"හතිය" හදවත් රෝගවල පූර්ව ලක්ෂණයක්ද?

"හතිය" හදවත් රෝගවල පූර්ව ලක්ෂණයක්ද?

හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

නාමල් විජේසිංහ

හදවත අපට මොනතරම් වැදගත්ද? හැමදෙයටම හදවත මූලික වීම ඊට හේතුවයි. නමුත් ඒ සෑම දෙයකටම හදවත නිරෝගීව තිබිය යුතුය. රෝගී හදවතකින් සිදු කරන කිසිදු කාර්යයක් වුවද සාර්ථක ද නැත. ඒ නිසා කුමන දේටත් ප්‍රථමයෙන් අප අපගේ හදවතේ නිරෝගීකම පිළිබඳ නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතුය.

හතිය අප බොහෝවිට කතා කරන මාතෘකාවකි. ඒ ස්වසන රෝග සම්බන්ධයෙන්ය. නමුත් හතිය හදවත් රෝගයක පූර්ව ලක්ෂණයක් විය හැකි බව ඔබත් ඔබ දැන සිටියාද? එය එසේ විය හැකිය. සාමාන්‍යයෙන් අප තරමක් අසීරු කාර්යයක නිරතවන විට සුළු හතියක් ඇති වීම ස්වභාවිකය. නමුත් ඉතාමත් සුළු කාර්යයක නිරත වීමේදී පවා හතියක් ඇති වීම ස්වභාවික නොවේ. මන්ද එය හදවත් රෝගයක පූර්ව ලක්ෂණයක් විය හැකි නිසාය.

මීට අමතරව ස්වසන රෝග, ලේ අඩුකම, වකුගඩු රෝග මෙන්ම සිරෝසිස් වැනි නිදන්ගත රෝග නිසාද මෙසේ විය හැකිය. එබැවින් ඔබටත් මෙවැනි තත්ත්වයක් පවතී නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුය.

දහඩිය ගඳ ඉවසන්න බැහැ

චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ජනුකා ගලහිටියාව

බොහෝ සමීපව ඇසුරු කරන අය පවා යම් අවස්ථාවල පවසන දෙයක් නම් “මොනවා ඉවසන්න පුළුවන් වුණත් මිනිහගෙ දාඩිය ගඳ තමයි ඉවසන්න බැරි” යන වැකියයි. ඇත්තෙන්ම දහදිය මඟින් නික්මෙන අප්‍රසන්න ගන්ධය මිනිසෙකුගේ පෞරුෂය මුළුමනින්ම බිඳ දමන බව පැහැදිලිය. ඔහු/ ඇය මොනතරම් විශිෂ්ටයකු වුවත් දහදිය දුඟදින් යුක්ත නම් ඔහුගේ හෝ ඇයගේ තරු ගුණය හෝ පෞරුෂය මුළුමනින්ම කඩා හැලෙයි. ඒ නිසාම බොහෝ දෙනෙකු තම තමන්ගේ දහදිය ගඳ පිළිබඳව සැලකිලිමත් වෙයි. දහදිය යනු මිනිස් සිරුරින් පිට කරන බහිස්‍රාවීය ද්‍රව්‍යයකි. නමුත් එහි සංයුතියේ යම් යම් ගැටලු ඇතිවීම දහදියවල දුඟදක් ඇති වීමට බලපාන ප්‍රධාන හේතුව වේ.

නමුත් අසාමාන්‍ය ලෙස දුඟද ඇතිවීම විශේෂ තත්ත්වයකි. එසේම මුළු සිරුර පුරාම දහදිය දැමීම ද බොහෝ අයට ඇති තවත් ගැටලුවකි.

ඊට අමතරව ජානමය හේතූන් මත අත් පාවලට දහදිය දැමීම සිදුවිය හැක.

තයිරොයිඩ් ග්‍රන්ථියේ විවිධ ගැටලු ද මේ සමහර තත්ත්වයන්ට බලපාන බව හඳුනාගත හැක.

එසේම මෙවන් තත්ත්වයන්ට ඖෂධ ප්‍රතිකාර ඇති බැවින් මේ තත්ත්වය පාලනය කර ගැනීමේ හැකියාව පවතී.

ඒ කෙසේ වෙතත් දහදිය දුඟදට ඇති පැහැදිලිම විසඳුම නම් පුද්ගලික පිරිසිදුකම පවත්වා ගැනීමය. එනමුත් ඔබට අසාමාන්‍ය දහදිය ගැටලුවක් ඇත්නම් වෛද්‍යවරයකු මුණගැසී උපදෙස් ලබා ගැනීම වැදගත් වනු ඇත.

ප්‍රතිකාර ලැබීම තරම්ම වැදගත් වන්නේ ඉහත දැක්වූ ලෙසම නිරන්තර පිරිසිදුකමයි.

දියවැඩියාව නිසා නියපොතු නරක් වෙනවාද?

කොළඹ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය

හා ජාතික රෝහලේ දියවැඩියාව හා

අන්තරාසර්ග රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද

කකුලේ නියපොතු නරක් වීම බොහෝදෙනෙකුට පවතින ගැටලුවකි. නමුත් කීපදෙනෙක් මේ ගැන සැලකිලිමත් වෙනවාද?

නියපොතු ටික නරක් වෙලා, කැතයි. ඒත් මක් කරන්න ද ඔහේ ඉන්නවා.

මේ බොහෝ අයගේ අදහසයි. නමුත් කකුලේ නියපොතු නරක් වීම තුළින් ඉඟි කරන තවත් බරපතළ තත්ත්වයක් තිබිය හැකි බව ඔබ දැන සිටියාද?

සිරුරේ රුධිරගත සීනි මට්ටම ඉහළ යෑමේදී මෙහි දැක්වුණු ආකාරයේ විවිධ ආසාදන හටගත හැකිය. දියවැඩියාව ඇති විට ද විවිධ දිලීර ආසාදන පාද ආශි‍්‍රතව හටගත හැකිය. කකුලේ නියපොතු නරක් වීමට ඊට අදාළ හේතුවක් විය හැකිය.

ඒ අනුව දියවැඩියා අවදානම පාලනය කර ගැනීම ඔබේ මූලික වගකීමකි. එසේම මෙවැනි රෝග ලක්ෂණ නොසලකා නොහැර ඒ පිළිබඳ අවධානයෙන් සිටීම ද සැමවිට වැදගත්ය. මන්ද මෙවැනි ගණන් නොගන්නා සුළු කුඩා කුඩා රෝග ලක්ෂණ පවා දියවැඩියා වැනි බරපතළ රෝගයක පූර්ව ලක්ෂණයක් විය හැකි බැවිනි.

බෙල්ලයි කිහිල්ලයි කළු වෙලා

චර්ම රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

පී.එච්. චන්ද්‍රවංශ

“මිනිසා හොඳ උස මහත හාදයා නේද? මෙලෝ යකෙක් කිට්ටු වෙන්නෙ නම් නෑ මිනිහ ළඟට”

“ඒත් දැක්කෙ නැද්ද, මිනිහගෙ බෙල්ල කළු වෙලා, කිහිල්ල කළු වෙලා. ඒ මොකද?”

මේ, වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි. තරබාරුවත් සමඟ ඇතිවන මේ තත්ත්වය කුමක්ද?

මෙය තරබාරුව සමඟ මතුවන රෝගී තත්ත්වයකි. තවද ඊට යම් ජානමය බලපෑමක් මීට ඇති බවද හඳුනාගෙන තිබේ. එසේ වුවත් මෙය දිලීර හෝ බැක්ටීරියා ආසාදනයක් නොවේ.

මේ තත්ත්වය හඳුන්වනුයේ Acanthosis Nigricans යන නමිනි.

ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර නැති අතර විවිධ ආලේපන භාවිතයෙන් ද සමේ පැහැය වෙනස් කිරීමේ හැකියාව නැත. කෙසේ වෙතත් ජාන මඟින් ඇතිවන මේ තත්ත්වය බහුලව ඉකිලි, කිහිලි, බෙල්ල ඇතුළුව සිරුරේ නැවෙන, දිග හැරෙන සෑම තැනකම හටගත හැකි වේ.

එසේ වුවත් යම් අවස්ථාවල සම කළු පැහැ වීමට වෙනත් දිලීර හෝ බැක්ටීරියා ආසාදන හේතුවිය හැකිය. නමුත් ඒවාට සාර්ථක පිළියම් පවතී. ඊට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකුගේ සහාය පැතීම අත්‍යවශ්‍යය.