ඔබේ ගැටලු අප වෙත එවන්න

ඔබේ ගැටලු අප වෙත එවන්න
(වෛද්‍ය ගැටලු, ආරෝග්‍යා, ලේක්හවුස්, කොළඹ 10)

ප්‍රසව හා නාරි ගැටලු

මාස 5ක සිට ආර්තවහරණය සිදුවන්නේ නැහැ

වත්තේගම - සුලෝචනා

ද සොයිසා කාන්තා රෝහලේ

ප්‍රසව හා නාරි

විශේෂඥ වෛද්‍ය

මහාචාර්ය හේමන්ත දොඩම්පහල

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 18කි. වැඩි වියට පත් වී දැනට වසර 3ක් පමණ වෙනවා. වැඩි වියට පත් වී දින 15ක් ගත වූ පසු ආර්තවය ආරම්භ වුණා. එසේ සිදු වෙමින් එක් මාසයකට දෙවරක් ආර්තවය ඇති වුණා.

අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වුණා. ඖෂධ ලබා ගැනීමෙන් පසු ආර්තවය නිවැරැදි වී මසකට එක්වරක් ඇති වුණා. මාගේ ශරීරයේ බර කිලෝග්‍රෑම් 35ක්ව තිබුණත් එය දැන් කිලෝග්‍රෑම් 28ක් බවට පත් වෙලා. ආර්තවය ඇති නොවු විට පීඩාව දැනීම වැඩියි. දැනට මාස 5ක පමණ සිට ආර්තවය සිදු නොවේ.

මේ තත්ත්වය සඳහා ඖෂධ ලබාගත යුතු ද? මෙය ශරීර සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ද යන්න පහදා දෙන්න.

පිළිතුර

ඔබ පවසා ඇති කරුණු අනුව ආර්තවය ඇති නොවීම ඔබ වැනි අයට යහපත් තත්ත්වයකි. ඔබගේ ශරීරයේ බර අඩු වීමත්, අඩු රුධිර පරිමාවක් තිබීමත් නිසා ආර්තවය ඇති නොවී තිබීම යහපත් යැයි නිර්දේශ කළ හැකියි. එය ඔබට ඇතිවන ස්වභාවික ආරක්ෂාවක් ලෙස දක්නට පුළුවන් තත්ත්වයක්. ආර්තවය ඇතිවිය යුතුම යැයි සිතීම ද වැරැදි මතයක්. ඔබගේ අන්තරාසර්ග ග්‍රන්ථි, විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂා කළ යුතුයි. ඒ සඳහා ළඟම ඇති රෝහලකට ගොස් පරීක්ෂා කර ගැනීම වැදගත්. එසේම ඔබගේ බර හා හෝර්මෝන යථා තත්ත්වයට පත් වූ විට ආර්තවය නිසි පරිදි සිදු වේ. එනිසා ඒ පිළිබඳ අනියත බියක් ඇති නොකරගත යුතුයි.

චර්ම රෝග ගැටලු

අල්ලේ සහ යටිපතුලේ අධික ලෙස දහඩිය

කඩවත - නෙතු

වරකාපොළ මූලික රෝහලේ

චර්ම රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

ජනුකා ගලහිටියාව

ගැටලුව

වෛද්‍යතුමනි, මා උසස් අධ්‍යාපනය හදාරණ ශිෂ්‍යාවක් වෙමි. උසස් පෙළ විභාගයට පෙනී සිටි කාලයේ පටන් මා හට අධික ලෙස අත්වලට (අල්ල සහ පිට පැත්තෙහි) හා පාදවලට (යටි පතුල සහ පිට පැත්තෙහි) පමණක් දහඩිය දමයි. කිසිදු කාර්යයක් නොකරන අවස්ථාවකදී පවා අධික ලෙස දහඩිය දැමීම සිදු වේ. එය මුල් කාලයේ තිබූ පමණට වඩා ඉහළ ගොස් ඇත. මේ තත්ත්වය පාලනය කළ හැකිද? මා කළ යුත්තේ කුමක්ද?

පිළිතුර

මේ රෝගී තත්ත්වය පාලනය කරන්න පුළුවන්. එහෙත් මෙසේ දහඩිය දැමීමට බලපා ඇති ප්‍රධාන හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතුයි.

ඒ අනුව බලපා ඇති කාරණය ඉවත් කිරීමට ප්‍රතිකාර කළ හැකිය.

කෙසේ වෙතත් හේතුවක් නොමැතිව මෙසේ දහඩිය දැමීම සිදුවන්නේ නම්, ඒ සඳහා ද ප්‍රතිකාර ක්‍රම තිබේ.

ඒ අනුව, ආලේපන ප්‍රතිකාර, විද්්‍යුත් ධාරා ප්‍රතිකාර, එන්නත් ප්‍රතිකාර භාවිතා කළ හැකියි. ඊට අමතරව ප්‍රමාණයට වඩා දහඩිය දැමීම සිදු වන්නේ, නම් ඖෂධ ලබා දීමක් ද සිදු කළ හැකියි.

ඒ නිසා ඔබ කළ යුත්තේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීමය.

මෞත්‍ර ලිංගික ගැටලු

මුත්‍රා සමඟ පෙණ පිටවනවා

හොරණ - සීතා

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ

ජන්‍ය මෞත්‍ර විශේෂඥ

ශල්‍ය වෛද්‍ය

උදය පෙතියාගොඩ

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 56කි. දැනට මාස තුන හතරක් පමණ සිට මුත්‍රා කරන විට පෙන සහිතව සාමාන්‍ය ප්‍රමාණයෙන් මුත්‍රා පිටවෙනවා. මුත්‍රා කොටස් ගෙන පරික්ෂා කළා. කිසිදු වෙනසක් නොමැති බව වෛද්‍යවරයා පැවසුවා. වැඩිපුර ජලය පානය කරන්න යැයි උපදෙස් ලබා දුන්නා. එහෙත් තවමත් මුත්‍රා සමඟ පෙන පිට වෙනවා. මේ තත්ත්වය රෝගී තත්ත්වයක් ද කළ යුත්තේ කුමක්ද?

පිළිතුර

ඔබ පවසන පරිදි මුත්‍රා සමඟ පෙණ පිටවන්නේ නම්, එය ප්‍රෝටීන් පිටවීමේ තත්ත්වයක් වෙන්න පුළුවන්. එසේම ඔබට දියවැඩියාව වැනි රෝග තිබෙනවාද යන්න පරීක්ෂා කළ යුතුයි.

කෙසේ වෙතත් මේ රෝග ලක්ෂණය යටතේ ඔබ අනිවාර්යෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට ලක්විය යුතුයි. එසේම වකුගඩු රෝග සම්බන්ධ වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කර ගැනීම ඉතා වැදගත්ය.

කායික රෝග ගැටලු

වැසිකිළියාමේදී ගර්භාෂය යෝනි මාර්ගය ආසන්නයට පැමිණෙනවා

සඳමාලි - පානදුර

පානදුර මහ රෝහලේ

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

උපුල් දිසානායක

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 58කි. එසේම දෙදරු මවක් ද වෙමි. දරුවන් ද විවාහකය. මාගේ ගැටලුව වන්නේ, වැසිකිළි ගිය විට ගර්භාෂය යෝනි මාර්ගය ආසන්නයට පැමිණීමය. එය ගෙඩියක් සේ දැනෙයි. පිටතට එන්නේ නැත. සිටගත් විට එය නොදැනේ. මේ තත්ත්වය සෑම කාන්තාවකටම පොදු වූ ලක්ෂණයක් ද? මේ සඳහා ප්‍රතිකාර ගත යුතුද? කරුණු පහදා දෙන්න.

පිළිතුර

ඔබ පවසා ඇති තත්ත්වය සෑම කාන්තාවකටම ඇතිවන තත්ත්වයක් නොවෙයි. මෙය Utero vagina Prolapse නැමැති රෝගී තත්ත්වයයි.

මෙය කුඩා ශල්‍යකර්මයකින් යථා තත්ත්වයට පත් කළ හැකිය. ඒ නිසා, ඔබට පානදුර කීතුමතී රෝහලට පැමිණ ප්‍රතිකාර ලබාගත හැකියි.

මේ සඳහා ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු ද ලවා පරීක්ෂා කරගෙන ඉදිරි පියවර ගැනීම වඩාත් යෝග්‍ය වේ.