තමන්ටම ශල්‍යකර්මයක් කරගත් රුසියානු ශල්‍ය වෛද්‍යවරයා

තමන්ටම ශල්‍යකර්මයක් කරගත් රුසියානු ශල්‍ය වෛද්‍යවරයා

යම් අවස්ථාවක කෙනෙකු වැලි කතරක හෝ හිමකතරක සිටියදී ශල්‍යකර්මයක් කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඔහුට කළ හැක්කේ කුමක්ද? ශල්‍යකර්මයක් කර ගැනීමට එම කටයුතු කළ හැකි ස්ථානයකට යාම අත්‍යවශ්‍ය වන්නේය. එසේ නැතහොත් ඔහුට නියත වශයෙන්ම මරණයට මුහුණ දීමට සිදු වේ.

එවන් අවස්ථාවකට මුහුණ දීමට සිදු වූයේ ලියොනිඩ් රොගොසොව් නමැති රුසියානු ජාතික ශල්‍ය වෛද්‍යවරයාටයි. මෙය සිදුවූයේ 1961 වසරේදීය. රුසියානු රජය විසින් ඇන්ටාර්ටිකා මහද්වීපයේ සේවා කඳවුරක් පිහිටුවීම සඳහා ලියොනිඩ් මෙන්ම විද්‍යාඥයින් හා හමුදා විශේෂඥයින් එකොලොස් දෙනෙකු යවනු ලැබීය.

මානව ශිෂ්ටාචාරයෙන් සැතපුම් දහස් ගණනක් ඈත එසේම ඉවසිය නොහැකි දැඩි ශීතල පරිසරයක් මෙන්ම තෙරක් නොපෙනෙන ශ්වේත හිම කාන්තාරයක අතරමං වූවා මෙන් විය. 27 හැවිරිදි ලියොන්ඩ් රොගොසොව් පළපුරුදු ශල්‍ය වෛද්‍යරයකු විය. ඔහු මෙම චාරිකාවට සහභාගි කරගනු ලැබුවේ එයට සහභාගි වන අනෙකුත් විශේෂඥයින් ගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් ආරක්ෂා කර ගැනීම සඳහාය. එහෙත් සිදු වූයේ අනෙකකි. දිනක් හිටිහැටියේම ඔහුගේ ආමාශයේ දකුණු ඇලයේ දැඩි වේදනාවක් ඇති වීම නිසා උදේ පාන්දරම පිබිදීමට සිදු විය. එම වේදනාව පිළිබඳ පරීක්ෂා කළ ඔහුට වැටහුණේ ඔහුගේ උණ්ඩුක පුච්ඡය ඉදිමී තිබීම නිසා එම වේදනාව ඇති වූ බවය.

අතිශය අවදානම් තත්ත්වයක් ලෙස හඳුනා ගත්තේ උණ්ඩුක පුච්ඡය ඉදිමී යම් හෙයකින් පිපිරීමකට ලක් වුවහොත් ජීවිතය පවා අනතුරේ වැටෙනු ඇති බව ඔහු වටහා ගත්තේය. වහාම ශල්‍යකර්මයක් සිදු කළ යුතු විය.එය කළ හැකි වෙනත් ශල්‍ය වෛද්‍යවරයෙකු නොමැති නිසා තමාටම එය සිදු කර ගැනීමට සිදුවන බව වටහා ගත් ලියොනිඩ්ට ඒ සඳහා ආත්ම විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට සිදු වූයේ ඔහුගේ වෛද්‍ය ජීවිතයේදී එවැනි ශල්‍යකර්මයන් දහස් ගණනක් සිදු කොට තිබූ හෙයිනි.

හිමපතන ඉතාම දැඩිලෙස මුළු ප්‍රදේශයම වසාගෙන තිබූ අතර වේදනාව ද එන්න එන්නම දැඩි වන්නට විය.

“වේදනාව නිසා නිදා ගැනීම පවා අපහසු තත්ත්වය දැඩි ලෙස දැනෙන්ට වුණා. මෙම සැත්කම මා විසින්ම සිදු කළ යුතු බැවින් ඒ සඳහා සැලැස්මක් අවශ්‍යම වුණා” යැයි ලියොනිඩ් පැවසීය.

සැත්කමට අවශ්‍ය උපකරණ අවශ්‍ය වූ විට ලබාදීමට එම චාරිකාවට සහභාගී වූ දෙදෙනෙකු පුහුණු කරගන්නා ලැබුවේ එම උපකරණ ඔවුනට හඳුන්වා දීමෙනි. එසේම ශල්‍යකර්මයට අවශ්‍ය ආලෝකය ලබා ගැනීමටත් එහිදී කළ යුතු දේවල් ඔහුට බලා ගැනීම සඳහා විශාල කණ්ණාඩියක් ඔහු ඉදිරියෙන් අල්ලාගෙන සිටීමට ද කෙනෙකුට බාර දෙන ලදී. එම කඳවුර බාර නිලධාරියා ද ඒ සඳහා සහභාගි කරගනු ලැබුවේ විදුලි බල්බය අල්ලා සිටින තැනැත්තා හෝ කණ්ණාඩිය ඔසවා ගෙන සිටින තැනැත්තා හෝ එහිදී ඔහුගේ සිරුරෙන් පිටවන රුධිරය දැක සිහිසුන් වුවහොත් එම කාර්්‍යයන් ඉටු කිරීම බාර ගැනීමටයි.

යම් හෙයකින් ලියෝනිඩ්ට සිහිසුන් වුවහොත් ඒ සඳහා ඇඩ්රෙනෙලින් ඖෂධය එන්නත් කළ යුතු අන්දමත් ඔහුට කෘත්‍රිම ආශ්වාස ප්‍රාශ්වාස ලබා දිය යුතු ආකාරයත් එම සහායකයින්ට පුහුණු කර තිබිණ.

එසේම සාර්ව නිර්වින්දනයක් (General anaesthetic) ලබාදීම කළ නොහැකි නිසා ස්ථානීය නිර්වින්දනයක් ඔහුගේ ආමාශයේ එම කොටසට ලබාදිම ඔහු විසින්ම කළ යුතුව තිබිණ. එහෙත් ආමාශයේ එම ප්‍රදේශයේ කැපුමක් සිදු කොට උණ්ඩුක පුච්ඡය ඉවත් කිරීමේදී එම නිර්වින්දනයේ බලපෑමක් නොමැති වීම නිසා දැඩි වේදනාව මධ්‍යයේ ඉවසා දරාගෙන හොඳ සිහියෙන් යුතුව එම ශල්‍යකර්මය සිදු කළ යුතු බව සැත්කමට ලියොනිඩ් පෙර වටහාගෙන තිබිණ.

“මගේ සහායකයින් දෙදෙනාගේ මුහුණ ඔවුන් පැළඳ සිටි සුදු පැහැති වස්ත්‍ර වලට සමාන සුදුමැලි බවක් දක්නට ලැබුණා. ඔවුන් දැඩි බියකින් පසුවන බව මට වැටහුණා. මටත් හොඳටම බිය හිතුණා. මේක ජීවිතයත් මරණයත් අතර තත්ත්වයක්. ඒත් පළමු එන්නත විද ගැනීම සඳහා නොවොකේන් සහිත එන්නත් කටුව අතට ගත් විට මා තුළ මා ගැන විශ්වාසයක් ඇති වුණා. මගේ ශල්‍ය වෛද්‍ය පළපුරුද්ද මට උදව් වුණා. වෙනත් අයෙකුට ශල්‍යකර්මයක් කරන අන්දමට මම මටම සැත්කම සිදු කිරීමට ඇරඹුවා.” යැයි හෙතෙම පැවසීය.

එහෙත් ඔහු ඉදිරියේ තිබූ කණ්ණාඩිය අපැහැදිලි දසුනක් දැක්වීම ශල්‍යකර්මයට බාධාවක් වීම නිසා අතපත ගාමින් සැත්කම කිරීමට ලියොනිඩ්ට සිදුවිය.

උණ්ඩුක පුච්ඡය සැත්කමට භාජන කරනු ලබන අවසන් අවස්ථාවට පැමිණි අවස්ථාවේ ඔහුට සිහිය නැති වෙන තත්ත්වයක් ඇති විය. රුධිරය වහනය වීම ඉතාම දැඩිලෙස සිදු විය.

“ඒ වෙලාවේ මට ඉතාම අපහසුවක් දැනුණා. හරියට දොලොවක් අතර එනම් සිහිය හා අසිහිය අතර අතරමං තත්ත්වයක මම හිටියේ. සිත ගත දෙකම ක්‍රමයෙන් දුර්වල වෙන බවක් දැනුණා. ආමාශය තුළ තිබූ පෙරිටෝනියම් සිවිය කැපුමට ලක් කරද්දී මා අතින් බඩවැලට තුවාල සිදු වුණා. මට එය මැසීමකට ලක් කිරීමට සිදු වුණා. ඉන් පසුව උණ්ඩුක පුච්ඡයේ තත්ත්වය දැකගන්න ලැබුණා. එය හොඳටම කළු පැහැ ගැන්වී තිබුණා. තව දිනයක් පසුවුණා නම් එය පුපුරා යන්නට තිබුණා. මගේ අත් දෙකම ගල්වෙලා වගේ තිබුණා. ඉතාම අපහසුවෙන් දෑත් එතනට යවා එයට සැත්කම් සිදු කොට එය සිරුරෙන් ඉවත් කර දැමුවා.” යි ලියොනිඩ් පැවසීය.

පැය දෙකකට පසු ලියොනිඩ් රොගොසෝව් තමාටම සැත්කමක් කර ගැනීම අවසන් කරනු ලැබූ අවසන් මැහුම ද දැමීමෙන් අනතුරුවය.

නිදිපෙති කිහිපයක් ගෙන විවේකයක් ගැනීමට පෙර සැත්කම සඳහා යොදා ගනු ලැබූ උපකරණ සෝදා පවිත්‍ර කරන අන්දම ද ලියොනිඩ් විසින් ඔහුගේ සහායකයින්ට පැහැදිලිව උපදෙස් දුන්නේය.

නැවත ජීවත් වීමේ වරමක් තමන් විසින්ම ලබා ගැනීම වෛද්‍ය ක්ෂේත්‍රයේ ආශ්චර්යයක් ලෙස සැලකිය හැකියි. එසේම සැත්කම සිදු කොට සති දෙකකින් ලියොනිඩ් සේවයට වාර්තා කිරිම තවත් විශේෂත්වයකි. ලියොනිඩ් රොගොසොව් සිදු කළ මෙම ආශ්චර්යමත් වීර ක්‍රියාව වෙනුවෙන් රුසියානු රජය මඟින් Order of the Red Banner of Labour නමැති අති විශේෂ වීර සම්මානය ද පිරි නැමීම තවත් විශේෂත්වයකි.

ඇන්ටාර්ටිකා චාරිකාවෙන් අනතුරුව නැවත රුසියාවේ ඔහු සේවය කළ රෝහලට පැමිණ කිසිවක් සිදු නොවූ ලෙස සේවය කිරීම ඇරඹීය.

එහෙත් මෙම සිදුවීමෙන් අනතුරුව ඇන්ටර්ටිකාවේ විද්‍යා පර්යේෂණ සඳහා යන සියළුම රටවල විද්‍යාඥයින්ට ඔවුන්ගේ උණ්ඩුක පුච්ඡ සැත්කමට භාජන කිරීම අනිවාර්ය වීමත් අනාගතයේදී අභ්‍යාවකාශ ගත වන ගගනගාමීට එය අනිවාර්ය කරලීමත් ලියොන්ඩ් ගේ අත්දැකීම සමඟ ඇති වූ ප්‍රතිඵල ලෙස දැක්විය හැකිය.