බහ තොරණ වයසේදී පවා කර්ණ ශංඛ බද්ධය කළ හැකියි

බහ තොරණ වයසේදී පවා කර්ණ ශංඛ බද්ධය කළ හැකියි

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය

මිහිර වික්‍රමාරච්චි

දරුවන්ගේ වයසත් සමඟ සිරුරේ පවත්නා අවයවවල ක්‍රියාකාරීත්වයේ වර්ධනය ද කඩිනමින් සිදු වේ. මෙලොව එළිය දුටුදා පටන් දරුවාගේ ඇස්, කන්, ආදී විවිධ ඉන්ද්‍රියයන් හරහා තමා අවට පරිසරය සියුම්ව නිරීක්ෂණය කරන දරුවා පසුකාලීනව ඒවාට හුරුවන්නේ ඉබේටම වගේ. මෙය ඉතාමත් ස්වභාවික ක්‍රියාවලියක්. විශේෂයෙන් දරුවකු කතා කිරීමට ආරම්භ කරන්නේ අවුරුද්දක පමණ කාලයක් ගත වීමෙන් අනතුරුවයි. නමුත් එසේ දරුවාට අවුරුද්දක් ගත වීමෙන් පසුවටත් ශබ්දයක්, වචනයක් පිට කර ගැනීමට නොහැකි නම් එය යම් කථනය ශ්‍රවණයට අදාළ යම් ඉන්ද්‍රියයක දුර්වලතාවක් නිසා ඇති වූවක් බව මූලික වශයෙන් හඳුනාගත හැකියි. මෙවැනි දරුවන් හැකි තරම් ඉක්මනින් හඳුනා ගැනීම වැදගත්. එසේ නොවුණහොත් මුහුණ දීමට සිදුවන ප්‍රතිඵල තරමක් බරපතළ මට්ටමට පත්විය හැකියි.

විශේෂයෙන් මූලිකව දරුවකු ශ්‍රවණාබාධ තත්ත්වයකින් පෙළුණොත් ඒ දරුවාගේ කථනය සකස් වීමට ශ්‍රවණය යන සාධකය අත්‍යවශ්‍ය නිසා එම ශ්‍රවණ ඌනතාව දරුවාගේ කථනයට වක්‍රාකාරව බාධා ඇති කරවිය හැකියි. මෙසේ ශ්‍රවණ දුර්වලතාවට පිළියම් යෙදීම ප්‍රමාද වනවිට එය දරුවා වචන කථා කිරීමට ප්‍රමාද වීම් ඇති කරනු ලැබේ.

මේ සඳහා මේ වනවිට ලොව අති නවීනතම තාක්ෂණික ක්‍රම භාවිතා කර විවිධාකාර විසඳුම් ඉදිරිපත් වී තිබෙන අතර එම විවිධාකාර උපක්‍රම අතරේ කර්ණශංඛ බද්ධය යනු ඉතා විශේෂිත ප්‍රතිකර්මයකි. සාමාන්‍යයෙන් මෙය ශල්‍යකර්මයක් වන අතර සැත්කමෙන් අනතුරුව ශ්‍රවණය යථා තත්ත්වයට පත් වූණත් කථනය පුහුණු වීමට තරමක කාලයක් ගත කිරීමට සිදු වේ. එහිදී භාෂා පුහුණුව, සංඥා පුහුණුව වැනි උපදේශනයන් ලබා දීම ද අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි. මෙම පුහුණුවීම් දරුවා සමඟ සිදු කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. කුඩා දරුවෙක් යම්කිසි ඉන්ද්‍රියයක අඩු පාඩුවක් ඇතිව ඉපදී ඇත්නම් එය දරුවාගේ මෙන්ම මාපියන්ගේ ජීවිත වලට ද විශාල අභියෝගයක්. නමුත් පෙර පැහැදිලි කළ පරිදි එම අභියෝගය වඩා පහසුවෙන් ජය ගැනීමට නවීන තාක්ෂණය මේ වනවිට සියලු වැඩ කටයුතු පහසු කර තිබේ. අවම වශයෙන් ඇස් නොපෙනී දරුවෙකු ඉපදුණු විට පෙනීම ලබා දීමට ශ්‍රවණය අහිමි වූ විට ශ්‍රවණය යථා තත්ත්වයට පත් කිරිමට මෙන්ම යම්කිසි අවයවයක් ක්‍රියාකාරී නොමැති නම් එම අවයව බද්ධ කරන මට්ටම දක්වා මේ වනවිට වෛද්‍ය විද්‍යාව තාක්ෂණයෙන් සන්නද්ධය. ඒ නිසා ඉතාම කුඩා වයසකදී දරුවාට කර්ණශංඛ බද්ධය සිදු කර සාමාන්‍ය නිරෝගී දරුවකු බහ තෝරන වයසේදී කථා කරන්නට අවස්ථාව උදාකර දෙන්නට මේ වනවිට හැකියාව තිබේ.

මෙම ශල්‍ය කර්මයේදී කන අභ්‍යන්තරික වශයෙන් තැන්පත් කරනු ලබන උපාංග වගේම සමට බාහිරින් පළඳින උපාංග ද තිබේ. මේවා ඉතාමත් සූක්ෂම මෙන්ම ඉතාමත් සියුම්ව ශල්‍යකර්මයට ලක් කෙරෙන අතර එහි සාර්ථක භාවය සඳහා මේ වනවිට ඕනෑ තරම් උදාහරණ සමාජයේ සිටින මෙම කර්ණශංඛ බද්ධ සැත්කමට මුහුණ දුන් දරුවන් ආශ්‍රයෙන් තහවුරු කරගත හැකියි. සාමාන්‍යයෙන් ශල්‍යකර්ම හරහා දරුවාගේ කන හිස ආශ්‍රිතව බද්ධ කරන මෙම උපාංග දරුවාගේ වර්ධනයත් සමඟ ශරීරයටම අනුබද්ධිත කොටස් බවට දරුවාට දැනෙන්නට පටන් ගනු ලැබේ.

සාමාන්‍යයෙන් මෙම ශල්‍යකර්මවල සාර්ථක බව පරික්ෂා කර බැලීමේ ක්‍රමවේද පවතින අතර ඒ හරහා නිශ්චිතව මේ පිළිබඳ තහවුරු කර ගැනීමේ හැකියාවක් පවතියි. මෙම ශල්‍යකර්මය වෛද්‍ය විද්‍යාත්මකව කෙතරම් සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබුණත් ඇතැම් මාපියන් තමාගේ දරුවාට එතරම් කුඩා වයසකදී මෙවැනි මොළය කන ආශි‍්‍රත ශල්‍යකර්මයක් සිදු කිරීම ඉතාමත් අවදානම් සහගත බව සිතා කර්ණශංඛ බද්ධය සිදු කිරීමට පසුබෑමක් දක්වනු ලබේ. නමුත් එය මුළුමනින්ම වැරදි මතවාදයකි. මෙහිදී ඔබ මතක තබාගත යුතු වැදගත්ම කරුණ ඔස්සේ ඔබේ දරුවාට ශ්‍රවණය ආශි‍්‍රතව යම් ගැටලුවක් තිබෙනවා නම් ඒ සඳහා කර්ණශංඛ බද්ධ සැත්කම හරහා ප්‍රතිකාර යොදා ගැනීම වඩාත් සුදුසුම වෛද්‍ය නිර්දේශය වී ඇත්නම් නොපමාව ඊට යොමුවිය යුතු බවයි. ඉන් දරුවාගේ ශ්‍රවණයට ඇති වී තිබූ බාධාවන් ඉවත් කර සාමාන්‍ය නිරෝගී දරුවෙකු හා සාමානවම තමාගේ දරුවාට ද කථනයට, ශ්‍රවණයට අවස්ථාව සැලසෙන නිසා ජීවිතයට ඇති වූ ඉතා බරපතළ අභියෝගය මේ හරහා ඉතාමත් පහසුවෙන් ජයගත හැකියි.