කාගෙද මේ දෝණි

ළදරු පාසල් යන්න සූදානමින් හිටිය පුංචි දූ අම්මගෙ සාරි පොටේ එතෙන්න ගත්තා.

“නිකං ඉන්නකො පුතේ අම්මට අඳින්න පමාවෙනවා. කෝ ගිහින් සපත්තු දෙක දා ගන්න. “

අම්ම කිව්වා. කියන පමාවට ඒ වැඩේ කරපු දූ ආයිත් ආවා. අම්ම වටේ එතෙන්න ගත්තා.

“මොකද අද දූ කවදක්වත් නැතිව මේ ඇගේ ඇතිල්ලෙන්නෙ.. “ අම්මා කල්පනා කරන්න ගත්තා.

“අම්මේ, “ ආයිමත් හුරතලේ

“ඇයි මගෙ දූ?” අම්ම හරි ආදරණීය විදියට ඇහුවා..

“මම අම්මයි තාත්තයි ළගට ආ‍වේ ‍කොහෙන්ද?”

ගහෙන් ගෙඩි එන්න වගේ ලොකු ප්‍රශ්නයක් දූ එකපාරට ම ඇහැව්වා

“ආ...., චුටි කුරුල්ලෙක් තාත්තටයි මටයි දූවව ගෙනත් දුන්නනේ. ඇයි ම‍ගෙ දූ “

අම්මා සුරංගනා කතාවක් කීවා.

“අම්මා කියන්නෙ බොරු නේද? අම්මයි තාත්තයි කසාද බැන්ද හින්ද නේද මම අම්මා ගාවට ආවේ”

දූ ඇහුවා.

“කවුද ඔයාට ඒ පැහිච්ච කතා කියල දුන්නෙ .... “

අම්ම ටිකක් සද්දෙ දැම්මා.

“ඉතින් අම්මා බොරුනෙ කියන්නෙ, අපේ ටීචර් තමයි එහෙම කියල දුන්නෙ... “

“මොනවද මගෙ දුට ටීචර් කීවේ.. “

ගුරුතුමී වැරදි වැඩක් කරලද මන්ද වගේ අදහසකින් අම්මා දූ ගෙන් ඇහැව්වා.

“අපේ ටීචර් කිව්වෙ අම්මයි තාත්තයි කසාද බැන්දහම තමයි බබාලා ඒ ගොල්ල ළඟට එන්නෙ කියල. ම්... තව ටීචර් කිව්වා අපි හැ‍මෝම අපේ අම්මගෙයි තාත්තගෙයි කියල, අම්මයි තාත්තයි කසාද බැන්දහම බබාලා අම්මලා තාත්තලා ළඟට එනවලු. අම්මටයි තාත්තටයි තියෙන වටිනාම වස්තුව බබාල හින්ද බබාල හුඟක් පරිස්සම් වෙන්න ඕනි කිව්වා”.

දූ සිඟිත්ත ලොකු කතාවක් කියාගෙන ගියා.

“වෙන මොනවද දූ ටීචර් කිවේ...? “

අම්මා ආයිමත් දූගෙන් ඇහුවා.

“බබාලව අයිති අම්මටයි තාත්තටයි විතරයිලු. ඒ හින්ද අම්මයි තාත්තයි නැතිව වෙන කාටවත් ම අපිව අතගාන්න අල්ලන්න දෙන්න එපා කියලත් අපේ ටිචර් කිව්වෙ. තව .... ම්.. අම්මයි තාත්තයි කියපු කෙනෙක් ඇරෙන්න වෙන කා එක්කවත් කොහේවත් යන්න එපා කියලත් ටීචර් කිව්වා. එහෙම කවුරු හරි කතා කළොත් හරි අතගාන්න අල්ලන්න අවොත් හරි අම්මට තාත්තට හරි ටීචර්ට හරි කියන්න කිව්වා. “

ලිංගික හා ප්‍රජනක ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍සෞඛ්‍ය පිළිබද මාධ්‍ය‍‍‍‍වේදීන් දැනුවත් කිරි‍මේ සම්මන්ත්‍රණයක් පසුගියදා පවුල් සංවිධාන සංගමයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. දරුවන්ට කුඩාවි‍යේ දීම ලබාදෙන නිසි අධ්‍යාපනය මගින් ඔවුන් ගේ අනාගතය වඩා සුරක්ෂිත කිරිමේ වැදගත්කම ‍එහිදී කතා බහට ලක්වුණා. එයට සහභාගීවූවන්ගේ පුද්ගලික අත්දැකීම් කතාබහ කිරී‍මේ දී එක් මවක් ඉදිරිපත් කළ ඇගේ අත්දැකිමක් මේ.

ආදරණීය අම්මේ තාත්තේ, මම ඔබට කියන්න කැමතියි අපි සියලු දෙනාගෙ ම ආචාරය නමින් නොදන්නා ඒ පෙර පාසල් ගුරුතුමියට හිමි විය යුතු වග. ඔබත් මමත් හොදටෝ ම දන්නවා අපි ඉන්නෙ සාධු සම්මත යහගුණදම් පිරුණු සමාජයක නොවන වග. එහෙම සමාජයක ජීවත්වෙන අපිට වැරද්දක් වෙන්න කලින් වැරදෙන්න තියෙන ඉඩ අඩු කරගන්න පුළුවන් කමක් තියෙන්න ඕන. දරුවන් දැනුවත් කිරීම කියන කාරණයෙදි නම නොදන්නා ළදරු පාසල් ගුරුතුමී මවුපියන්ටත් පළමුව තම දරු දැරියන් දැනුවත් කිරීම ගැන අපි ඇයට ණයගැති විය යුතුයි. ඒ වගේම වැඩිහිටි අපි හැමෝටම මේ කතාව ඇතුළෙ ලොකු පාඩමක් තියනවා.

තවදුරටත් රෝස කැලෙන් ඇහින්දා කියා හෝ කුරුලු පැටවුන් හෝ වෙනත් කිසියම් කෙනෙක් විසින් ගෙනත් දුන්නායයි ‍පවසමින් අපි අපේ දරුවන් මුළා කරනවාද ? නොඑසේ නම් ජීවිතය පිළිබද හය හතර කියාදී දරුවන් ආරක්ෂා කරගන්නවාද කියා අප තීරණයක් ගත යුතුයි.

පුංචි දරුවන්ගේ විශ්වාසදායක නෑයා වන්නේ අම්මා සහ තාත්තා බව කිසි වි‍ටක අමතක කරන්න එපා. ඔබ ඔවුන්ගේ ලෝකයේ මහා විරුවන් වන විට, දරුවන් මවුපියන්ගේ සම්පත බව ඔවුන්ට නොසඟවා පවසන්න. ඔවුන්ට ආදරේ දෙන්න. ළඟම විශ්වාසවන්තම යහළුවා, යෙහෙළිය වෙන්න. බොරු කියා ඔවුන්ගේ විශ්වාසය නැතිකරගන්න එපා.

ඔබත් මාත් නමින් දන්නා නොදන්නා බොහෝ දරුවන් අප ආරක්ෂාකාරීයැයි සිතන සමාජය තුළදී ම ඔබ මෙය කියවන මේ මොහොත තුළ දීත් ආරක්ෂිතයි අප විසින්ම රවටා ගන්නා අනාරක්ෂිත සමාජයේ පාපතරයන්ගේ ගොදුරු බවට පත්වෙමින් අපයෝජනට, සහ අපචාරයන්ට ලක්වෙමින් සිටිනවා විය හැකියි.

හය හතර කියාදිය හැකි දුවා දරුවන්ට හය හතර කියා නොදීමේ වරද නිසා, නොදැනුවත්කම නිසා දරුවන්ට ඔවුන්ගේ ආරක්ෂාව සලසාගත හැකි අවස්ථා මඟ හැරෙන්නට ඇති ඉඩ වළකාලමු. පත්තර පිටු පුරා දිගහැරෙන සියලු අපරාධ වළක්වා ගත නොහැකි වුවත් තම ආරක්ෂාව සඳහා දැනුවත් වෙන්නට දරුවන්ට ඇති අයිතිය උදුරා නොගනිමු .

අපේ දරුවන්ගේ ජීවිත වෙනුවෙන් අද, හෙට හෝ අනින්දා නොව මේ මොහොතේ සිට දැනුම්වත් වෙමු, දරුවන් දැනුම්වත් කරමු. මේ ඔබේත් මගේත් වගකීමයි.