තෝරන්නන්ගේ තේරිල්ල

ලොකු පුංචා ටිකක් දුර ගමනක් ගිහින්. එද්දි ඉතිං ටිකක් විතර පරක්කු වෙන නිසා වෙනදාවගේ නැතිව අඹ ගහ යට හමුව කල්දාන්න තීරණය කරලා.

“එහෙම කොහොමද..එයා තනි තීරණ ගන්නේ.. අද ලොකු පුංචා නැතිවුණාට අනිත් හැමෝම ඇවිත් ඉන්නවා”

හැමදාමත් කසිලි බිසිලිවලට බර රතු පුංචා කියනවා.

“ඒක නම් ඇත්ත තමයි..ඒ වුණාට ඉතිං අපි හැමෝගෙම කැමැත්තෙන්නෙ එයා ලොකු පුංචා වෙලා ඉන්නේ.. සුදු පුංචා කීවා.

“ඔන්න ඔන්න ලොකු ලොකු කට්ටිය ලොකු ලොකු ගස් යට ඉඳන් කතා කරන විදිහට මෙයත් කතා කරන්න පටන් අරන්..ඕව පට්ටපල් බොරු..”

රතු පුංචා කේන්තියෙන් කියනවා.

“කොහොමද බොරු වෙන්නේ..”

නිල් පුංචත් පැත්තක ඉඳන් ඇවිත් හොට දැම්මා.

“බොරු වෙන්නේ මෙහෙමයි.. රතු පුංචා උගුරේ රැල් බුරුල් හැර එරමිණිය ගොතාගෙන අඹගහ යට ඉඳගත්තා.

“කවුරු හරි එකෙකුට ඕන වෙනවා රැහේ නායකයා වෙන්න. ඒ මොකටද කියලා ඇත්තටම ඌ දන්නෙත් නෑ. ඊට පස්සේ ඒකා කරන්නේ එකෙක් දෙන්නෙක් තමාගේ පැත්තට නම්මවාගෙන හෙමින් හෙමින් යටින් ගේම දෙනවා. ටික ටික ගොඩ වැඩිකරගන්නවා. ඊට පස්සේ ඉන්න නායකයාට අභියෝග කරනවා. ඊට පස්සේ දෙන්න අතර ඡන්දයක් තියනවා. දැන් අනිත් උන්ට කියනවා. මුන් දෙන්නගෙන් කැමති එකෙක්ව තෝරාගන්න කියලා. උන්දෙන්නට දෙන්න මරා ගන්නවා. අනෙක් උන් ටිකත් දෙපැත්තට බෙදිලා මරා ගන්නවා. අන්තිමට කොහොම හරි එකෙක් දිනනවා. අනිකා පරදිනවා. දිනපු එකා අනිත් උන් පාලනය කරන්න ගන්නවා. උන්ට විරුද්ධව නීති ගේනවා. ඒ ගමන් අපට කියනවා “මං හැමෝගෙම නායකයා” කියලා. දිනන්න ඡන්දෙ දුන්නු එවුනුයි පරදින්න ඡන්ද දුන්නු එවුනුයි කාටවත් තේරෙන්නේ නෑ, මේ තෝරාගත්තේ තමන් කැමති එකා නෙවෙයි කියලා”

රතු පුංචා හැමෝගෙම අවධානය තමන් දිහාට තියෙනවද කියලා බලන්න හැමෝගෙ මූණ බැලුවා. කිසි කතාවක් නෑ. හැමෝම මීයට පිම්බාක් මෙන් නිහඬයි.

” ඉතිං පත්වෙන කෙනා තේරෙන්නේ වැඩි කැමැත්තකින්නේ. එකෙ තියෙන වැරැද්ද මොකක්ද?”

ටිකක් වේලා කල්පනා කළ කොළ පුංචා එකපාරටම මැද්දට පැන්නා.

“එහෙම තමයි බැලූ බැල්මට පෙනෙන්නේ.ඒත් එහෙම නෑ. ඒ මොකද කියනවානම් අපිට කෙනෙක් තෝරා ගන්න වෙන්නේ දෙන්නෙකුගෙන් විතරයි. වෙනත් විකල්ප නෑ. ඒ ඉල්ලන දෙන්න කවුද කියල තීරණය කරන්නේත් අපි නෙවෙයි. අපිට වෙන්නේ කවුරු හරි කොහෙන් හරි ගෙනල්ල දාන දෙන්නෙකුගෙන් එක් කෙනකුට කැමති වෙන එක විතරයි. වෙනත් විදිහකට කීවොත් තෝරලා දෙන දෙන්නෙකුගෙන් එක් කෙනෙකු තෝරාගන්න විතරයි. ඉතිං කොහොමද එයා අපේ වෙන්නේ. එයා කොහොමද අපි හැමෝම නියෝජනය කරන්නේ..” රතු පුංචා ඇහුවා.

“කතාව ඇත්ත වගේ තමයි..ඒත් ඉතිං ඔච්චර දුර කල්පනා කරන්න ගියහම ඔළුව කොළොප්පං වෙනවා. මට දැනටමත් කැරකිල්ල වගේ” දුඹුරු පුංචා තණ බිස්සේ බිම වාඩිවුණා.

“අනේ ඇත්තමයි ඒ කතාව අහලා මගේ ඔළුවත් පැලෙන්නඩ කැක්කුමයි”

කහ පුංචා අඹ ගහට හේත්තු වුණා. සුදු පුංචාට ක්ලාන්තය හැදුණෙත් ඒ වෙලාවෙමයි. ඒත් වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී පුංචලා දෙන්නෙක් එකතුවෙලා එයාව අල්ලා ගෙන බිම දිගා කළා. දැන් ඉතිං දුඹුරු පුංචාත්, කහ පුංචාත්, සුදු පුංචාත් අසනීප ගතියෙන්. ඉතිං ඇතැම් පුංචලා මේ පුංචලාට වතුර පොවනවා. තවත් පුංචලා මේ පුංචලාට පවන් ගහනවා. වෙනත් පුංචලා මේ අයගේ හිස, අත් පා ආදිය මසාජ් කරනවා. ඔය අතර කරන්නට කියා කිසිත් දෙයක් නැති නිල් පුංචාත්, උපාසක පුංචාත් දෙන්නා රතු පුංචා ළඟට ආවා. රතු පුංචා ඒ වෙලාවේ හිටියේ හරිම තෝන්තුවාවෙන්.

“අපි කට්ටියම හරි අපූරුවට හිටියා. ඔහේ තමයි අපට ඔරොත්තු නොදෙන තරම් බර කතාවක් ඇද බාලා මේ වින්නැහිය කරේ” නිල් පුංචා කේන්තියෙන් කීවා.

“ඇත්ත තමයි. අපි තාම පුංචලා මිසක් ලොකු උන්නැහෙලා නෙවෙයි. අපිට ලොකු ලොකු කතා කියලා අපිව අමාරුවෙ දාන්න එපා. අපි තමුසෙට විරුද්ධව ලොකු පුංචාට පැමිණිලි කරනවා” උපාසක පුංචාත් රතු පුංචාට ඇඟිල්ල දිගු කරා.

රතු පුංචා හදිසියේ අසනීප වුණු තම මිතුරන් දිහා තවත් වරක් බලා නිහඬවම එතැනින් නැඟිට යන්න පිටත්වුණා. රතු පුංචාත් මෙතෙක් කාලයක් තමන් සමග එකට අඹ ගහයට හමුවුණු තමන්ගේ ම කෙනකු විත්තිය කට්ටියට ම මොහොතකට අමතකවුණා.

[email protected]