් එහාට තවත් ලබන්න පුළුවන්ද කියල හිතෙනවා.

මම කවදාවත් නොමඟ ගිය කෙනෙක් නොවෙයි. මගේ දරුවනුත් හරි මඟ ගියා. ඒ නිසා ජීවිතය සැහැල්ලුවෙන් මට විඳින්න පුළුවන්. කතෝලික භක්තිකයෙක් හැටියට ආගමානුකූල දිවියක් මම ගෙවනවා. කවුරුන් හෝ වේවා කුමන ආගමක හෝ වේවා එය දිවි දෙවැනි කොට විශ්වාස කරන්න. ඒ අනුව දිවිය ගෙවන්න මගේ සතුටේ මගේ පරම ධනයෙන් පරම ලාභයේ හරය එයයි කියලයි මම විශ්වාස කරන්නෙ.” පවසන්නීය.

75 වැනි විය සපුරණ නෙතලි නානායක්කාර නම් මේ මහා මාතාවට, රංගන ශිල්පිණියට තවත් 75 වියකට ආයුබෝ වේවා! ඒ අපේ ද පැතුමයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා