පුවත්පතේ

පැත්තක් ගියත් ඇත්ත කිව්වාට ලකුණු ලැබුණේ ඉස්සර කාලයේ ය. දැන් නම් වැඩිපුර කෙරෙන්නේ ඇත්ත හංඟාගෙන පැත්ත රැක ගැනීම ය. ඇත්ත පැත්තක තියා තමන්ගේ පාඩුවේ පැත්තකට වී බකංනිලාගෙන ඉඳීම, ඇඟට ගුණදායක යැයි සමහරු සිතති. තවත් සමහරු තමන්ගේ පැත්තේ ඇති තතු වෙනත් පැත්තකට විකුණා මඩිය තර කර ගනිති. පැත්තක් නොව බෙල්ලම ගියත් කමක් නැතැයි සිතමින් ඇත්ත පැත්තට වැඩ කළ උදවිය ද මේ රටේ නොසිටියා නොවේ. දැන් නම් අඩු ය. ඒ කාලයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයෙන් අනුග්‍රහය ලැබූ දිනපතා පත්තරය “ඇත්ත” නම් වූයේ ය. එහෙත්, යූ. ඇන්. පී. කාරයෝ නම් “ඇත්ත” ට ද “පච පත්තරේ” යැයි කියූවෝ ය.

70 දශකයේ මැද භාගයේ එක් උදෑසනක මා “ඇත්ත” කර්තෘ මණ්ඩලයේ පිවිසුම් දොරටුව අසල මේසයක් පිටුපස හිඳ ගත්තේ, ආධුනික වාර්තාකාරයකු වශයෙනි. උසස් පෙළ විභාගයට දෙවෙනි වර ලියා රෝන්දේ ගසමින් සිටි මට එකල වයස 22 ක් 23 ක් තරම්ය. මා “ඇත්ත” ට සම්බන්ධ කළේ කොමියුනිස්ට් පක්‍ෂයේ මහනුවර ශාඛාව භාරව සිටි අ. ගා. ජයසේන සහෝදරයා ය.

රුසියාවේ ඉගෙනුම ලබා පැමිණ සිටි ඔහු අපට වීරයෙකු විය.

නිතර නිතර පුවත්පත්වලට ලිවීම ද, ජාතික ශිෂ්‍ය සංගමය හරහා කොමියුනිස්ට් පක්‍ෂය සමඟ හිතවත්ව සිටීම ද (මට අපේක්‍ෂක සාමාජිකත්වයක් ද ලැබී තිබුණි.) “ඇත්තේ” වාඩිවීමට සුදුසුකම් විය.

මා එහි යන විට කර්තෘ මණ්ඩලයේ සිටියෝ දැවැන්තයෝ ය. එච්. ජී. එස්. රත්නවීර, බී. ඒ. සිරිවර්ධන (ඇත්ත සිරා), කුලසිරි රාජපක්‍ෂ, නිව්ටන් සෙනෙවිරත්න, සිරිලාල් කොඩිකාර, සුරත් අම්බලන්ගොඩ, රූපසිරි විද්‍යාරත්න ඒ අතර ප්‍රධාන ය. හවස් අතේ සයිමන් නවගත්තේගම ද “ඇත්ත”ට ආවේ ගියේ ය.

මුල් දවසේ මා පත්තර ෆයිල් මිටි පෙරළමින් සිටියා මිස කිසි වැඩක් පැවරුණේ නැත. අර කියූ දැවැන්තයින්ගෙන් කිසි කෙනෙක් මා දෙස “ඇසක් ඇර” බැලුවේවත් නැත. දහවල වන විට සුදු පැහැති ප්‍රසන්න පෙනුමින් යුත් තරුණයෙක් මා අසලට පැමිණ තේ එකක් බොන්නට කතා කළේය. ඔහු සිරිලාල් චූලවංශ ය. “ඇත්ත” කාර්යාලය පිහිටි කෝට්ටේ පාරේ අනෙක් පැත්තේ පිහිටි කුඩා තේ කඩයට ගිය අපි දෙදෙන හකුරු පියන් දෙකක් සමඟ කහට තේ බොමින් සල්ලාපයේ යෙදෙන්නට වීමු.

“නවතින්ඩ තැනක් තියෙනවද?” සිරිලාල් අසයි.

“ඔව්, මේ කිට්ටුව ම, රේල්වේ ක්‍රොසින් එක ළඟ”

“කීයද ගාණ?”

“කාමරේට ම තිහයි. දෙන්නෙක් ඉන්න නිසා එක්කෙනෙක් පහළොව ගාණේ දෙන්න ඕන.”

“ආ... ඔය අර පප්ප අන්කල්ගේ බෝඩිම නේද?”

“ඔව්”

“ඔයගොල්ලො වගේ අලුතින් එන අයට මෙහෙ පඩි ගෙවන්නෙ නෑ. අඟල් ගාණට ගෙවන්නෙ. අඟලකට සත පනහක් හැටක් විතර”

“ඔව් මට කිව්වා”

“කොළඹ ජීවත්වෙන එක ලේසි නෑ. හිතල බලල තීරණයක් ගන්න”

රස්සාවක් කරන්න හිතාගෙන ම ආව නෙවෙයි, පත්තරේක වැඩ කරන්න ආස හින්දා”

මම “අඩ ඇත්තක්” සහ “අඩ බොරුවක්” කිව්වෙමි. චූලවංශ මා අධෛර්ය කළේදැයි මට පසු කාලයක සිතුණි. එහෙත් ඔහු දිගටම මිතුරෙකු ලෙසින් මා ඇසුරු කළේ ය. කොළඹ ජීවිතය ගැනත්, ඇත්තේ ඇතුළ ගැනත් මා නොදන්නා දේ කියා දුන්නේ ය. ඒ බොහෝ විට, ආපසු නුවර යාම මැනවයි මට සිතුණේ ය!

දෙවෙනි දවසේ, රූපසිරි විද්‍යාරත්න මට වැඩක් පැවරුවේ ය. ඉංශ්‍රීසියෙන් ඇති පුවත් කීපයක් සිංහලට පරිවර්තන කිරීමට ය. ඉංශ්‍රීසියෙන් කියවන බැවින් ද සරල කෙටිකතාවක්, දෙකක් සිංහලට නඟා තිබූ හෙයින් ද, පරිවර්තන කටයුතු කළ හැකි යැයි මම අ. ගා. සහෝදරයාට කියා තිබුණෙමි.

එහෙත් ප්‍රවෘත්ති පරිවර්තනය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව මුල් පැයේදී ම මට වැටහී ගියේ ය. අවසානයේ මා අතින් සිදු වූයේ පරිවර්තනයක් නොව, මුල් පුවත සාරාංශ කොට ලිවීමකි. ඒ ටිකටත් මලලසේකර ශබ්දකෝෂය දහ දොළොස් වතාවක් පෙරළන්නට මට සිදු විය. විද්‍යාරත්නට ද වැඩේ තේරුණු නිසාදෝ, ඔහු යළිත් මට කරදර නොකළේ ය. ප්‍රවෘත්ති ලේඛකයෙකු වශයෙන් මම පළමුවරට පරාජය වීමි.

දෙවෙනි දවසේ කුලසිරි රාජපක්‍ෂ මා අමතා වැඩක් පැවරී ය. එකල මැලේ වීදියේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස්, එහි සිටින පක්‍ෂයේ හිතවතුන් හමුවී, ප්‍රවෘත්ති ලබා ගත යුතුය. එහි සිටි ජිනදාස හේවගේ නමැති කරුණාවන්ත මහතෙක්, මා සාදරයෙන් පිළිගෙන සාමාන්‍ය ප්‍රවෘත්ති ලබා දුන්නේ ය. ඒවා අඟලක් දෙකක් දිගට පත්තරේ ද පළවුණි. යම් වැඩක් කරනවා යැයි සිතට සතුටක් ද දැනිණි.

දෙසතියක් ගිය තැන, කුලසිරි රාජපක්‍ෂ මා ඇමතීය.

“කපිල, ඔයා හරියට අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රවෘත්ති නිලධාරියා වගේනෙ.” මම ලජ්ජාශීලී සිනාවකින් යුතුව, කුලසිරි සහෝදරයා දෙස බලා සිටියෙමි.

“අපිට ඕනෙ එතන තියෙන ප්‍රශ්න, ලෙඩ!” උපැස් යුවළට ඉහළින් බැලූ කුලසිරි, සිනාවක් පෑවේ ය. මට එය කළ නොහැකි විය. දිගටම ප්‍රවෘත්ති නිලධාරියා ප්‍රෙස් ඔෆිසර් වීමි. අධ්‍යාපන අමාත්‍යාංශ රාජකාරියෙන් ද මා ඉවත් කෙරුණි. දෙවෙනි වරට ද, ප්‍රවෘත්ති ලේඛකයෙකු වශයෙන් පරාජය වීමි.

ඊට කලකට පසු “දවස” ආයතනයේ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට කැඳවීමක් ලැබීමි. මගේ පුවත්පත් ලිපි (Paper Cuttings) අලවා තිබුණේ ඒ සඳහාම තනා ගත් ලොකු ඇල්බමයක ය. එය ඔසවාගෙන කොළඹ යාම මහ කරදරයකි. එහෙත් වෙන කරන්නට ද දෙයක් නැත. මම ඇල්බමය ලොකු දුඹුරු කඩදාසියක ඔතා ගත්තෙමි.

දවස ප්‍රකාශනයන්ටම ලියා අත හුරු කර ගත් මට දවසේ ම රැකියාවක් ලැබීම සිහිනයක් සැබෑවීමක් බඳු ය.

මා පරීක්‍ෂණයට ලක් කළේ, එවකට “රිවිරැස” කතුවරයාව සිටි රෝහණ ගමගේ ය. ඔහු මා ගෙන ගිය ඇල්බමය පෙරළා බලා මුහුණු ඇඹුල් කර ගත්තේ ය.

“සේරම කෙටිකතානෙ... නිව්ස් ලියල නැද්ද?” ඔහු උපැස් යුවළට උඩින් බලමින් ඇසුවේය.

“නෑ”

සම්මුඛ පරීක්‍ෂණය එතැනින් නිමාවුණි. මම තෙවෙනි වරටත්, ප්‍රවෘත්ති හමුවේ පරාජයට පත්වීමි.

පසු කාලයක දී, මට රෝහණ ගමගේ කර්තෘත්වය දරද්දී “දවස” පුවත්පතේ ද වැඩ කරන්නට ලැබුණි. එහෙත්, ඔහු මට නිතරම පැවරුවේ විශේෂාංග පිටුය. මේ පරාජයන් හමුවේ මම එක් සත්‍යයක් ද ඉගෙන ගතිමි.

පුවත්පත් යනු පුවත් ය. අනෙක් සියලු අංග ඊට දෙවෙනි ය.

[email protected]