තැම්බුම් හොදි ආහාර රුචිය වැඩි කරනවා හොඳින් දිරවනවා

තැම්බුම් හොදි ආහාර රුචිය වැඩි කරනවා හොඳින් දිරවනවා

බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය

මංගලා මහලේකම

ගම්මිරිස්, සුදුළූණු, ගොරකා වැනි අපේ කුළුබඩු සංයෝග කර හදා ගන්නා තැම්බුම් හොද්ද දිවට ප්‍රනීත රසයක් ගෙන දෙන බව අපේ පැරුන්නන් මෙන්ම අද සමාජයේ වෙසෙන්නටද අමුත්තක් නොවන්නේය. මෙහි ඇති ප්‍රාණවත් බවේ වටිනාකම අපට දැනෙන්නේ උණ වැනි රෝගයක් සෑදුණු අවස්ථාවකයි.

මෙයට තැම්බුම් හොද්ද යනුවෙන් හඳුන්වනුයේ සියළුම කුළුබඩු වර්ග දමා තම්බා ගන්නා නිසා බැව් පැවසේ. ඈත අතීතයේ පටන් ලෙඩ වී සුවවන විට හෝ විරේකයකින් පසුව අළුත් වන බඩට දෙනු ලබන මේ තැම්බුම සිරුරේ නහර ප්‍රාණවත් කර ඔබගේ බඩගින්න වඩවයි. තැම්බුම් හොද්ද මතක් වෙද්දී කටට කෙළ උනන්නේ එය නහර පිනා යන හොඳ උත්තේජකයක් වන බැවිනි.

තැම්බුම් හොද්ද පානය කිරීම නිතර දෙවේලේ සිදු නොවුණත් යම්කිසි විශේෂිත අවස්ථාවන්හිඳී එය පානය කරයි. ආයුර්වේදයේදී මෙය උණ, සෙම ගතිය වැඩිකම, කැස්ස වැනි ශරීර අපහසුතා ඇති රෝගවලදී ඒවා සුව වී යන අවස්ථාවන්හිදී බත් සමඟ කෑමට දෙයි. නොඑසේ නම් ඖෂධයක් ලෙස තනිකරම පානය කිරීමට දෙයි. එවිට සිරුරේ අප්‍රාණික ගතිය දුරු කරනු ලබයි. ආම දෝෂය සමනය කරයි. නොදිරවූ කෑම දිරවීමටත් හොඳින් මළ පිටකිරීමටත් මෙම පානය බෙහෙවින් උපකාරී වේ.

එසේම ප්‍රසූතයෙන් පසුව මුල්කාලයේදී තැම්බුම් හොදි දීම සුලබව කරන කටයුත්තකි. වැඩියෙන් කැම රුචිකත්වය මින් බලාපොරොත්තු වේ. කෑම රුචිය වඩන ඖෂධයක් ලෙසත් බඩගිනි වැඩිවීම පිණිසත්, තැම්බුම් හොදි සඳහන් කළ හැකිය. අසනීප තත්ත්වයකදී පැවතුන කෑමට ඇති අපහසුතා නිසා ආහාර මාර්ගයේ ඇති විවිධ අකර්මන්‍යතා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරිමට මුලින්ම ගන්නා මේ තැම්බුම් හොදි ප්‍රයෝජනවත් වේ. එහි ඇති කුළුබඩු වර්ග වල ගුණය යහපත්ව ක්‍රියා කරයි. බඩ බුරුල්ව නොයන විට තැම්බුම් හොදි පානය කිරීමෙන් සියඹලා වැනි දේශීය ද්‍රව්‍ය නිසා මළ හොදින් පිටවේ. බලය වඩයි. ශරීරයේ ප්‍රාණවත් බව ඇති කරයි. විඩාවට හොද ඖෂධ පානයකි. කම්මැලිකම දුරලයි. උද්යෝගය ඇති කරයි. ශරීර උෂ්ණත්වට රැකදෙයි.

මෙවැනි කරුණු කාරණාවලින් තැම්බුම් හොදි අපට සමීප වූවත් ඉන් අගුණ වන අවස්ථාද නැතුවා නොවේ. රක්ත අර්ශස් රෝගීන්ට හා අම්ල පිත්ත (බඩදැවිල්ල) රෝගීන්ට අගුණයි. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකු තැම්බුම් හොදි භාවිතා කළාට කිසිදු වරදක් නැත. දිවට උත්තේජකයක් වන බැවින් මෙය භාවිතය නිරෝගී පුද්ගලයකුට වුවද කෑම රුචිය වඩා වර්ධනය වේ. කොලෙස්ටරෝල් රෝගීන්ට අගුණ වන අතර හෘද රෝගීන්ට ගුණ දෙයි. අධික රුධිර පීඩනය ඇති අයටත් සුදුසුයි. විටමින් ඡ් මෙහි බහුලව අඩංගු පෝෂණ පදාර්ථය වේ. අනෙකුත් විටමින් වර්ග හා ඛනිජ වර්ග සුළු වශයෙන් පවතී.